හාස්‍යයෙන් පමණක් සෑහීමකට පත්විය හැකිද?මිස් ජෙනිස්

පෙබරවාරි 11, 2021

REVIEW

 

ජීවිතයේ නොයෙකුත් පාර්ශ්ව ද, සමාජයීය හා දේශපාලනික සංකීර්ණතා ද හසු කර ගනිමින් වරෙක අතිශය බැරෑරුම් මැදිහත්වීම් ප්‍රකට කළ සිනමාපට මෙන්ම, තවත් වරෙක ප්‍රශස්ත රසාලිප්ත අංගෝපාංග ආදියෙන් සමන්විත වූ සිනමාපට ද නිර්මාණය කරමින් පෙරට එන තරුණ හා නවක සිනමාකරුවන් වර්තමාන ලාංකේය සිනමාවේ හැඩරුව පමණක් නොව අන්තර්ගතයද තීන්දු කරලන බලවේගයක් බවට පත්ව ඇති සෙයකි. සිනමාශාලා ප්‍රදර්ශනයේ එන සමස්ත අර්බුදය හමුවේ වුව ඔවුන් සිදු කරන මේ කාර්යය නිසැක වශයෙන් ම එළඹෙන අනාගතයේදී නිරවද්‍ය අන්දමින් ඇගැයීමට ලක් වනු ඇත. සිනමාපට ප්‍රදර්ශනය වන ආකාරය පවසන්නේ ද ඔවුනගේ බලවේගය සතු ප්‍රබලතාවයි.

සුසිරන් ද සිල්වා සිය ප්‍රථම සිනමාපටය වන ‘මිස් ජෙනිස්’ රැගෙන එන්නේ මේ පසුබිම පිළිබඳ කරුණු නොදැන නොවේ. ඔහුගේ දීර්ඝ කාලීන කලා හා මාධ්‍ය ඇසුර ඊට අවශ්‍ය වැටහීම ලබා දෙනු ඇති බවට සැකයක් නැත. කෙසේ නමුත් ‘මිස් ජෙනිස්’ කිසිදු ලෙසකින්වත් අර තරුණ හා නවක සිනමාකරුවන්ගේ අරමුණු සමඟ නොබැඳෙන වග සත්‍යයකි. සුසිරන්ගේ මූලිකම අභිප්‍රාය වී ඇත්තේ තරමක වෙනස් මාදිලියේ පුවතක් හරහා සිනමාවෙන් විනෝදාස්වාදයක් සපයා ගැනීමට මනාප ප්‍රේක්ෂක කණ්ඩායම් අමතන්නටය.

මොවුන් මේ වන විටත් සිනමාව විවිධ ආකාර ඔස්සේ දකින්නට සූදානමින් සිටින පිරිසකි. සිනමාශාලාව, සිනමා ඇසුරට අත්‍යවශ්‍යයම වූ ස්ථානයක් නොවන වග ඔවුන් කියා සිටින්නේ සුසිරන් බඳු සිනමාකරුවන් නොපමාව ඉලක්ක කර ගනිමිනි. එනම් ‘මිස් ජෙනිස්’ වැනි සිනමාපට, සිනමාව ලෙස අර්ථ ගන්වන වෙනත් ශ්‍රව්‍ය‘ - දෘශ්‍ය අවස්ථා කරා යාමට වුව ඉඩ තිබෙන නිසා ය. මෙතැනදී සිනමා වෙළෙඳපොළ සිනමාශාලා අබිබවමින් පුළුල් වන්නේය යන අදහස ඉස්මතු වන්නට ඉඩ තිබේ. සිනමාවේ අනාගතය අරභයා මත පළ කරන්නවුන් මෙහිලා විස්සෝප නොවනු ඇත. ඇත්ත වශයෙන්ම සම්මත සිනමා ප්‍රකාශනය පරයා ගොස් සිනමාව පිළිබඳ නව අර්ථකථන ගෙන ඒමේදී ඔවුන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය සැලකිය යුතු තරම් ය.

සුසිරන් ‘මිස් ජෙනිස්’, හාස්‍ය රසයට පමණක් නොව උපහාස රසයට ද අදාළ කර ගනියි. කොහොමත් ඔහු මෙම ප්‍රවේශවීම් සම්බන්ධයෙන් ඉහළ උනන්දුවක් දක්වන වග පැහැදිලි ය. මෙහිදී ඔහුට පවත්නා ලෝක ස්වභාවය ඒ හැටි වැදගත් නැත. සිය තීන්දුව, ප්‍රේක්ෂකයා විසින් ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය යන ස්ථාවරය ඔහු තුළ පවතී. මේ අනුව ‘මිස් ජෙනිස්’ හි නිරූපිත පුවතට පාදක වන කාරණා විශ්වාස නොකර සිටීමට ප්‍රේක්ෂකයා උත්සාහ නොකරයි.

මේ මැදිවියද ඉක්මවූ, විශ්‍රාම යාමේ වයසට කිට්ටු මිනිසකු ජීවනෝපයක් සරි කර ගැනීම උදෙසා මැදිවියේ ස්ති‍්‍රයක සේ වෙස් වළා ගැනීම මුල් කර ගත් පුවතකි. මෙබඳු චරිත අන්තර්ගත සිනමාපට, සිනමා ප්‍රේක්ෂක බහුතරයකට ආගන්තුක නොවේ. මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ වර්ධිත කතිකා අවුළුවාලූ සිනමාපටද මෙතැන තිබේ. කෙසේ වෙතත් සුසිරන්ට එබන්දක අවශ්‍යතාවක් නොමැති බවයි පෙනී යන්නේ. පෙර කී පරිදිම ඔහු හාස්‍ය හා උපහාසය සනිටුහන් කිරීමෙන් පමණක් සෑහීමකට පත් වෙයි. ඉන් ඔබ්බට යාමේ වුවමනාවක් නොපෙන්වයි. එසේ හෙයින්ම ‘මිස් ජෙනිස්’ වඩාත් සමීප වන්නේ හාස්‍ය හා උපහාසය සහිත විනෝදාත්මක සිනමාව කරා ය. එබඳු සිනමාපට මීට පෙරාතුව නැරඹු ප්‍රේක්ෂකයෙකුට ‘මිස් ජෙනිස්’ අපූර්වත්වයක් සපයනවාදැයි යන්න නම් සුසිරන් අමාරුවේ වැටෙන ප්‍රශ්නයකි .

සිනමාපටයකට අවශ්‍ය තිරනාටකයක ස්වභාවය සම්බන්ධයෙන් වන කතිකා තවමත් දක්නට ලැබේ. ඒ රූපගත කිරීමට පූර්වයෙන් සැකසූ තිරනාටකයක් ද, රූපගත කරන මොහොතේ හෝ රූපගත කිරීමෙන් අනතුරුව සැකසූ තිරනාටකයක් ද යන කාරණා විෂයය කර ගනිමිනි. තිරනාටකයක් අවශ්‍ය වන්නේ සිනමාපටයක් ඉබාගාතේ යාමෙන් වළක්වාලීමට ය යන අදහස ද මෙතැනට යොමු කළ හැකි වේ. සුසිරන් ජය ගත යුතුව තිබු ප්‍රමුඛතම අභියෝගය උපදින්නේද තිරනාටකය සමඟිනි. එසේ නොමැතිව පුරුෂයකු ස්ති‍්‍රයක සේ පෙනී සිටීම යථාර්ථයට අනුකූලදැයි හෝ අනනුකූලදැයි යන අදහස සමඟින් නොවේ.

සිනමාපටය විසින් ඉල්ලා සිටිනු ලබන ආකාරයෙන් අදාළ පුවත ක්‍රමිකව ගෙන හැර පෑමට එරෙහිව තිරනාටකය පැමිණෙන්නේ තීරණාත්මක අවස්ථා කිහිපයකදී ය. මෙහෙයින් සාවධානව සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයනට සිදුවන්නේ තුෂ්නිම්භූත වන්නටයි. විශ්වසනීයත්වයේ මූලිකාංග ප්‍රශ්න කරන්නටයි. සුසිරන් වෙතින් ඒවාට පිළිතුරු ලැබෙන හැඩක් නැත.

සුසිරන්ට උපකාර කරන්නේ ම නළු නිළි කැල යි. ජයලත් මනෝරත්න, දුලීකා මාරපන, ජයලාල් රෝහණ, මාදනී මල්වත්ත, ගිරිරාජ් කෞශල්‍ය සේම උදාරි පෙරේරා හා රොෂාන් රණවන ද මේ අතර සිටිති. යම් හෙයකින් සුසිරන් යට කී ප්‍රවීණයන් වෙනුවට සිනමා රංගනය නුහුරු හෝ ඊට නො ගැළපෙන වෙනත් පිරිසකගේ සහභාගීත්වයක් සාක්ෂාත් කර ගත්තේ නම් ‘මිස් ජෙනිස්’ වහාම අතහැර දැමිය හැකි සිනමාපටයක් සේ වර්ග කරන්නටද සිදු විය හැකිය.

‘මිස් ජෙනිස්’ හිදී ජයලත් මනෝරත්න මුහුණ දෙන අභාග්‍යය ගැනද යමක් සඳහන් කළ යුතුය. ඔහුට ලැබුණු චරිතයේ තල කිහිපයකි. ඒ ස්ති‍්‍රයක සේ පැමිණෙන පුරුෂයාගේ චරිතයයි. මෙයින් උපදින සංකීර්ණ බව අල්ලා ගන්නට ඔහු තැත් නොකරනවා නොවේ. නමුත් සිදුවීම් පෙළ ගැස්වීමේ නොමේරු බව ඊට එරෙහි වෙයි. එක අතකට මේ සාධු ගුණැති, පිය සෙනෙහස උතුරා යන චරිතයක් ම නොවේ. කපටි කෛරාටික වංචනිකයකුගේ ද චරිතයකි. එකම පුද්ගලයකු තුළ විවිධත්වයක් පවතින්නට පුළුවන. ඒවා එකම තලයකදී නිරූපණය හා විවරණය මනෝරත්න වැන්නකුට අසීරු වන්නට ඉඩක් නැත.

සුසිරන් මේ චරිතය ඉස්මතු කරමින් හා විග්‍රහ කරමින් සිනමාපටය නව අදියරකට ගෙන ගියේ නම් මනෝරත්නගේ ප්‍රතිභාව වඩාත් කුළුගැන්වෙනු ඇත. එසේ කළේ නම් සරල හාස්‍යයට හා සරල උපහාසයට මෙපමණ ඉඩක් ලැබෙන්නේදැයි යන්න නම් සැක සහිත ය.

කොවිඩ් 19 වෛරස බලපෑම මධ්‍යයේ වුව සිනමාශාලා විවෘත කිරීමට ගත් අභියෝගාත්මක තීරණය ආරක්ෂා කර ගනු පිණිස ප්‍රේක්ෂකයන් මත පැටවෙන වගකීම සුළු පටු නොවේ. අනෙක් පසින් ඔවුනගේ මන දොළ පිනවන සිනමාපට ප්‍රදර්ශනයට එක් කිරීමද වැදගත්ය. මෙහිලා විදේශීය සිනමාපට දායක කර ගැනීමේ තර්කානුකූල බවද ඇස් පනා පිටම දකින්නට ලැබේ. ‘මිස් ජෙනිස්’ ට හිමි තැන නිශ්චය කර ගත යුත්තේ ඒවාද සැලකිල්ලට ලක් කරමිනි.