බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් තිරයට නැඟුන කුමරු ඡත්ත මානවක

ක්‍රිශාන්ත වීරමන් අධ්‍යක්ෂණයක්
පෙබරවාරි 11, 2021

ඒ අප තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයයි. උන්වහන්සේ සුපුරුදු පරිදි භාවනාව යෝගීව කාලය ගතකළ සේක. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ මහා ඥානයෙන් ඡත්ත මානවක කුමරු දකිනු ලැබුවේය. ඔහු එදින මිය පරලොව යන බවත් උන්වහන්සේගේ බුද්ධ ඥානයෙන් දුටු සේක. ඡත්ත මානවක කුමරු යනු බමුණු කුලයේ සිටුවරයෙකුගේ පුත්‍රරත්නයකි. උක්කට්ඨානා නුවර සංගීතය විෂය ඇතුළු ශිල්ප හැදෑරූ ඡත්ත මානවක කුමරු මේ මොහොතේ සිටින්නේ ඔහු උපන් ගමේපියසේය. ඔහු තම උගත් ශිල්ප ඥානය ගමේ ඉන්න හිතවත් පිරිවරට විද්‍යාමාන කරමින් සිටියේය. ඡත්ත මානවකගේ ඒ අපූරු සංගීතයට වශීකෘතවූ රැස්ව සිටින්නෝ රන් රිදී මුතු මාල ආභරණ වලින් ඔහුට පුද සත්කාර කරති. මේ ලද පඬුරු දුටු කුමරුට මතක් වන්නේ තාමන්ට ශිල්ප ඥානය ලබා දුන් ගුරුවරයාය. ඔහුට මෙම වස්තූන්ගෙන් කොටසක් ගුරු පඬුරු ලෙස ලබාදීමට ඡත්ත මානවක කුමරුට සිත්විය. තම පියාණන්ට ඒ බව ඡත්ත මානවක කුමරු දැන්වීය.

පුත්‍රය, ඔබට පහළවී ඇති සිත ඉතා අගනේය. නමුත් මේ ගුරුවරයා මුණගැසීමට යන මාවත හරිම රළුය, දුෂ්කරය. මංපහරන්නෝද එමටය. එහෙත් ඔබට රිසි සේ කරන්නට මම ඉඩ ප්‍රස්තාව ලබා දෙමි.. සියල්ලන්ගෙන් පරිස්සම්වී ඔබ ඔබේ ගමන ගොසින් එන්න.

සිටුතුමා ඡත්ත මානවක කුමරුට එසේ අවවාද අනුශාසනා දෙමින් ඒ දුෂ්කර වූ ගමන සඳහා අවසර ලබා දුන්නේය.

ඡත්ත මානවක කුමරු ද දැඩි සිතින් අධිෂ්ඨාන කර ගන්නේ මේ ගමන යෑමටය. ඡත්ත මානවක කුමරු රූස්ස වනය මැදින් දුෂ්කරවූ ගමනක යෙදෙන අවස්ථාවේදී අප තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව දකින්නට වාසනාව උදාකර ගත්තේය. එහෙත්ම උන්වහන්සේ කවුද කියා ඔහු හඳුනා ගත්තේ නැත. හෙතෙම බුදු පියාණන් වහන්සේගෙන් ඒ බව විමසීය.

මේ මහ වනය මැද තනිවම භාවනා යෝගීව සිටින ඔබ වහන්සේ කවුද?

 

මම තමයි මානවකය ගෞතම බුදු රජාණන් වහන්සේ. බුදුන් වහන්සේ එසේ වදාළ සේක.

සාධු සාදු සාදු.

 

ඡත්ත මානවක කුමරු බුදු පියාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් පසඟ පිහිටුවා වඳීයි.

ඔබවහන්සේ මට මේ මොහොතේ දී උපකාරයක් කරනවා නම් මැනවි. මා මේ යන ගමන අති දුෂ්කරය. වනාන්තර මැදින් දවස් ගණනක් ගමන් කළ යුතුය. මට ඔබවහන්සේ ගැන සතර පදයෙන් ගාථාවක් කියා දෙනවානම් ඉතා අගනෙයි. ඡත්ත මානවක කුමරු පවසා සිටියේය.

 

බුදු පියාණන් වහන්සේගේ සුමධුරව මෙසේ වදාරන සේක.

 

යෝ වාද තං පවරෝ මනුජේසු
සක්‍යමුනි භගවා කතකිච්චො
පාරගතෝ බලවීරියසමංගි
තං සුගතං සරණත්තමුපේම්

 

රාග විරාගමනේජ මසෝකං
ධම්මම සංඛත මප්පටිකුලං
මධුරමිමං පගුණං සුවිහත්තං
ධම්මමිමං සරණත්තමුපේමි

 

යත්ථච දින්න මහප්ඵල මාහු
චතුසු සුවිසු පුරිසයු ගේසු
අට්ඨ ව පුග්ගල ධම්ම දසාතේ
සංඝමිමං සරණත්ථමුපේම්

 

ඒ ගාථාව තම සිතේ ධාරණය කරගනිමින් ඡත්තමානවක කුමරු යළිත් වරක් පරක් තෙරක් නොපෙනෙන වනාන්තරය මැදින් ගමන ආරම්භ කරයි.

ඔහු ඉදිරියට සොර මුලක් පැමිණෙන්නේ ඔය මොහොතේදීය.

තා කොහෙද යන්නෙ බොල?

ඡත්ත මානවක කුමරුගේ දෙපා සිට හිස තෙක් තියුණු බැල්මක් හෙලනා බලනා සොර නායකයා විමසයි.

 

මම උක්කට්ථානා නම් නුවරට යමින් සිටිමි කියා තමන් යන ගමනේ විස්තර සියල්ල හොරු රැල ඉදිරියේ දී ඡත්ත මානවක කුමරු කියාපායි.

අහා.. එහෙනම් රන්කාසි එහෙමත් මොහු ගාව ඇති. තවත් සොරෙකු එසේ කීවේය.

එතැන් පටන් ඡත්ත මානවක කුමරුගේ ඉරණම අභාග්‍ය සම්පන්න අන්දමින් විසඳෙනු ලැබෙයි.

බෞද්ධ සාහිත්‍යයේ එන ඡත්ත මානවක කුමරුගේ කතාව ඇතුළත් මෙම සිනමාපටයට නම තබා ඇත්තේ ද කුමරු ඡත්තමානවක යනුවෙනි. ඒ එය ඉකුත් සිකුරාදා සිට රිකීෆ්ලික්ස් අඩවිය හරහා ලෝ වටා සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රදර්ශනය අරඹන ලදී.

කුමරු ඡත්ත මානවක සිනමාපටය ක්‍රිශාන්ත වීරමන්ගේ අධ්‍යක්ෂණයකි.

 

 

කුමරු ඡත්තමානවක සිනමාපටයට රංගන දායකත්වය ලබා දුන් නළුනිළියෝ.

 

අමරසිරි කලංසූරිය, ශිරාණි නුගේරා, සුමිත් මුදන්නායක, හෂාන් රත්නායක, සමන් සුජීව, ප්‍රියන්ක ගුණසේකර, ලාල් හපුආරච්චි, ගායනා ප්‍රියාෂ්වරී, ප්‍රියන්ත වීරසිංහ, ගවේෂ් හසරංග, ගුවනි අභිමංසා, සුනෙර සහන් නිල්මිත,

දෙවිඳු බිම්සර, නිහාරා සත්සරණී, නෙතුලි සෙහන්සා සහ අරූෂා සේනානායක.

 

කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත

කලා අධ්‍යක්ෂණය - සමන් සුජීව

සංස්කරණය - ශාන් අල්විස්ගේ.

සහාය අධ්‍යක්ෂණය - දර්ශනී පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - සමීර සුබසිංහ

විධායක නිෂ්පාදනය - ප්‍රියංක ගුණසේකර.

නිෂ්පාදන සහායක - කොරළගේ උපතිස්ස

නිෂ්පාදනය - සත්සර ෆිල්ම්ස්