හතර දෙනෙකු තරග වදින ජනාධිපති වේදිකාව ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය
අගෝස්තු 8, 2019

 කැළුම් රත්නායක යනු රූපවාහිනී ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියාය. ජනප්‍රිය සුපර් ස්ටාර් වැඩ සටහන් කිහිපයක් තම රූපවාහිනී නාළිකාව තුළින් ඉදිරිපත් කළ ඔහු, නව ආකාරයක රියැලිටි සුපර් ස්ටාර් සංකල්පයක් ගැන සොයා බලයි. අවසානයේදී තම ආයතනයේ සුළු සේවකයකු ජන නායකයින් අනුකරණය කරමින් කරන රඟපෑමක් අහම්බෙන් දැක ‘ප්‍රසිඩන්ට් - සුපර් ස්ටාර්’ නැමැති නව රූපවාහිනී වැඩසටහනක් ඇරඹීමට සැලසුම් කරයි.

රටේ ප්‍රථම පුරවැසියා ලෙස අභිෂේක ලැබීම තරඟයේ ස්වභාවය වෙයි. ඒ සඳහා රටේ සෑම දිසාවකින්ම තරඟකරුවෝ රැසක් ඉදිරිපත් වෙති. විවිධ අදහස් ඇති ඔවුහු රටේ ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය ලැබීම සඳහා තම සුදුසුකම් ඉදිරිපත් කරති. අවසාන වටය සඳහා හතර දෙනෙනකු තෝරා ගැනේ.

දසරාජ් ධර්මපාල යනු ශූර කපටි නුවණකින් යුතුව තම අදහස ඉදිරිපත් කරන ජනප්‍රිය මතවාදී අපේක්ෂකයෙකි. විජිත මාපලගම යනු සමාජවාදී අදහස් දරන රැඩිකල් පුද්ගලයෙකි. අසේල රණවීර ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන රටේ සැබෑ දියුණුව සඳහා තම නිවැරදි අදහස් ප්‍රකාශ කර සිටින පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ දිලංගකා ගැබ්බරය.

මෙම අපේක්ෂකයෝ තිදෙනා කලාව, අධ්‍යාපනය, නීතිය, ජනමාධ්‍ය, ජාතිවාදය, ත්‍රස්තවාදය, පාතාලය නැති කළ හැකි ක්‍රමවේද, බලය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරති. මෙම අදහස් ප්‍රකාශ කිරීම වරෙක උද්වේගකරය. තවත් වරෙක හාස්‍යජනකය. තම අදහස් තහවුරු කිරීම සඳහා ඔවුහු වරින්වර වේදිකාව මත විවිධ ප්‍රසංගයන් ද ඉදිරිපත් කරති. ජාතිය පිළිබඳ කතිකාවේදී සිංහයෙකු සමඟ කෙරෙන සංවාදය, පාතාලය පිළිබඳ කතිකාවේදී පාතාල නායකයෙකුගෙන් අදහස් විමසීම මෙන්ම ඉඩිඅමීන්, මැන්ඩෙලා වැනි ජන නායකයින් ද, නීතියේ දෙවඟන ද වරින් වර වේදිකාවට ගොඩ වෙති. නරඹන්නෝ මෙන්ම ප්‍රේක්ෂකයෝ ද විවිධ හැඟීම් ප්‍රකාශ කරති.

රටේ බොහෝ ජනතාව මෙම අපූර්ව රූපවාහිනී වැඩසටහන නැරඹීමට පෙළ ගැසෙති. ඉහළින් ලැබෙන විවිධ බලපැම් මත මෙය නිර්මාණය කළ රූපවාහිනී ආයතනයේ ප්‍රධානී කැළුම් රත්නායකට අභියෝගයන් රැසකට මුහුණදීමට සිදුවේ. එහෙත් බාධක රැසක් මැද ඔහු තරඟය අවසානය දක්වා රැගෙන යයිද?.

ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් ගෙන එන්නේ එයයි.

උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කරන ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් මේ වන විට නිම වී ඇති අතර, පසු නිෂ්පාදන කටයුතු කඩිනමින් සිදු කෙරමින් පවතී. මේතාක් ශ්‍රී ලාංකීය සිනමා තුළ බිහි නොවූ අපූර්ව කතා සංකල්යක් රැගත් අද මෙරට පවතින සමාජ හා දේශපාලන පසුබිම උපහාසාත්මක හා හාස්‍යජනක ලෙසින් ඉදිරිපත් කෙරෙන, ජනප්‍රිය අංග බහුල, පවුලේ සැමට නැරඹිය හැකි විනෝදාත්මක චිත්‍රපටයක් ලෙසින් ප්‍රසිඩන්ට් ස්ටාර් උදයකාන්ත හඳුන්වයි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගිහාන් ප්‍රනාන්දු, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඩබ්ලිව්. ජයසිරි, සනත් ගුණතිලක, ලකී ඩයස්, රොඩ්නි වර්ණකුල, රොෂාන් රණවන, පුබුදු චතුරංග, අශාන් ඩයස්, බිමල් ජයකොඩි, ටීනා ෂනෙල්, ධර්මප්‍රිය ඩයස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, අජිත් වීරසිංහ, අනුජ් රණසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, පාලිත සිල්වා, තරින්දි ප්‍රනාන්දු, ගයාත්‍රි ඩයස්, නිල්මිණි තෙන්නකෝන්, ආනන්ද වික්‍රමගේ, ගිරිරාජ් කෞශල්‍ය, රවින්ද්‍ර යසස්, කුමාර තිරිමාදුර, ජයලාල් රෝහණ, කුමාර වඳුරැස්ස, උදය තෙන්නකෝන්, සමන් හේමරත්න, සරත් චන්ද්‍රසිරි, විල්සන් ගුණරත්න, රිචඩ් මානමුදලි, දිමුතු චින්තක, ජනක කුඹුකගේ, මිහිර සිරිතිලක, සැන්ඩෝ හැරිස්, ලාල් කුලරත්න, සුරංග සතරසිංහ, සම්පත් ජයවීර, අනුර බණ්ඩාර රාජගුරු, කීර්ති රත්නායක, සඳුන් විජේසිරි, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, මන්දාකිනි මෙන්ඩිස්, බුද්ධික රඹුක්වැල්ල, හේමන්ත ඊරියගම, හැරී විමලසේන, උදේනි චන්ද්‍රසිරි, භානු කොඩිකාර, ආරියසේන ගමගේ, චින්තක පීරිස්, සරත් කරුණාරත්න, කුමාරි සේනාරත්න, ජීවන් හඳුන්නෙත්ති, ශිරෝමිකා ප්‍රනාන්දු, චතුර පෙරේරා, සරත් පීරිස්, සරත් ධර්මසිරි, ගයාන් රණධීර, අනුර ශ්‍රීනාත්, සිසිර කුමාරතුංග, සජීව මල්මාලආරච්චි, සමන් අල්මේදා, රන්ජිත් රූබසිංහ, සමන් ඒකනායක, කීර්ති බණ්ඩාර, ජානක හාල්පාන්දෙනිය, ජනක වසන්ත, සුදේශ් වසන්ත පීරිස්, නිරෝෂන් ඉලේ්පෙරුම, අසෝක රොද්‍රිගෝ, ඉංගා රොද්‍රිගෝ, බොනිපස් ජයශාන්ත, දමින්ද මෙන්ඩිස්, පියතිලක ලුණුවිල ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ රංගනයට දායක වේ. ප්‍රධාන කැමරා අධ්‍යක්ෂවරයා ලෙසින් ජයනාත් ගුණවර්ධන ද සෙසු කැමරා අධ්‍යක්ෂවරුන් ලෙසින් අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි හා කේ. ඩී. දයානන්ද සම්බන්ධ වේ. සංස්කරණ හා ශබ්ද සැලසුම්කරණයෙන් ප්‍රවීන් ජයරත්න, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත, වේශ නිරූපණයෙන් වසන්ත විට්ටච්චි, කලා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස්, නිෂ්පාදන කළමනාකරණයෙන් නිහාල් සංජය හා හේමන්ත බන්ධනගේ, සංගීත අධ්‍යක්ෂණයෙන් මහේෂ් දෙනිපිටිය, නිශ්චල ඡයාරූපකරණයෙන් මහේෂ් නිශාන්ත ද සම්බන්ධ වී ඇත. දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි. මෙය ඔහුගේ 24 වැනි සිනමා නිර්මාණය වේ. උදයකාන්ත නිර්මාණය කළ ගින්දරී 3 චිත්‍රපටය ළඟදීම තිරගතවීමට නියමිතය.

රටට යහපත් ජන නායකයෙකු තෝරා ගැනීමට සකස් කළ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් පිළිබඳ කතා තේමාවක් මෙම චිත්‍රපටයට අඩංගු වී ඇත. මෙය දේශපාලනය දෙස සංවේගාත්මක හා උපහාසාත්මක ලෙස බලන හාස්‍ය උත්පාදන චිත්‍රපටයකි. එමෙන්ම රටේ ඉදිරි ගමන් මඟ පිළිබඳ දැක්මක් ද කතාවේ යටිපෙළ තුළින් ඉස්මතු වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.