ටොම් පචයාට කලින් ආව චිං චිං නෝනා

මාර්තු 4, 2021

1977 වසරේ මැතිවරණය පැවැත්වූයේ ජූලි මස 21 වැනි දිනදීය. එයට සති කිහිපයකට මත්තෙන් එනම් ජූනි මස 24 වැනි දින බොරැල්ලේ රිට්ස් සිනමාහලේ අලුත් සිංහල චිත්‍රපටයක් ද තිරගත විය. චිත්‍රපටයට දේශපාලන වේදිකාවේ ද තැනක් ලැබුණේ චිත්‍රපටයේ නම 'චිං චිං නෝනා' බැවින්ය. එවකට අගමැතිනිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නමට මේ නම ඈඳා ගෙන විරුද්ධ පාක්ෂිකයෝ ඇයට අපහාස කළහ. එයින් මැතිනියට කොයි හැටි වෙතත් චිත්‍රපටයට නොමිලයේ 'පබ්ලිසිටියක්' ලැබිණ. චිත්‍රපටය ඇරඹෙනුයේ අඳුරු දුමාරයක් මැද යම් මත්ද්‍රව්‍යයකින් සිහිවිකල් වූවා යැයි සිතෙන පිරිසකගේ නැටිමකින්ය. මේ නටන්නේ රුක්මණී දේවී, හියුගෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසකැ'යි අනුමාන කළ හැකිය. ඒ සමඟ නර්තනයේ යෙදෙන නළඟනකගේ රුවක නිරාවරණය වන සිරුරෙහි චිත්‍රපටයේ නාමාවලිය පතිත වනුයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක ඇති නාමාවලියකින් ඉගෙන ගත් දෙයක් හැටියටය.

විශාල නිවෙසක දොරකඩ අභියසට පැමිණෙන මැදිවියේ යුවළක් සහ දරුවන් තිදෙනෙකි. දරුවන් ද රැගෙන මේ එන්නේ ඔවුන්ගේ හාම්පුතු වූ රණසිංහ යුවළගේ අනුකම්පාව දිනා ගන්නටය. වසර ගණනාවක් කළ රැකියාව අහිමිව ඇත්තේ කළමනාකරු විසින් කරන ලද අසත්‍ය චෝදනාවක් හේතුවෙන්ය. දරු පවුල සමඟ මහමඟට වැටීමේ බියෙන් සිටින ඔවුන් රණසිංහ යුවළගේ අනුකම්පාව බලාපොරොත්තු වුව ද රීටා රණසිංහ මහත්මිය එයට විරුද්ධය. ඇය ධනවත් ගැහැනියකි. ඇගේ සැමියා ජීවත්වනුයේ ද ඇගේ මුදල් මතය. මේ නිසාම රීටාගේ අනුකම්පා විරහිත ඇනුම් පදවලට රණසිංහ නිතර ගොදුරු වෙයි. එමෙන්ම රීටා ධනයෙන් මෙන්ම බලයෙන් ද මත් වූ උඩඟු කාන්තාවකි. නිවෙසට පැමිණි අමුත්තන් කිහිපදෙනකු ඉදිරියේ මහලු සේවකයෙකුට රීටා පහර දෙයි. එයින් උරණ වන රණසිංහ සිය දරුවා රවී සමඟ මහපාරට බසියි.

ඔවුන්ට පිහිට වනුයේ රණසිංහගේ පැරැණි හිතවතකු මෙන්ම සංගීත මාස්ටර් කෙනෙකු වූ රූබන් ය. රූබන්ගේ සංගීත කණ්ඩායමේ නියැළි සගයන් දෙදෙනාගෙන් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන් තිදෙනාද දරුවන් ද ජීවත්වනුයේ එකම නිවහනකය. ලෙච්චමී හා සිත්ති උම්මා හා සුමනා මේ නිවෙසේ වෙසෙන මව්වරුන්ය. රවීගේ නම රංගන ලෙස වෙනස් කරන රූබන් දරුවාට ද සංගීතය උගන්වයි. කාලයාගේ ඇවෑමෙන් ඔවුහු තරුණ වියට පත්වෙති. මාස්ටර්ගේ දියණිය කුමාරිය. ඩොංගා සහ ජංගා අනිත් දරුවන්ය.

රංගන, කුමාරි, ජංගා සහ ඩොංගා රීටා රණසිංහගේ සමාජ ශාලාවේ ගී ගයන්නට පටන් ගනිති. රීටා මේ නාඳුනන තරුණයාට දිගටම ගී ගයන්නට ද අවස්ථාව සලසා දෙයි. ඇය ඒ වන විට ජීවත්වනුයේ සිය සොහොයුරා හා ඔහුගේ දරුවන් වූ අංජු නම් දියණිය හා ලූෂන් නම් පුතු සමගය. මේ වන විට රීටාගේ සියලු ව්‍යාපාරයන්හි බලතල පවරා ගෙන වැඩ කරන ඇගේ කළමනාකරු හර්බට් සමාජ ශාලාවේ නීති විරෝධි ව්‍යාපාරයන්වල ද යෙදෙන්නේ රීටා ගේ ඇස්වලට වැලි ගසමින්ය. එපමණක් නොව සිය සැමියා හා දරුවා අහිමි වීමෙන් පීඩා විඳීන රීටා වෙතට ව්‍යාජ රණසිංහ කෙනෙකු ද රවී නම් තරුණයෙක් ද හඳුන්වාදී ඇයගේ සිත් සැනසීමට ද හර්බට් පියවර ගනියි. මේ අලුත් රණසිංහ තම පියායැයි රංගන ද වරෙක රැවටෙන නමුත් පසුව ඔහු කුමන්ත්‍රණය වටහා ගනියි. මේ වන විට රංගන හා අංජු පෙම්වතුන්ය. අලුත් රවිගේ අරමුණ අංජු විවාහ කර ගැනීමය. රවි තම පෙම්වතිය රංගනගේ භාර්යාව ලෙස අංජුට හඳුන්වා දෙයි. මේ අතරවාරයේ රංගනගේ මෙහෙයවීම මත හර්බට්ගේ ජාවාරම් පොලිසියට හසු කර ගනියි. අංජු හා රවීගේ විවාහය දින එහි කඩා වදින රංගන, රවිගේ පෙම්වතිය කවරෙක්දැයි ඇය ලවාම හෙළිදරවු කරවා ගනියි. ඒ වන විට ඇය රවි නිසා ගැබිනියකව සිටින්නීය. රංගන හා අංජු අතර මෙන්ම ලූෂන් හා කුමාරි අතර ද විවාහය සිදුවෙයි. ඒ ඩොංගා හා ජංගාගේ සෝසුසුම් මැදය. රීටා සැබෑ රණසිංහගෙන් වැඳ සමාව ගනියි. මේ වසරේ තිර ගත කළ චිත්‍රපට අතරින් වැඩියෙන්ම ලුණු ඇඹුල් ඇතුව විචාරකයන්ගෙන් බැණුම් ඇසූ එය වසරේ වැඩිම ආදායම් ලත් චිත්‍රපට ගොන්නෙහි විය.

රිට්ස් සිනමාහලේ චිංචිං නෝනා දින 81 ක් තිර ගත විය. චිත්‍රපටය ආරම්භ කර මාස දෙකකට පසු එනම් අගොස්තු මාසයේ 16 වැනි දින රට තුළ ජාතිවාදි කලබල කිහිපයක් ඇති වූ අතර මේ නිසා සති දෙකක්ම රාත්‍රි දර්ශන පැවැත්වූයේ නැත. එවකට අනුරාධපුරයේ පැවැති නිව් විජේන්ද්‍රා සිනමාහල ගිනි තැබුවේ මේ සමයේය.

කෙසේ හෝ චිත්‍රපටය තිර ගත වූයේ අසිමිත මහජන ප්‍රදර්ශන සහතිකය නොව වඩාත් සුදුසු වැඩිහිටියන්ටය යන සහතිකය සහිතවය. මැතිවරණයෙන් පසු නව ඇමැති මණ්ඩලය දිවුරුම්දීම ඇතුළත වාර්තාමය චිත්‍රපටයක් ද චිංචිං නෝනා සමඟ ප්‍රදර්ශනය විය.

චිංචිං නෝනා අධ්‍යක්ෂණය කරන ලද්දේ ජේ. සෙල්වරත්නම්ය. ජේ යනු ජේකබ්ය. ඉන්දියානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයකු වූ සෙල්වරත්නම් සිනමාවට පිවිසෙනුයේ කොළඹ කිංස්ලි සිනමාහලේ සේවකයකු ලෙසය. පසුව ඉන්දියාවට යන සෙල්වරත්නම් මදුරාසියේ නැතහොත් වර්තමාන චෙන්නායි නගරයේ සුප්‍රකට ඒ.වී.එම් චිත්‍රාගාරයේ දී කැමරාකරණය හැදැරුවේය. කේ.ආර්. බන්ධුල ගේ 'වීර පාණ්ඩෙයි කට්ට් බොම්මන්' චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියකු ලෙස මුල්වරට සිනමාවට පිවිසෙන ඔහු එවකට සුප්‍රකට කැමරා අධ්‍යක්ෂවරයකු වන ඩබ්ලිව්. ආර්. සුබ්බාරාවෝ යටතේ පුහුණු වූයේය . ඒ.වී.එම් මෙන්ම භරණි චිත්‍රාගාරයේ ද කලක් කටයුතු කරමින් ජනප්‍රිය දෙමළ චිත්‍රපට කිහිපයකම සහාය කැමරා ශිල්පියා වූ සෙල්වරත්නම් පසුව හැඳල විජයා චිත්‍රගාරය ආරම්භයේ දී එහි සහාය කැමරා ශිල්පියෙකු ලෙස සේවයට බැඳීණ. ඔහු මුල්වරට කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩියේ එස්. රාමනාදන්ගේ 'අමතක වුණාද' චිත්‍රපටයට දායක වෙමින්ය. එහි තිර රචනය ද ඔහුගේය. 'යටගිය දවස' 'ඇමැතිකම' ඇතුළු චිත්‍රපට කිහිපයකම කැමරා මෙහෙය වූ සෙල්වරත්නම් 'ඔහොම හොඳද' චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂවරයා විය. කෙසේ වෙතත් චිත්‍රපටය ප්‍රචාරය කරන ලද්දේ 'ජේ.සෙල්වරත්නම්ගේ ඔහොම හොඳද' යනුවෙන්ය. ඔහු 'කවුද රජා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සිය සොහොයුරු ජේ.රාසරත්නම් සම අධ්‍යක්ෂණයෙහිලා තබාගෙනය. මෙරට සිනමාවේ සොහොයුරන් දෙදෙනෙක් විසින් සම අධ්‍යක්ෂණය කරන ලද මුල්ම චිත්‍රපටය 'කවුද රජා' විය. එයින් පසු සෙල්වරත්නම් සහනය, හොඳට හොඳයි, අප්සරා හා සබීතා යන චිත්‍රපට සිනමාවට ගෙනාවේය. මේ හැම චිත්‍රපටයකටම සොයුරු රාසරත්නම් සංස්කරණයෙන් සම්මාදම් වූයේය. සබීතා නමින් සෙල්වරත්නම් නිර්මාණය කළ ඔහුගේ අවසාන චිත්‍රපටය දොරට වැඩියේ එමඟින් හදුන්වාදුන් පසුකලෙක සම්මානනීය රංගනවේදිනියක වූ සබීතා පෙරේරාගේ නම අනුව සබීතා නමින්මය. පසුකලෙක සෙල්වරත්නම් ඉන්දියාවේදී මිය ගියේය.

චිංචිං නෝනා චිත්‍රපටය ජනප්‍රිය දෙමළ චිත්‍රපට කිහිපයකම අනුසාරයෙන් තනන ලද්දකි. එය සහමුලින්ම ගාමිණි ෆොන්සේකාගේ රංගනයට යටපත් වුණ චිත්‍රපටයක් විය. අද ඉන්දියාවේ විජයට හෝ රජිනිකාන්ත්ට විසිල් ගසන මෙරට ප්‍රේක්ෂකයෝ එකල ලංකාවේ ගාමිණිට ඊටත් වඩා විසිල් ගැසූහ. චිංචිං නෝනා ද එබන්දකි.

ගාමිණි ෆොන්සේකා, හා ‌ෆරීනා ලායි මුල්වරට එකට රඟපෑවේ 'සැණකෙළිය' චිත්‍රපටයේ වුව ද පෙම්වතුන් ලෙස ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපටය මෙයයි. චිත්‍රපටයේ ගී තනු සියල්ලම අනුකරණ ගීත විය. එයින් බහුතරයක්ම ආර්.ඩී. බර්මන්ගේ තනු විය. මේ අතරින් අනුභවි රාජා අනුභවි චිත්‍රපටයේ ආ 'මුතු කුලික වාරිංග දා' දෙමළ ගීතයේ මුල් පද පෙළ එසේ තිබියදී දෙවැනිව සිංහල පද යොදා ගෙන තිබිණ බර්මන් ද එම ගීය මේ ආකාරයටම මුල් දෙමළ චවන සහිතව දෝ පූල් චිත්‍රපටයට ද ඇතුළත කර තිබිණ. මෙය රුක්මණි දේවී සමග එම්.එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක හා මිල්ටන් පෙරේරා එක්ව ගැයූ එකම ගීතයයි.

කෙසේ වෙතත් අලුත් රජයේ මුල්ම අයවැය වාර්තාව එළි දැක්වුණේ චිං චිං නෝනා ප්‍රථම වටයෙන් ඉවත්ව ගිය පසුවය. අයවැයෙන් එතෙක් පැවැති සහල් සලාකය අහෝසි කෙරිණ. ඒ වන විට ගාමිණි සිනමාහල ප්‍රමුඛ සිනමාහල්වල තිර ගතවූයේ 'ටොම් පචයා'ය. කිසිවකු විසින් බොරැල්ල හන්දියේ දැවැන්ත පෝස්ටරයක් අලවා තිබිණ. එහි සඳහන්ව තිබුණේ මෙහෙමය. චිං චිං නෝනා ගියා . ටොම් පචයා ආවා. ඒ කිව්වේ ජේ.ආර්.ජයවර්ධන මහතා ගැනයි.

 

 

චිං චිං නෝනා චිත්‍රපටයේ ඩීවීඩී පිටපත් පසුගිය සතියේ එළිදැක්විණ. ඒ සුරංග ද අල්විස්ගේ ඉදිරිපත් කිරීමක් හැටියට ය.