මෙය ලංකාවේ වැඩිම මුදලක් වියදම් කළ චිත්‍රපටයක්

ප්‍රසන්න විතානගේ ගාඩි ගැන කියයි
අප්‍රේල් 25, 2019

අඩසියවස් අඩක් සිය ජීවිත කාලයෙන් වැය කොට තම දසවැනි සිනමා නිර්මාණය තමන්ගේ විශිෂ්ටතම සිනමා කෘතිය ලෙස ප්‍රේක්ෂක ප්‍රජාවට දායාද කරන්නට සූදානමින් සිටින සම්මානනීය සිනමාකරුවා මා ඉදිරිපිට අසුනේය. මම නොඉවසිල්ලෙන් ඔහුගේ කතාව අසන්නට බලා සිටිමි. ඔහු හදවතින්ම නුවර යුගයට ගොසිනි. ඒ යුගයේ ගැහැනුන් පිරිමින් සමඟ ඔවුන්ගේ බසින් අදහස් හුවමාරු කරගන්නට මේ නිර්මාණකරුවා සමත්ව සිටී. එදා සංස්කෘතිය, ඇඳුම් පැලඳුම්, නිවාස අතරින් මනසින් ඇවිද යන ඔහුට එහි සංගීතයද ඇසේ දෝ මට සිතේ. ඒ රසවත් අතීතය විඳගන්නා අතර ඔහු ඒවා වදන්වලට පෙරළමින් මා සමඟ බෙදා ගැනීමට සැරසෙයි. ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ගාඩි හැදූ ආකාරය තවත් චිත්‍රපටයක තිරකතාවක් මෙනි.

ගාඩි චිත්‍රපටය නිර්මාණය කරන්න මම වසර 25ක් උත්සාහ කළා. ඉංග්‍රීසියෙන් ර්චඨදභථ ධනභඵ නැත්නම් කෙනෙක් තමන්ගේ ජිවිතයේ කාලාන්තරයක් කැප කරලා අන් සියලු දේ පසෙක ලා නිර්මාණයක් කරනවා කියලා හිතලා යෙදෙන කාර්යය හැටියට මගේ මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. ඒකට හේතු වුණ එක් කරුණක් තමයි මේ කතාවේ පසුබිම් සිදුවීමක් ලෙස නුවර යුගයේ අවසන් දවස්වල වුණු කරුණක් මට දැනගන්න ලැබුණට පස්සේ මට ඒ පිළිබඳ විශාල ආකර්ශනයක් ඇති වීම. ඒ වගේම අනෙක් අයට මම මෙය කියද්දී ඔවුන්ගේත් ලොකු උනන්දුවක් දකින්න ලැබුණා. මම ලංකාවේ විශාල නළු නිළි සංඛ්‍යාවක් එක්ක මේ ගාඩි කරන්න උත්සාහ කරලා තියෙනවා 1993 විතර ඉඳන්. මේ තිරරචනයත් ඒ කාලේ ඉඳන්ම ලියලා-ලියලා අවසානයේ එයට අගුළු දැම්මේ 2018දියි.

දශක දෙකහමාරක් ඔහු හකුළුවා දැක්වූයේ එසේය. මගේ නිසඟ පැනය වූයේ මේ තරම් වෑයමක් දරා මේ කෘතිය කරන්නට තරම් මෙහි ඇති විශේෂත්වය කුමක්ද යන්නයි

පළමුවැනි කාරණය මහාචාර්ය සුචරිත ගම්ලත් වරක් කීවා අප ඉතිහාසය ඇවිස්සිය යුතු නැහැ ඒ හරහා වර්තමානයට ආලෝක ධාරාවක් නිකුත් කරන්න බැරිනම්. එනිසා අප ඉතිහාසයට යා යුත්තේ වර්තමානය තේරුම් ගැනීමටයි. ඉතින් මම හිතනවා වර්තමානයේ අපේ රට, දේශපාලනය බොහෝ සෙයින් තේරුම් ගැනීමට ආලෝකය සපයන අත්දැකීමක් මේ අතීත කතාව තුළ තිබෙනවා කියා. අනෙක් කරුණ තමයි බොහෝ වෙලාවට අපේ ඉතිහාස කතා හැදිලා තිබෙන්නේ ප්‍රභූන් සම්බන්ධව. ගාඩි තේමාවේ විශේෂත්වය මෙය නිර්ප්‍රභූ ඉතිහාසය නැත්නම් රජුන් පිළිබඳ නොව මේ රටේ සාමාන්‍ය ජනයාගේ ඉතිහාසය මතු වීමෙන් මට ඇති කළ ආශක්ත බව. අනෙක අපි හැමවෙලේම නිර්මාණයක් කරද්දි හිතනවා තමන්ගේ තරමට, හැකියාවට වඩා විශාල දෙයක් ගැන. අන්න ඒ නිර්මාණය කිරීමේ අභියෝගය බාර ගැනීමත් තව හේතුවක්.

එයින් කියැවෙන්නේ ගාඩි දැවැන්ත නිර්මාණයක්?

මම හිතන්නේ ඔව්, මෙය ලංකාවේ වැඩිම මුදලක් වැය කළ චිත්‍රපටයක්.

මම කැමතියි මේ ආකර්ෂණීය තේමාව ගැන ටිකක් දැනගන්න? (ඔහු සිනාසී මගෙන් මෙසේ විමසයි)

ම්... නුවර යුගයේ, කඳුරට නීතිය යටතේ ස්වාමි පුරුෂයා රාජද්‍රෝහී කටයුත්තක නියැළී, නීතියෙන් සැඟවී පැන ගියොත්, ඊට මුහුණ දෙන්නට වන්නේ බිරියටයි. තමන් කිසිසේත්ම නොකළ වරදකට ඒ කාන්තාවට දඬුවම පිළිගන්න වීම ආකර්ෂණීය නැද්ද?

ප්‍රභූ හෝ වේවා නිර්ප්‍රභූ හෝ වේවා මෙයත් ඓතිහාසික කතාවක් නිසා ඔබත් ඒ රැල්ලට හසු වූ නිර්මාණකරුවකු බවට පත්වේවිද?

මට සියයට සියයක් සහතික වන්න පුළුවන් ගාඩි ඔබ මෙතෙක් නුදුටු, නොවිඳී අත්දැකීමක් සහිත ඉතිහාස කතාවක් හරියට කිරීමට උත්සාහ කිරීමක් කියලා. (සිනාසේ)

(මමත් සිනාසී කියමි) ඒ ප්‍රකාශය ටිකක් බරපතළයි?

අපේ ඉතිහාස කතා කරන්න ගියාම බොහෝ දුරට අපි දකිනවා නේද අඩුපාඩු, නැත්නම් ඒ සිද්ධීන් නිරූපණයේ තිබෙන අඩුලුහුඬුකම්? ඒවා මකාගන්න තමයි අවුරුදු ගාණක් මේ උත්සාහ දැරු‍වේ. ඉතින් ප්‍රතිඵල ගැන මට කියන්න බෑ. ඒක... ප්‍රේක්ෂකයන් තීරණය කරාවි.

වසර විසිපහක් කියන්නේ විශාල පර්යේෂණ කාලයක්?

හ්ම්... ඇත්තටම අපි යමක් ආරම්භ කරන්නේ යම් අත්දැකීමක් විඳගත්තාම එය කියන්න වීමත් එක්ක. ඒත් ඒ සඳහා අපි අතැඹුලක් සේ එය දැනගත යුතුයි. ඒ සඳහා කාලය ගත වෙනවා. කොහොමද ඒ සමාජයේ මිනිසුන් හැඟීම් ප්‍රකාශ කළේ, ඇන්දේ, කෑවේ බීවේ? ඔවුන් ඉතිහාසයට අයිති පුද්ගලයන් ලෙස නොවේ මනුෂ්‍යයන් හැටියට, ඇට ලේ මස් නහරින් තැනුණු මිනිසුන් ලෙස අපට තේරුම් ගැනීමට සිද්ධ වෙනවා. ඒ සඳහා සමාජ පසුබිම වගේම ඔවුන්ගේ සිතුම් පැතුම් සියල්ලක්ම අපට අධ්‍යයනය කරන්න සිදුවෙනවා. ඒ අධ්‍යයනය තමයි අවුරුදු 25ක් පුරා කළේ. අනෙක නුවර යුගයේ හරියටම කොහොමද මිනිස්සු ඇන්දේ, හරියටම කොහොමද ගෙවල් තිබුණේ, හරියටම කොහොමද ඔවුන් කතා බහ කළේ කියන දේ හැකිතාක් ඒ අයුරින්ම ගොඩ නැඟීමයි මගේ උත්සාහය වුණේ. ඒ පර්යේෂණයේදී ඉතිහාසය පිළිබඳ අප්‍රකාශිත තොරතුරු රැසකුත් මට දැනගන්නට ලැබුණා. මම ඒවා චිත්‍රපටයට ඇතුළු කළා.

එහෙම වුණාම මෙය කෙළින්ම පර්යේෂණ කෘතියක් බවට පත්වනවානේ?

නෑ. මෙය ඉතිහාසය ඇසුරින් නිර්මාණය කළ ප්‍රබන්ධයක්. ඉතිහාස කතාවකුයි, ප්‍රබන්ධයකුයි අතර වෙනසක් තිබෙනවා. ඉතිහාසය පසුබිම් කරගනිද්දි උදාහරණයක් හැටියට ඡායාරූපකරණයේදී සිද්ධ වෙනවා ඒ වර්ණයන් කොහොම තිබෙන්න ඇතිද? ආලෝකය කෙබඳුව තිබෙන්නට ඇතිද වැනි දේ සොයා බලා ගොඩනඟන්න. ඉතින් අපිත් ඒ දේ කළා.

මොනවගේ මූලාශ්‍රද පරිශීලනය කළේ?

මම මගේ අනෙක් චිත්‍රපට නිර්මාණය කරන අතරතුරත් මේ චිත්‍රපටය වර්ධනය වුණා. ඒ වගේම මචං චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ පැසලෝනිත් මේ තිර රචනයේදී මට යම් යම් අවස්ථාවල උත්කෘෂ්ට ලෙස ගොඩ නැඟීම සඳහා සහාය දුන්නා. මෙය ඇත්තෙන්ම මගේ පළමුවැනි චිත්‍රපටයෙන් පසු පටන් ගත් එකක්නේ. ඉන් පසු නිර්මාණය කළ චිත්‍රපට අටම හදන කාලය තුළත් මෙය නොකඩවා වරින් වර පෝෂණය කරමින් සකස් කරමින් ගොඩ නැඟුවා. ඒ සඳහා නුවර යුගය පිළිබඳ මෙතෙකේ ලියැවුණු සියලුම පොත් පත් ලිපි ලේඛන මම කියෙව්වා.

ඒ කියන්නේ සැහෙන දුෂ්කර ක්‍රියාවක්?

දුෂ්කර කිව්වාට ඒක ඇත්තෙන්ම ස්වාර්ථ වීර චාරිකාවක්. ('ස්වාර්ථ' වචනය පුනරුච්චාරණය කර මම සිනාසුනෙමි. ඔහුද සිනාසී කියයි) ඇත්තටම මමත්වයක් තියෙනවානේ මේ වැඩේ.

රාජද්‍රෝහී පුරුෂයකු ගැන නිසා සටන් එහෙමත් තිබෙනවාද?

මම කියන්නේ නැහැ සටන් තියෙනවාද කියා. ඒත් අංගම්පොර නම් නෑ.

ඔබ කියන ආකාරය අනුව සිතද්දී මෙහි කලා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය වැනි අංශ තරමක් අභියෝගාත්මක වන්නට ඇති කියා සිතෙනවා?

අපි ගත්තොත් නුවර යුගය පිළිබඳ විවධ චිත්‍රපටවල විවිධ වර්ණයන්ගෙන් ඇඳුම් ලාගත් නළු නිළියන් රඟපානවා. ඒත් ඇත්තටම නුවර යුගයේදී කාන්තාවන්ට වර්ණ, ඇඳුම් පිළිබඳ තහංචි තිබුණා. ඒ ඒ කුල අනුව තමයි ඒවා තීරණය වුණේ. රජුට පමණයි බොහෝ වරප්‍රසාද තිබුණේ. අපි සමහර විට දකිනවා නුවර යුගයේ ඇතැම් ප්‍රභූන් සපත්තු දානවා. ඒත් ඒ යුගයේ සපත්තු දැමිය හැකි එකම පුද්ගලයා රජු පමණයි. මට පේනවා සමහරු ඉතිහාස කතාවලදී ග්ලැඩියේටර් පන්නයේ ඇඳුම් පැලඳුම් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. තවත් සමහරු නුවර යුගය පිළිබඳ වෙනත් අය නිර්මාණවලට යොදාගත් ඇඳුම් ආයිත්තම් ඇසුරෙන් නිර්මාණය කරගන්නවා. ඒත් ඒ එකක්වත් නුවර යුගයේ නෙවෙයි. අපි මෙහිදී කතා කරන මිනිසුන් පිළිබඳ තේරුම් ගන්නා විට තමන්ට තනාගත හැකි ඇඳුමක් අඳීන්න කිසිම පුද්ගලයකුට අයිතියක් තිබුණේ නැහැ. මේ චිත්‍රපටයේ මූලික අත්දැකීමට ඒකත් කතන්දරයක්. බොහෝ වෙලාවට ලංකාවේ වලව් කියලා පෙන්වන්නේ පසුකාලීන සුද්දන් විසින් තාන්න මාන්න දී වර්ධනය කරනු ලැබූ රදළයන්ගේ බංගලා. ඒවා ඇත්තටම වලව් නෙවෙයි. වලව්වල සුදු ඇරෙන්න වෙන පාටක් ගාන්න බැහැ. මී ඉටි, ගොම ආදිය මිස සිමෙන්ති පොලිෂ් කරපු බිම් තිබුණේ නැහැ. ඓතිහාසික චිත්‍රපටවල අතපසුවන මේ සියුම් අනුශාංගික අංගවලට මම අවධානය යොමු කළා. මොකද චිත්‍රපටයක් දැවැන්ත වනවිට අලි ඇතුන්, අශ්වයන් ගැන හිතනවා ඒත් එහි හදවත නැති වනවා. එය කොහොමද මඟ හරවා ගන්නේ කියලයි බැලුවේ. නිලමේ කෙනකුගේ හිස් පලඳනාවේ තිබිය යුතු හුලස් ගණන්වල වෙනස පවා අපි සෙව්වා. අද අපි අඳීන නිලමේ ඇඳුම කොතරම් වැරදිද කීවොත් නිලමෙට තිබුණේ සුදු ඇඳුමක් විතරයි. ගැහැනු අයට ළමා සාරියේ කර රැල්ල වගේ ඇඳුමක් තිබුණා. මේ සියල්ල කාලය ගත වීමේ ප්‍රතිඵල ලෙස සොයාගත් දේවල්.

නළුවරණය කොහොමද කළේ?

මම කලින් කීවා වගේ කාලයක් තිස්සේ කළ උත්සාහයක් නිසා මෙය විවිධ නළු නිළියන් සමඟත් කරන්න සැලසුම් කළා. ඒත් මෙයට වැය කළ යුතු ප්‍රාග්ධනය සොයා ගැනීමේ අපහසුව නිසා අතපසු වුණා. වෙන චිත්‍රපට කළා. මෙහි ප්‍රධාන නිළිය දිනාරා පුංචිහේවා හමුවන්නේ අහම්බෙන්. ඇය රංග කලාව එක්සත් රාජධානියෙන් හදාරා පැමිණි තරුණියක්. ඇත්තෙන්ම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්න නිළියක් නොමැති විම නිසා මඟහැරුණු අවස්ථාත් තිබෙනවා. දිනාරාගේ චරිතය මෙහි කොඳු නාරටිය වගේ. ඇය ඒ අභියෝගය කිසිදු ආධුනිකත්වයක් නැතිව ඉතා කැපවීමෙන් කළා. ඒ වගේමයි සජිත අනුත්තර. මම කීවා වගේ කාලයකදී මේ චිත්‍රපටයේ රඟපාන්න ජැක්සන් ඇන්තනීටත් කතාකරලා තිබුණා. අන්තිමට රඟපැවේ පුතා. ඒ වගේම සියලු නළු නිළියන් ඉතාමත් කැපවීමෙන් මේ නිර්මාණයට දායක වුණා. ලංකාව පුරා රූපගත කිරීම්වලට අපහසු දර්ශන තලවල පවා දින 50-60ක පමණ දීර්ඝ කාලයක් සියලු අපහසුතා විඳදරාගනිමින් සහයෝගය දැක්වූවා. ඉතින් අවසානයේ මම මෙතෙක් කල් බලා සිටි සුදුසුම නළු නිළියන් දෙදෙනකු ලැබීම පිළිබඳ ඉතාමත් සතුටු වෙනවා. මොකද එහෙම නොවුණා නම් මේ චිත්‍රපටය හැදෙන්නේ නැහැ.

මම රවීන්ද්‍ර රන්දෙණිය මහත්මා සමඟ කළ සාකච්ඡාවක් අතරදී ගාඩි වගේම ඔබේ අධ්‍යක්ෂ භූමිකාව සම්බන්ධව බොහෝ දේ කතා වුණා?

රවි අය්යා මගේ දෙවැනි චිත්‍රපටය 'අනන්ත රාත්‍රිය' ට එක් වුණා. ඉන් වසර ගණනාවකට පසුවයි ඔහු සමඟ කටයුතු කරන්නේ. මම විශ්වාස කරනවා රවි අය්යාගේ ජීවිතේ හොඳම රංගනය මේ චිත්‍රපටයට ලබා දී තිබෙනවා කියා. මම ඔහු සමඟ කටයුතු කරන්න කැමති, ඔහු චරිතයට ලබා දෙන සම්මාදම නිසා එය තෘප්තිදායක අත්දැකීමක් වනවා. ප්‍රධාන නළුනිළි යුවළ හැර කිසිම චරිතයක් ගලායන භූමිකා නෙවෙයි. එහෙත් ඔහු ඇහැලේපොළ අධිකාරම ලෙස ඒ චරිතයේ විවිධ පැතිකඩ ඉතා සියුම් ලෙස නිරූපණය කළා. ඔහුගේ වේශනිරූපණය නිසා ඔහුට ඉතිරිව තිබුණේ ඇස්දෙක පමණයි. එයින් සහ අංග චලනය භාවිත කරමින් ඉතාම පහන් සිතින් මහන්සිය නොබලා කැපවීම කළා.

අයිරාංගනී සේරසිංහ මහත්මිය අවුරුදු 92ක් වෙලාත් කළ කැපවීම් අමතක කරන්න බැහැ. රාජද්‍රෝහියකුගේ ඥාතීන් වීම නිසා කාන්තාවන් වතුරට බිලිකරන දර්ශනයක් තිබුණා. ඇය කියා සිටියා තමන්ම ඒ වතුරට පනින්න ඕනා කියා. මම ඉතා සන්තෝශ වෙනවා ඇය සමඟ යළි වැඩකරන්න ලැබීම. ශ්‍යාම් ප්‍රනාන්දු සහ ආනන්ද කුමාරඋන්නැහේත් මෙහිදී මතක් කරන්න ඕනෑ. නව පරපුරේ ශිල්පීන් අතරින් කලණ ගුණසේකර මම ඉතා කැමති නළුවෙක්. ඒ වගේම... (සඟවාගත් සිනහවකින් මුව පුරවා මදෙස බලා) මම කාලෙකට පස්සේ දමයන්ති ෆොන්සේකා එක්කත් වැඩ කළා. ඒ වගේම සම්බන්ධ වුණු රංගන ශිල්පීන් සියලු දෙනාම දායකත්වයක් දුන්නා ඒ අය අතිරේක නළුනිළියන් නොවේ, චරිත බවට පත් කරන්න.

රවි අය්යා කීවා ඔබ සමඟ කටයුතු කිරීම රංගන පාසලකට ගියා හා සමානයි කියා?

අධ්‍යක්ෂවරයකුයි නළුවෙක් හෝ නිළියක් ගොඩනඟන්නේ කුමක්ද? චරිතයක් මුහුණ දෙන අවස්ථාවේ ගැඹුරුම තැන සෙවීම. සත්‍යය කියන්නේ ඕකටනේ. අරුණිටයි මටයි දෙන්නටම එකඟ වන්න පුළුවන් දෙයක්නම් මෙතැන පෙනෙන්නේ ඒක තමයි පොදු සත්‍යය. රවි අය්යා වගේ කෙනකු එක්ක කතා කරන්නේ අපි ජීවිතේ ගැන. මම ඒකයි කියන්නේ බොහෝ ඉතිහාස කතාවල තියෙන්නේ ජීවිතය නෙවෙයි. සිදුවීමක් අල්ලා ගෙන එය වාර්තා කිරීම කියලා. එහෙම නැතුව ඓතිහාසික චරිතවල පැතිකඩයන් මතුකර ගන්න නම් ඒ චරිතය යම් අවස්ථාවකට මුහුණ දීමේදී දැනෙන හැඟීම කුමක්ද කියා වටහා ගන්න, ඔහුගේ අභ්‍යන්තරය අල්ලා ගැනීමට අප උත්සාහ කරනවා. ඒ පිළිබඳ නළුවා සමඟ කලින් දවසේ කතා කරද්දි ඔහුගේ මුහුණෙනුත් ඒ හැඟීම් එන්න පටන් ගන්නවා. අවසානයෙ අපට තෘප්තිමත් වෙන්න පුළුවන් වන්නෙ අප වයසට ගිහින් චිත්‍රපට නොහදන කාලෙකදී පවා ඊට පෙර යුගයේ අපි අපේ ජීවිත හැර වෙනත් මිනිසුන්ගේ ජීවිත තුළට කිමිදී දකින්නට හැකි වුණා, ඒ ජීවිත දැනුණා කියා මෙනෙහි කිරීමෙන්. එයට හොඳ ගමන් සගයන් තමයි රවී අය්යා වගේ අය.

මෙය පෙර පුහුණුවක කොටසක්ද?

මම රවි අය්යා එක්ක නම් පෙර පුහුණුවීම් කළේ නැහැ. ඒත් සජිත සහ දිනාරා චිත්‍රපටය රූගත කිරීමට මාස හතරකට පමණ පෙර සිට පුහුණුවීම් කළා. හැබැයි ඕනාවට වඩා පුහුණුවීම් කළොත් එහි පිළුණු ගතියක්, කෘත්‍රිමව හදපු ගතියක් එනවා. ඒ නිසා අපි කළේ අර මුලින් කියූ සිද්ධාන්තය. අනෙක දෙන්නෙකු ඉන්නා විට ඔවුන් පරිසරයක තනි වෙද්දි ඒ පරිසරයේ බලපැම එකිනෙකාගේ ඉංගිතයන් අනෙකාට බලපාන ආකාරය අපි හඳුනාගන්නවා. ඒ පිළිබඳ අවබෝධය ලැබීමයි පුහුණුව කියන්නේ. නැතිව දෙබස් කටපාඩම් කිරීම නොවෙයි.

අලුත්ම ශිල්පීන් සමඟ කටයුතු කිරීමේ අත්දැකීමට ඔබ මුහුණ දුන්නේ කොහොමද?

දිනාරාගේ මේ මුල්ම වතාව. මීට කලිනුත් ඉර මැදියමේ නිම්මි හරස්ගම ඊට පෙර රඟපාලා තිබුණේ නැ සිනමාවේ. අංජලී පටෙල් ඔබනැතුව ඔබ එක්ක රඟපැවේ එහෙමයි. රවීන්ද්‍ර රන්දෙණිය වගේ ප්‍රවීණයන් තමන් කාලයක් තිස්සේ නිර්මාණාත්මක අභ්‍යාසයේ යෙදීම නිසා හරියටම කාලයට තමන්ගේ මුහුණේ ඉරියව් සහ ඉංගිතයන් ලබා දීමට සමත් වෙනවා. නවකයන්ගේත් එය තිබෙනවා. ඒත් අධ්‍යක්ෂවරයන් හැටියට අපි කරන්නේ සිනමා රූපය තුළ ඔවුන්ගේ සියුම් ඉංගිතයන් සටහන් කරගත හැකි අයුරින් ඔවුන් මෙහෙයවීමක් කිරීමයි. සමහර වෙලාවට අලුත් නළු නිළියන්ට තමන්ගේ ප්‍රතිරූපයක් තැනී නැති නිසා යම් යම් අලුත් දේ කිරීමටත් උත්සාහ කරනවා. එයින් මෙතෙක් අප නොදුටු ආකාරයක ඉංගිතයන් සහ හැඟීම් මතු වන්න ඉඩ තිබෙනවා. ඒ නැවුම් බව ශාස්ත්‍රානුකූලව මෙහෙයවා ගැනීමයි අප කරන්නේ. සිනමා රංගනයේ තාක්ෂණික පැත්තකුත් තිබෙනවානේ. ඒ කාර්මික රටාව ඔවුන් ඉදිරියේ බරපතළව පෙන්වන්නේ නැතිව අවංක යෙදීම මතුකර ගැනීමයි අවශ්‍ය. ඉතින් මට නම් නවකයන් සමඟ කටයුතු කිරීම තෘප්තියක්.

නුවර යුගයේ සංගීතයත් ඔබ වෙනම අධ්‍යයනය කළාද?

ඉන්දියානු සංගීතඥයෙකු මේ චිත්‍රපටය දැකලා සංගීතය සපයන්න කැමැත්ත පළ කළා. ඒත් තවම අවසන් තීරණයක් ගත්තේ නැ.

තමන්ම තිර රචනය කිරීමේ විශේෂ වාසියක් තිබෙනවාද?

ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගත්තොත් නිරන්තර කළේ වෙන අය ලියපු තිරරචනා අධ්‍යක්ෂණය. පවුරුවළලු තිර රචනය ටෝනි (රණසිංහ) අය්යාගේ. එතකොට අපි දෙන්නා අවුරුද්දක් එකට වැඩ කළා. ඉරමැදියම ප්‍රියත් ලියනගේ. ඔය කවුරු එක්ක වැඩ කළත් අධ්‍යක්ෂවරයා තේරුම්ගත යුතුයි සැම දර්ශනයකම හද ගැස්මක් තිබෙන බව. මට ඕන දේ මිනිසුන්ගෙන් හදන්න බැ. ඒත් හෘදය ස්පන්ධනය වෙනකොට ඒ චරිත ස්වාදීනව ගොඩ නැඟෙනවා. නිශ්චිත අදහසක් පෙරදැරි කරගෙන හදන තිරරචනයකයි, චරිත වර්ධනය කරමින් ඔවුන් සමඟ ජීවත්වන තිරරචනයකයි වෙනස ඒකයි. අපි වචනවලින් ආකෘතිගත කරන දේ රූපයට පරිවර්තනය කරන ආකාරය හා තමන්ගේ දැක්ම පෝෂණය කරන ආකාරය අනුවයි අධ්‍යක්ෂණය තහවුරු වන්නේ.

ගාඩි වෙනුවෙන් යොදාගත් තාක්ෂණය ගැනත් කියමු?

මේ චිත්‍රපටය රූපගත කරන්න දකුණු ආසියාතික කලාපයේ හොඳම කැමරාව, ඉහළම තාක්ෂණය යොදාගත්තා. ශබ්ද ඩොල්බි ඇට්මොස් ක්‍රමයට යොදා ගත්තා. ඒත් ඒ පහසුකම් නැති ශාලා සඳහා7.1 සහ 5.1ශබ්ද තාක්ෂණ භාවිත වෙනවා. ලංකාවෙ මෙතෙක් නොඇසූ ශබ්ද ප්‍රේක්ෂකයින්ට අහන්න ලැබෙයි. එය තාක්ෂණික කාරණයක් නෙවෙයි. ප්‍රේක්ෂකයා මේ සිදුවීම මැදට ගෙන යාමයි සිදු වන්නේ. එහි පවතින ශබ්දයි ඔවුන්ට නිරවුල්ව ඇසෙන්නට සලස්වන්නෙ.

විදේශ සම්මාන ලැබීම අපේ ප්‍රේක්ෂකයාට බලපාන්නේ කොහොමද?

සිනමාකරුවකුට තමන්ගෙ වෘත්තිය පිළිබඳ යම් අවධානයක් ලැබෙනවා සම්මානවලින්. ඒත් දැන් එන්න එන්නම ඒ තත්ත්වය අඩු වේගන යනවා. ඇකඩමි සම්මානයක් වුණොත් නම් අවධානයක් එයි. මම හැමදාම විශ්වාස කරන්නේ සම්මාන හා සිනමාව අතර කිසිම සම්බන්ධයක් නැ. ප්‍රේක්ෂකයා චිත්‍රපටයට තිබෙන කැමැත්ත අකැමැත්ත තීරණය කරන්නේ අවසානයේ තිරය මත තිබෙන දේ බලලායි.

මෙවැනි නිර්මාණ පසුපස ඕනැතරම් රසවත් අත්දැකීම් තිබෙනවා?

මම කලින් කළ චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටයේ හැම මොහොතක්ම මට විශාලයි. ඒ නිසා මට කෘතිය අවසන් වනතුරුම විශාල තිගැස්මක් තිබුණා. ඉතින් මට ලැබුණු රසවත්ම අත්දැකීම තමයි මේ චිත්‍රපටය ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණය කරලා ඉවර වුණු මොහොතේ මට දැනුණු සැහැල්ලුව.

කවද්ද අපට ඔබේ ගාඩි බලන්න ලැබෙන්නේ?

මේ වසරේ අගභාගේ සෙල් හා රිද්ම මණ්ඩලේ සිනමා ශාලා හැත්තෑවක පමණ බලන්න පුළුවන්.

චිත්‍රපට මුදාහැරීමේ ගැටලුවට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?

සමස්ත ජනතාවට ප්‍රදර්ශනය කළ හැකි ආකාරයට ශාලා 60-80 අතර සංඛ්‍යාවකට යා හැකි බව නොදැනුණොත් දැන් පූර්ණ ප්‍රදර්ශනයක් ලැබෙන්නේ නැහැ. මෙය හොඳ තත්ත්වයක් හැටියට මම දකින්නේ නැ. ඒත් මේ නිසා අනාගතයේදි සිනමාකරුවන්ට සිදුවේවි සිනමා වෙබ් අඩවි වැනි විකල්පවලට යන්න. අපට හැකියාව තිබිය යුතුයි සිනමාකරුවන් ලෙස ලෝකය සමඟ අලුත් වෙමින් සිතන්න. අද ප්‍රේක්ෂකයන් චිත්‍රපට නරඹන්නේ ශාලාවල පමණක් නෙවෙයි. ප්‍රේක්ෂකයන් ශාලාවලට යන්නේ දැවැන්ත චිත්‍රපට නැරඹීමට පමණයි. ආත්ම ප්‍රකාශනය සඳහා හෝ තෘප්තිය සඳහා ලොව පුරා චිත්‍රපටකරණයේ නියැලෙන අය මේ අභියෝගය ජයගනිමින් සිටිනවා. ඒ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. නැත්නම් ආත්ම ප්‍රකාශන සිනමාව මේ රටේ වඳවෙයි.

(සාකච්ඡාව අවසන් කළ යුතුය. ඒ සඳහා අවසන් ප්‍රශ්නය මම ඉදිරිපත් කරන්නට තීරණය කළෙමි.)

ඔබේ කෘති මේ අභියෝගයට සූදානම් කරන්නේ කොහොමද?

බොහෝ දෙනා සිතන පරිදි චිත්‍රපටයක් ශාලාවෙන් ගැළවී යැමෙන් චිත්‍රපටයේ ආයු කාලය නිමා වෙන්නේ නැහැ. අද තවත් මාධ්‍යවලට එය එකතු වෙනවා. දිනෙන් දින අලුත්වන ඩිජිටල් තාක්ෂණය මාධ්‍ය ක්ෂේත්‍රයට එකතු වෙනවා. උදාහරණයක් ලෙස මගේ චිත්‍රපට සියල්ල පාහේ ජපානයේ සංරක්ෂණය කරලා තිබෙන්නේ. ඒ වගේම මගේ සිනමාකරණයෙන් ලැබෙන ආදායම යොදවා තිබෙනවා නව මාධ්‍යවලිනුත් ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි තත්ත්වයට පත් කරන්න. මගෙන් පසුව වුවත් මේ චිත්‍රපට ප්‍රේක්ෂකයන් බලන්න කැමති නම් අවශ්‍ය මොහොතක මුදා හරින්න හැකි අයුරින් පවතින බව මට විශ්වාසයි. ඒ නිසා මට කිසි බයක් නෑ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.