නත්තල සොරාගන්න උත්සාහයක්

දෙසැම්බර් 6, 2018

නිවාඩු කාලයක් උදාවීම කුඩා දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් පවා ආසාවෙන් බලා සිටින දෙයක්. නිවාඩු කාලය විවේකයෙන් විනෝදයෙන් ගත කිරීම ඕනෑම අයෙක් ප්‍රිය කරන දෙයක්. නිවාඩු කාලය අතරින් වසර අවසානයේ උදාවන නිවාඩුව කතෝලික බැතිමතුන්ට විශේෂයි. ජේසුතුමන්ගේ උපත සමරන නත්තල සමඟින් ඔවුන් තරමක් කාර්යබහුලයි. ඉතින් මේ නිවාඩුව හෝ නත්තල කවුරුන් විසින් හෝ සොරකම් කළොත් කෙසේ වේවි ද?මේ අයුරින් උවමනාවෙන්ම අනෙකුත් අයගේ සතුට හෝ ඔවුන්ගේ වැඩපිළිවෙළ විනාශකර දමන පුද්ගලයන් ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ 'ග්‍රින්ච්' නමින්.

මේ වසරේ අවසානයේ උදා වුණු නත්තල් නිවාඩු සමයටත් දැන් ග්‍රින්ච් ඇවිත්. ඒ ස්කොට් මෝසර් සහ යාරෝ චීනි අධ්‍යක්ෂණය කළ The Grinch චිත්‍රපටය සමඟින්. ග්‍රින්ච් තම කීකරු සුනඛයා මැක්ස් සමඟින් ක්‍රම්ප්ට් නම් කඳු මුදුනේ ගුහාවක ජීවත් වෙනවා.

ඔහු දරුණුම තත්ත්වයකට පත් වන්නේ නත්තල් සමය උදාවීමත් සමඟින්. මන්දයත් ඔහුට ඉවසිය නොහැකිම දේ වන්නේ ක්‍රම්ප්ට් ආසන්නයේ පිහිටි හූවිල් නම් නගරයේ ජනතාව නත්තල් උත්සවයට සූදානම් වීමයි. හූවිල් වැසියන් අති උත්කර්ශවත් අයුරින් නත්තල සමරන්න සූදානම් වන විටදී ග්‍රින්ච් තම සගයා මැක්ස් සමඟින් කල්පනා කරන්නේ තමන්ට සාමය ලබා ගන්නේ කෙසේ ද? යන්නයි.

ග්‍රින්ච් ඒ වෙනුවෙන් සැලසුම් කරන්නේ, හූවිල් වැසියන්ගේ නත්තල සොරකම් කිරීමටයි.The Grinch චිත්‍රපටය නිර්මාණ වී තිබෙන්නේ ඩොක්ටර් සූස් හෙවත් අමෙරිකානු ළමා ලේඛක තියොඩර් සූස් ගිසෙල් විසින් 1957 වසරේදී රචිත How the Grinch Stole Christmas නම් ළමා කෘතිය යි. 2012 වසරේ The Lorax චිත්‍රපටයට පාදක වූ The Lorax කෘතිය රචනා කර තිබෙන්නේ ද ඩොක්ටර් සූස් විසිනි.

How the Grinch Stole Christmas!කෘතිය කිහිපවරක්ම චිත්‍රපට සේම රූපවාහිනි නිර්මාණ සඳහා යොදා ගෙන තිබේ. එය 1966 වසරේදී රූපවාහිනි විශේෂාංගයක් ලෙසින් නිර්මාණය කෙරුණු අතර 2000 වසරේදී රොන් හොවාර්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කෙරුණා. අමෙරිකානු ඩොලර් මිලියන 123ක පිරිවැයකින් නිර්මාණය කළ එය ලොව පුරා තිරගත කිරීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 345ක ආදායමක් වාර්තා කළා.

එහි ග්‍රින්ච්ගේ චරිතයට පණ පෙව්වේ ජිම් කේරි විසිනි. How the Grinch Stole Christmas නම් වූ එම චිත්‍රපටය ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම කලා අධ්‍යක්ෂණය සහ හොඳම වේශ නිරූපණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත්ව හොඳම වේශ නිරූපණය වෙනුවෙන් වූ සම්මානය දිනා ගන්නට සමත් විය.

පසුගිය නොවැම්බර් 09 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළ The Grinch ත්‍රිමාන පරිගණක සජීවීකරණ චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වී ඇත. එහි ග්‍රින්ච් චරිතයට හඬදායකත්වය ලබා දෙන්නේ බ්‍රිතාන්‍ය නළු බෙනඩික්ට් කම්බර්බැච් විසිනි. මැක්ස්ගේ චරිතයට හඬ කවන්නේ ෆ්‍රෑන්ක් වෙල්කර් විසිනි. ඔවුන් සමඟින් කැමරොන් සෙලී, රෂීඩා ජෝන්ස්, කෙන් තොම්සන්, ඇන්ජෙලා ලන්ස්බරි ඇතුළු පිරිසක් මෙහි හඬදායකත්වය ලබා දී තිබේ. යුනිවර්සල් පික්චර්ස් විසින් බෙදාහරින The Grinch නිෂ්පාදන පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 75කි.

එය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 217.7ක ආදායමක් වාර්තා කර ඇත. Alice in Wonderland, Mission: Impossible (1996), Spider-Man (2002), Fifty Shades  චිත්‍රපටමාලාව ආදියෙහි සංගීත අධ්‍යක්ෂණය කළ ඩැනී එල්ෆ්මාන් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ මෙහි කෙටි ගීත රැසක් ඇතුළත් වී ඇත. මෙම චිත්‍රපටය වෙනුවෙන්ම ලියවුණු "I Am the Grinch" ද ඒ අතර වේ. නව ග්‍රින්ච් චිත්‍රපටයට ධ්ර්ච්ඡ දර්ශකයේ 6.4/10ක් සහ රෝට්න් ටොමැටෝස්හි 58%ක් ලෙසින් ප්‍රතිචාර හිමි වී ඇත.

එහි ප්‍රමුඛ විචාරය පවසන්නේ සූස්ගේ පැරණි කතාව ඉතාම විචිත්‍රවත් අයුරින් පරිගණක සජීවීකරණයට ලක් කර ඇති බවයි. මුල් කතවෙන් පරිබාහිර කිසිවක් ඇතුළත් කර නොමැති එය ළමයින්ගේ නිවාඩු කාලය තව තවත් සුන්දර කරන නිර්මාණයක් බව ද ඒ අතර වේ. ළමයින්ගේ සිත් දිනා ගත්ත ද එහි වැඩිහිටි ආකර්ෂණය ලබා ගැනීමට තරම් යමක් නොවන බව විචාරක අදහසයි.

 
 
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.