එන්න චිත්‍රපට බලමු

සැප්තැම්බර් 23, 2021

 

THE CONJURING-3, : THE DEVIL MADE ME DO IT

 

නම අහපු ගමන් මේ කවර ගණයේ චිත්‍රපටයක් ද කියන එක ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 2013 වසරේ තිරයට නැඟුණු කන්ජුවරිංග් චිත්‍රපට මාලාවේ අලුත් කතාව ඔබ තවත් ත්‍රාසයෙන් හා භීතියෙන් මුසපත් කරාවි. එඩ් හා ලොරේන් යුවළ කුඩා දරුවකුට වැහුණු යක්ෂයකු පළවා හරින්නට යනවා. එහිදී ඔවුන්ට කතෝලික පූජකයකුගේ සහායත් ලබා ගන්නවා. මේ මොහොතේ උදව්වට දරුවාගේ සොහොයුරිය හා ඇගේ පෙම්වතා ආනිත් හවුල් වනවා. මේ යක්ෂයා දරුවා වෙතින් පළා යද්දී ආනි දරුවා බේරා ගන්නට යක්ෂයා තමන් වෙතට කැඳවා ගන්නවා. ආනි සිය ඉරණම කෙලෙස විසඳා ගත යුතුව ඇතිද? ඔහුට තම අත්දැකීම කිසියම් කෙනෙකුට පහදා දිය හැක්කේ කෙසේද? මයිකල් චේව්ස් අධ්‍යක්ෂණය කළ මේ භීෂණාත්මක චිත්‍රපටය එහි මුල් චිත්‍රපට මෙන්ම ත්‍රාසයෙන් යුක්තයි.

ධාවන කාලය - මිනිත්තු 112 වසර - 2021

READY PLAYER ONE

තවත් අවුරුදු ගණනාවක දී නම් 2045 වන විට මිනිසා තවත් හුදකලා වනු නො අනමානයි. එකිනෙක පරයා කන්ටේනර් මත ඉදිවුණු යකඩ ගෙවල් ඇතු‌ළේ හුදකලා වන මිනිසුන් තම ව්‍යායාමයන්, ක්‍රීඩාවන් සියල්ල තාක්ෂණයට බාර දී අහසේ ඇවිදිනවා. යාන්ත්‍රික පියා සැරියක් පීසා ඔබ අතට ගෙනත් දෙනවා. ජේම්ස් හැලිඩේ නම් ව්‍යාපාරිකයා විසින් නිර්මාණය කරනු ලබන දෘශ්‍යමය මායා ලෝකයේ තරග වදින්නට ඔහු මිය ගිය පසු ද අවශ්‍ය කටයුතු හෙතෙම ගොඩ නඟා අවසන්. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද මේ අපූරු විද්‍යාත්මක ප්‍රබන්ධ චිත්‍රපටය අප අපගේ අනාගතය ගැන සිතන්නට පොලඹවනසුලු චිත්‍රපටයක්. වර්තමානයේ කොවිඩ් වසංගතය හමුවේ මේ වන විට ස්වභාව ධර්මයා විසින් හුදකලා කරන ලද ලෝකය තවත් දශක දෙකකදී ගෙන යනු ඇත්තේ එබඳු මායාමය තරගකාරි ලෝකයකට නම් නැතහොත් අනුක්‍රමයෙන් ඇබ්බැහි වනුයේ එබඳු අනාගතයකට නම් එය ගැන නැවත හිතන්න වෙනවා. එපමණක් නොව අනාගතයේ විනෝදය සඳහා වර්තමානයේ අප විඳී චමත්කාරජනක චිත්‍රපට මෙන්ම ජනප්‍රිය ගීත ද අසනන්ට සිදුවේවි. ටයි ෂෙරිඩන්, ඔලිවියා කුක්, ටී.ජේ.මිලර්, සයිමන් පෙග් ආදින් රඟන මේ චිත්‍රපටය පාදක කර ගන්නේ අර්නස්ට් ක්ලයින්ගේ නවකතාවක්.

ධාවන කාලය-මිනිත්තු 140 වසර 2018

THE VOYEURS

 

මොන්ට්‍රියල් නගරයේ මහල් නිවාසයක පිපා හා තෝමස් යුවළ අලුතින් දිවි ගෙවන්නට බලාපොරොත්තු වනුයේ විශාල බලාපොරොත්තු ඇතිව. නිවෙසට වී හතර වටේ සිදුවන දේ ගැන බලන්නට කවුරුත් හිත යටින් කැමැතියි. මේ යුවළත් එහෙමයි. එයට යාබද නිවෙසක සිටින තරුණ යුවළගේ ආලිංගනයන් නරඹමින් ඔවුන් අපූරු වින්දනයක් ලබනවා. එහෙත් ඕනෑම දෙයක සීමාවක් තිබෙනවා. අප ගැන බලා ඉන්නටත් තවත් සමහරු පුරුදුව සිටින්නට පුළුවන් එවිට තත්ත්වය භයානකයි. සිඩ්නි ස්වීනි, ජස්ටිස් බී.ස්මිත්, බෙන් හාඩි විසින් චරිත නිරූපණය කරන ලද මේ චිත්‍රපටය ඉරෝටික් ත්‍රිලර් ජෝන්රයට වැටෙන මයිකල් මොහාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.

ධාවන කාලය - මිනිත්තු 116 වසර - 2021

BELL BOTTOM

වසර 1984. අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ඉන්දියාව පාලන කරන සමයයි. ත්‍රස්තවාදීන් පිරිසක් ඉන්දියානු ගුවන් යානයක් පැහැර ගනු ලබන්නේ එහි සිටින මගීන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරමින්. මීළඟ මැතිවරණයේ වාසි ගැන සිතන ඇගේ අමාත්‍යවරුන්ගේ අභිලාෂය ත්‍රස්තවාදින් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දී සියලු මගීන් නිරුපද්‍රිතව බේරා ගැන්මයි. එක් මගියක් හෝ මරණයක් සිදුවුණ හොත් මීළඟ මැතිවරණයේ දී ඔවුන්ට එය පාඩුවක් වනවා. ඉන්දියානු ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ බෙල් බොටම් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නිලධාරියාගේ තීන්දුව එයට වඩා වෙනස්. පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා උල් හක් ත්‍රස්තවාදීන් සමඟ සාක්ච්ඡා කිරීමට මැදිහත් වීමට සූදානම්. එහෙත් ඉන්දිරා ගාන්ධි තීන්දුවක් ගත්තා. ඒ මොනම හේතුවක් නිසාවත් ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා නොකළ යුතු බවට. එමෙන්ම අම්රිත්සාර් නගරයේ සිට ලාහෝර් බලා ගිය යානයට නැවත ඉන්ධන සැපයීමක් සිදු නොකරන ලෙස ඇය සියා උල් හක්ගෙන් ඉල්ලා සිටියා. ඒ රෝ සංවිධානයේ නියෝජිතගේ තීරණය අනුව. අක්ෂේ කුමාර්ගේ නවතම රංගනය ඇතුළත් බෙල් බොටම් චිත්‍රපටයේ ලාරා දත්තා ඉන්දිරා ගාන්ධි චරිතය නිරූපණය කරනවා. වානි කපූර්, හුමා කුරේෂි, ආදිල් හූ මෙහි සෙසු චරිත නිරූපණය කරනවා. රන්ජිත් එම් තිවාරි මෙහි අධ්‍ය්කෂවරයායි.

ධාවන කාලය- මිනිත්තු 124 වසර - 2021

GANDU

මේ නමෙහි අරථය බෙංගාලි බසින් තරමක් ආන්දෝලනාත්මකයි. එය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ පවසන වදනක් නොවේ. මේ චිත්‍රපටයත් විශාල ආන්දෝලානාත්මක චිත්‍රපටයක්. බර්ලින් සිනමා උලෙළේ තරගකාරි අංශයේ ද තරග වැදුණු ගන්දු ඔබට පවුලේ සියල්ල සමග එක්ව නරඹන්නට බැහැ. එහෙත් විශිෂ්ට රූපීය භාෂාවක් උපයෝගී කරගත් මේ ආන්දෝලනාත්මක බෙංගාලි චිත්‍රපටය අනිවාර්යයෙන්ම සම්භාවනීය සිනමා කෘතියක් අපේක්ෂා කරන්නෙකු විසින් නැරඹිය යුතුයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හදුන්වනුයේ ගන්දු නමින්. ආතක් පාතක් නැති නන්නත්තාර යෞවනයකු වන ඔහු රැප් සංගීතයට ප්‍රිය කරන්නෙක්, ඔහු වෙසෙන්නේ තම මව සමඟ. මවගේ පෙම්වතාගේ මුදල් හීන් සීරුවේ සොරකම් කිරීම ඔහුගේ පුරුද්දක්. අනුභ්‍රතා බාසු, අබල් ජෝයිරාජ්, කාමලිකා මුඛර්ජි, ශිලාජිත් මජුම්දර් ආදින් චරිත මවන ගන්දු කිව් හෙවත් කුෂික් මුඛර්ජිගේ අධ්‍යක්ෂණයක්

ධාවන කාලය - මිනිත්තු 88 - වසර - 2010

KATE

 

කේට් සුරූපී යුවතියක්. එහෙත් ඇය කුලී මිනීමරුවෙක්. ආයුධයක් යනු ඇයට සුළු කාරණයක්. එහෙත් ඇයට තවමත් ජීවත්වන්නට තියෙන්නේ හරියටම පැය විසි හතරයි. ඒ ඇගේ සිරුරට දරුණු විසක් යවා ඇති බැවින්. ඉතින් මේ පැය විසි හතර තුළ මෙතෙක් ඇය පිළිබඳ අනාවරණය වන්නට පටන් ගන්නවා. එපමණක් නොව කෙනෙකුට ජීවිතයේ ඉතුරු වන යුතුකමක් ඉටු කරන්නට එය ප්‍රමාණවත්. මේරි එලිසබෙත් වින්ස්ටඩ් කේට් ලෙස කරන චරිත නිරුපණය බොහෝ විචාරකයන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූවක්. ඈ සමඟ මිකූ මාර්ටින්‍යු, වූඩි හැරල්සන් ආදින් චරිත නිරූපණය කරනවා. සෙඩ්‍රික් නිකොල්ස් ට්‍රොයාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.

ධාවන කාලය - මිනිත්තු 106 - වසර - 2021

PRAY

 

මේ වනපෙත සුන්දරයි. මේ නිසාම එය බොහො දෙනාට නිවාඩුවක් ගත කරන්නට යන්නට හිතෙන තැනක්. රෝමන් ඔහුගේ සොහොයුරා ඇල්බර්ට් මෙන්ම තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග මේ වනපෙතේ සැරිසරන්නේ එහි ඇති දොළ පහරේ ඔරු පැද පීනා විනෝද වන්නට, හොඳ නිවාඩුවක් ගත කරන්නටත් එක්ක. එහෙත් එය සිතූ පරිදි සිදුවන්නේ නැහැ. ආපසු යන්නට ඉඩ ලැබෙනුයේ කීයෙන් කීදෙනාටද? මේ ජර්මානු චිත්‍රපටය තෝමස් සයිබාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්. ඩේවිඩ් ක්‍රොස්, හැනෝ කොයිෆර්, මාරියා එල්රිචි ආදින් මෙහි චරිත මවනවා.

ධාවන කාලය - මිනිත්තු 85 වසර - 2021

BRUTUS VS CEASER

 

රෝමයේ පාලක ජුලියස් සීසර් කිසි කලෙකත් බෲටස් තමන්ට ද්‍රෝහි වනු ඇතැයි සිතුවේ නැහැ. ඉතිහාසයේ සිදු වූයේ එහෙමලු. දැන් ප්‍රංශයේ සිටින ඉරාන සිනමා නළුවකු වන කයිරොන් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කර බෲටස් ලෙස ප්‍රධාන චරිතය රඟපාන මේ ප්‍රංශ චිත්‍රපටය නම් කියන්නේ එයට වඩා වෙනස් ඉතිහාස කතාවක්. සිනහවෙමින් නරඹන්නට සුදුසු මේ අපූරු ප්‍රහසනාත්මක චිත්‍රපටය සීසර්ගේ පාලනය මෙන්ම එයට එරෙහිව නැඟෙන ඔහුගේම සෙනෙට්වරුන්ගේ ක්‍රියා කලාපය පමණක් නොව බෲටස් ගැනත් අපට ගෙන එන්නේ සිනහ සාගරයක්. මේ චිත්‍රපටය නරඔන්න. හැබැයි ඉතිහාසයේ ඇත්ත කතාවට ගළපන්න එපා. සිනමාකරුවකු සතු පරිකල්පන නිදහස කියන්නේ ඒකට. එය සීසර්ට අපහාසයක් නොවේ. සීසර්ලාට උපහාසයක්.

ධාවන කාලය - මිනිත්තු 87 - වසර - 2020

ASHANI SANKET

මහා සිනමාවේදී සත්‍යජිත් රායිගේ තවත් සිනමා කෘතියක් මේ සතියේ ඔබේ චිත්‍රපට එකතුවට ගෙන එන්නට අප තීරණය කළේ එම නිර්මාණ සර්වකාලීන බැවින්. 1973 වසරේ සත්‍යජිත් රායි විසින් නිර්මාණය කරන ලද අශනි සංකේත් මේ චිත්‍රපටයයි. රායි මේ චිත්‍රපටය නිර්මාණය කරනුයේ ඔහුගේ පාතේර් පංචාලි ඇතුළු ඔපු ත්‍රිත්වයට පාදක වූ බිභූතිභූෂන් බන්ධෝපාධ්‍යායගේ එනම් නවකතාව පාදක කරගෙනයි. දෙවැනි ලෝක මහා සංග්‍රාම ආසන්නයේ බෙංගාලයේ ගම්මානයක තරුණ බ්‍රාහ්මන වෛද්‍යවරයෙකු වූ ගංගාචරන් හා ඔහුගේ භාර්යාව වූ අංගනා වටා ගෙතුණ මේ චිත්‍රපටයේ කතාව බෙංගාලි සමකාලින ජනජීවිතය හා සිදුවීම් ඉතා සියුම්ව සිනමාවට නංවනවා. ලොව විශිෂ්ටතම චිත්‍රපට දහසෙන් එකක් සේ ගැනෙන අශනි සංකේත් රායිගේ නිර්මාණ අතර ද ඉහළ අගයක් ගත් චිත්‍රපටයක්. සෞමිත්‍ර චැටර්ජි, බොබිතා, සන්ධ්‍යා රෝයි, මෝනු මුඛර්ජි ආදින් මෙහි චරිත මවනවා.

ධාවන කාලය - මිනිත්තු 101 - වසර - 1973

UPPENA

ඇය සංගීතා. සුරූපී යුවතියක්. ඇයගේ දයාව, කරුණාව, සුන්දර සිනහව, අසල්වැසි හැම තැනම ප්‍රසිද්ධයි. ඇයගේ අතින් ලැබෙන තෑගි අසල්වැසි දුප්පත් මිනිසුන්ට නැතුවම බැහැ. ඇය පළාතේ ධනවතෙකු හා බලවතෙකු වන රායනාම්ගේ එකම දියණිය. රායනාම්ගේ භාර්යාව දිගු කලක සිට අසනීපයෙන්. ඔහුගේ වෑයම අසල ධීවර වරායක් ගොඩ නැඟීම. දියණියගේ සිරිත් විරිත් එකක්වත් අත නෑර සිදුවද්දී එක් අයෙකුට දැක ගන්නට ලැබෙන්නේ සංගීතා මේ මහා ප්‍රසාදයෙන් අතුරුදන්ව ඇති බවයි. ඇයට සිදුවූයේ කුමක්ද? තමිල්නාඩු‌ දෙමළ සිනමාවේ මෑතක මහත් කතාබහට ලක්වූ නළු විජය සේතුපති රායනාම් ලෙස රඟපාන මේ තෙළිගු චිත්‍රපටයේ සංගීතා ලෙස චරිත මවනුයේ කීර්ති ෂෙට්ටියි. පන්ජා වෛශ්නාවි, සායි චාන්ද්, මමිලා ශෛලජා ප්‍රියා, ගයාත්‍රි ජයරාම් ආදින් චරිත මවන මේ අපූරු චිත්‍රපටය භුචී බාබු සනාගේ අධ්‍යක්ෂණයක්. සංගීතය සුප්‍රකට තෙළිඟු සංගීත අධ්‍යක්ෂ දේවි ශ්‍රී ප්‍රසාද්ගෙන්.

ධාවන කාලය - මිනිත්තු 147 - වසර - 2021