ක්ෂීර සාගරය කලඹන්නට පටන් ගනියි

ජනවාරි 28, 2021
මහාචාර්ය සුනිල් ආරියරත්න නිර්මාණය කරන තවත් දැවැන්ත සිනමාකෘතියක වැඩකටයුතු බොරලැස්ගස්ගමුව ෆින්ගාරා අවන්හලේ පැවැති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ. ක්ෂීර සාගරය කැලඹිණ යනුවෙන් නම තබා ඇති එය මහාචාර්යවරයාගේ විසිපස් වැනි සිනමාපටයයි. කුසපබා, පත්තිනි, බිම්බා දේවි හෙවත් යශෝධරා, විජයබා කොල්ලය ආදී දැවැන්ත සිනමාපට රිදී තිරයට ගෙනා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙවර තම සිනමාපටය නිර්මාණය කරනුයේ සම්මානිත ගත් කතුවරයෙකු වන සයිමන් නවගත්තේගමයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ කෘතිය ඇසුරෙනි. ජැක්සන් ඇන්තනී සමඟ හේමාල් රණසිංහ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ලූෂන් බුලත්සිංහල, උදාරි වර්ණකුලසූරිය, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, හරිනි කාව්‍යාංජනී,  රවීන් කණිෂ්ක, කලණ ගුණසේකර, ප්‍රියංකා සමරවීර, ආදීහු මෙහි රංගනයේ යෙදෙති.
එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදන අර්ථපතීත්වයෙන් දායක වන         ක්ෂීර සාගරය කැලඹිණ සිනමාපටයේ සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපූතන්ත්‍රි,  චන්දු හපුතන්ත්‍රී, චාන්ද්‍රි හපුතන්ත්‍රී. සහාය නිෂ්පාදනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න දායකවේ. තිර රචනය සහ සංවාද රචනය ජැක්සන් ඇන්තනීගෙනි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. ආචාර්ය නන්දා මාලනී ගායනයෙන් එකතු වේ. සංස්කරණයෙන් අජිත් රාමනායක, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික්‍රමආරච්චි, කලා අධ්‍යක්ෂයෙන් ධම්මික හේවාදුවත්ත, සටන් අධ්‍යක්ෂයෙන් ඔසද සමන් බණ්ඩාර, නර්තන අධ්‍යක්ෂයෙන් කපිල පලිහවඩන මේ සඳහා දායකත්වය ලබාදේ. අංග රචනය සහ කේෂාලංකාරය ප්‍රියන්ත දිසානායකගෙනි. නාද සංකලනය සසික රුවන් මාරසිංහ විසිනි. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂවරයාය. නිෂ්පාදන කළමනාකරුවන් නිමල් විජේසිරි සේනාධීරගෙනි. ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන අධීක්ෂකවරයාය. ක්ෂීර සාගරය කැලඹිණ සිනමාපටයේ තව නොබෝ දිනකින් රූපගත කිරීම් ආරම්භ වීමට නියමිතය.