ආදරය සොයා ගිය ගැහැනියක්

ආයු AYU
ජනවාරි 28, 2021

 

ජීවිතය විටෙක සුමටය. ඇතැම් අවස්ථාවන්හී අතිශය මිහිරිය. එසේ වුවද ක්ෂ්ණයකින් ජීවිතය රළු විය හැකිය. ඒ ලෝ දහමය. එහෙත් ඇතැමෙකුගේ මතය අනුව ජීවිතය යනු මිථ්‍යාවක් නොවේ. බොහෝවිට පුද්ගලයින් ජීවිතයේ මේ යථාර්ථය පිළිබඳ අවධානය යොමු කරන්නේ කටුකද අත්දැකීම් අභිමුඛ‍යට පැමිණෙන විටදිය. එවිට ඇතැමෙක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා වෙනුවට එකී ප්‍රශ්නවලින් පලා යාමට උත්සාහ දරයි. ඒ අතර ඇතැමෙක් ඔවුන් තුළ හටගෙන තිබෙන පරාජිත හැඟීම තුළ ජීවත් වීමට හේතුවක් හදාගනියි. ඒ.හේතුව තවත් පුද්ගල බැඳීමක් විය හැකිය. එලෙස ජීවිතයේ අධ්‍යාත්මය සෙවීමේ මාවතට පිවිසෙන යෞවන ජීවිත දෙකක් ඔවුනට පොදු සන්ධිස්ථානයක මුණ ගැසීමේ දෛවෝපගත සිද්ධියක් අලළා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත චිත්‍රපටයකි ආයු. අප අතර ප්‍රේමය පැවති හැකි විධි බොහොමයක් පවතින බව නොරහසකි.

ඇතැම් ඒවා සම්මත වශයෙන් පිළිගත හැකි සබඳතාය. සමහර සබඳතා සඳහා අවම වශයෙන් නාමයක් වත් දිය නොහැකි තරමට අපැහැදිලිය. නමුත් ඒවා තුළ ඇත්තේ ගැඹුරු බැඳීම් ය. ඒවා තේරුම් ගත හැකි වන්නේ ඔවුනොවුන්ට පමණි. අනියම් ලෙස හෝ ලෝකයාගේ අවලාද විඳීමින් හෝ ලොවට මුවාවී පවතින බැඳීම් සියල්ල ඔවුන්ගේ යහපත පිණිස පමණක් වන්නේද? ඇතැම් විට ඒ බැඳීම් තුළින් පුද්ගලයින්ගේ ජීවිතේට යම් පන්නරයක් ලබාගන්නවා විය නොහැකිද. එබැවින් වින්දනීය හා ප්‍රේමණීය කතා සාරය රැගත් ආයු සිනමාපටය සඳහා අන්තර්ගතවන්නේ බැඳීම් වශයෙන් පිළිගත හැකි සබඳතා වන අතර ඇතැම් ඒවා අවම වශයෙන් නාමයක් වත් දිය නොහැකි තරමට අපැහැදිලිය. ජීවත්වන මිනිසා යනු යමකට ප්‍රතිචාර දක්වන ජීවීන් කොටසක් පමණක් නොවේ. මිනිසා යනු චින්තන ශක්තියකින් හෙබි තමන් වෙනුවෙන් තීරණ ගැනීමට මෙන්ම තමන්ගේ ජීවිත වෙනස් කර ගැනීමටද හැකියාවක් ඇති දියුණු ජීවීන් විශේෂයකි. එය පිළිබඳවද ආයු තුළින් කතාබහට ලක්වේ. ආයු චත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණයකි.

ආලෝකෝ උදපාදි සිනමාපටය තිරයට ගෙන ආවේ ඔහුය. තව නොබෝදිනකින් තිරයට පැමිණීමට නියමිත එහි නිෂ්පාදකවරයාද සුවිශේෂී අයෙකි. හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායකයි. හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා ආයු සිනමාපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබයි. මේ ඇගේ රංගන චාරිකාවේ එකසිය පනස් පස්වැනි සිනමා රංගනයයි. මෙම සිනමාපටයේ කතාව චත්‍ර වීරමන්ගේ පියා වන සමන් වීරමන්ගෙනි. චත්‍ර වීරමන් සමඟ ශක්ති වීරසිංහ තිර රචනය ගොඩනඟා ඇත.

 

ආයු සිනමාපටයේ ප්‍රධාන නළුනිළියෝ

මාලිනී ෆොන්සේකා, සැන්ඩ්‍රා මැක්ස්, ජගත් මනුවරණ, අශාන් ඩයස්, සමනළී ෆොන්සේකා, සම්පත් ජයවීර, ප්‍රියන්ත සිරිකුමාර, තුමිදු දොඩම්තැන්න, දසුන් පතිරණ, කෙනෙර විතානගේ, නලීන් ලුසේනා, උදය අභයසුන්දර

ඇතුළු නළු නිළියෝ රැසක් මෙහි චරිත රංගනයේ යෙදෙති.

 

නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය - කාලිංග දේශප්‍රිය

නිෂ්පාදන සැලසුම සහ කලා අධ්‍යක්ෂණය - බිමල් දුෂ්මන්ත

සංස්කරණය - සමන් ඇල්විටිගල

සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්

අංග රචනය සහ කොණ්ඩා සැකසුම -හර්ෂ මංජුල සමඟ හරූන් ෂයිඩීන්

ශබ්ද සැලසුම්කරණය - සසික රුවන් මාරසිංහ

වර්ණ සංයෝජනය -දිනිදු ජාගොඩ

ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙනිය නිෂ්පාදන කළමනාකරණය -ඉරේෂ් කරුණාරත්න

රේඛීය නිෂ්පාදනය - ප්‍රීමාල් රණසිංහ සහ ශසික ගනේගොඩ

සහය නිෂ්පාදනය - අනුරුද්ධ වීරමන් සමඟ සමන් වීරමන් නිෂ්පාදකවරුන්ය.

 

 

 

මාධ්‍ය සම්බන්ධීකරණ - ෂෙහාන් ඔබේසේකර

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු