විචාරක පේ‍්‍රක්ෂක පැසසුම් මැද Godzilla vs Kong

අප්‍රේල් 8, 2021

ගොඩ්සිලා විසින් ගයිඩෝරා රජු පරාජය කර වසර පහක් ගතවී ඇත. ‘ස්කල්’ දූපතේ සුවිසල් අර්ධ ගෝලාකාර බුබුලක සිරකරන ලද කොංග් නිරතුරුවම නිරීක්ෂණයේ පසුවෙයි. කොංග් සමඟ සන්නිවේදනය කළ හැක්කේ කොංග් සමඟ විශේෂ බැඳීමක් ඇති අයිවිදේශයේ අවසන් ස්වදේශිකයා වන විද්‍යාඥ ඉලේන් ඇන්ඩෘ විසින් දරුකමට හදාගත් කුඩා බිහිරි දියණිය ජියාහට පමණි. ජියා සහ කොංග්ගේ ආරක්ෂකයන් පෘථිවිය තුලට අතිශය අනතුරුදායක ගමනක් අරඹන්නේ කොංග්ගේ සැබෑ නිවෙස සොයා ගැනීම වෙනුවෙනි. මේ අතර ලෝකය විනාශ කරමින් සැරිසරන සුවිසල් ගොඩ්සිලා හා කොංග් අතර සටනකදී කොංග් පරාජය වේ. එහෙත් මේ ගැටුම ගැඹුරු පෘථිවි හරයේ තුළ වැළලී ගිය අභිරහසක ආරම්භය පමණි.

ඇඩම් වින්ගාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ට්ධඤලඪතතච මඵ ම්ධදඨ (ගොඩ්සිලා ට එරෙහිව කොංග්) චිත්‍රපටය මෙලෙස දිග හැරේ. පසුගිය මාර්තු 24 සහ 31 යන දිනයන්හිදී ලොව පුරා මුදා හැරුණු මෙම චිත්‍රපටය ගොඩ්සිලා : කිං ඔෆ් ද මොන්ස්ටර්ස් (2019) සහ කොං: ස්කල් අයිලන්ඩ් (2017) යන චිත්‍රපට ද්විත්වයේම අනුප්‍රාප්තිකය වන අතර 'ලෙජෙන්ඩ්රි මොන්ස්ටර්වර්ස්' චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටයයි. තවද, එය ගොඩ්සිලා ෆ්‍රැන්චයිසයේ 36 වැනි චිත්‍රපටය වන අතර කිං කොං ෆ්‍රැන්චයිසයේ 12 වැනි චිත්‍රපටය වේ. මෙය හොලිවුඩ් චිත්‍රාගාරයක් විසින් සම්පුර්ණයෙන්ම නිෂ්පාදනය කරන සිව්වැනි ගොඩ්සිලා චිත්‍රපටය බවත් වාර්තා වේ.

තෝමස් ටල්, ජොන් ජශ්නි ඇතුළු සය දෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ස්කාර්ස්ගාඩ්, මිලී බොබී බ්‍රවුන්, රෙබෙකා හෝල්, බ්‍රයන් ටයිරී හෙන්රි, ෂුන් ඔගුරි, ඊසා ගොන්සාලෙස්, ජූලියන් ඩෙනිසන්, ලාන්ස් රෙඩ්ඩික්, කයිල් චැන්ඩ්ලර්, ඩෙමියන් බිචීර් සහ කේලී හොට්ල් රංගනයෙන් දායක වෙති. ජීයා නම් බිහිරි දැරියගේ චරිතයට රංගනයෙන් දායක වන අට වසර වියැති කේලී හොට්ල් ගැන වූ විශේෂිත පුවතක් නම් සටහන් කළ යුතුම ය. එනම් ඇය සැබෑ ජීවිතයේද බිහිරි දැරියක පමණක් නොව ඇයගේ මාපියන්ද ඇතුළුව පරම්පරා හතරක් ඈතට බිහිරි වූ පිය පරම්පරාවකින් පැවත එන්නියක බව කියවේ.

ඇමරිකානු ඩොලර් මිලියන 200ක පිරිවැයකින් තනා නිම කර ඇති මෙම චිත්‍රපටය මේ වනවිට ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 285ක ආදායමක් සටහන් කර 2021 වසරේ තෙවන ස්ථානයට වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස සටහන් වේ. වැඩිම ආදායම් ලැබූ පළමු සහ දෙවන චිත්‍රපට ද්විත්වයම චීන ප්‍රහසන චිත්‍රපට වේ. මෙම චිත්‍රපටය බොහෝ විචාරකයන්ගේ පැසසුමට භාජනය වී ඇත. රෝට්න් ටොමැටෝස් අඩවියේ විචාරකයන් 294 දෙනෙකුගෙන් 76% ක් මෙම චිත්‍රපටය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 6.4/10 කි. එම අඩවියේ පොදු විචාරයේ ඒ ගැන මෙසේ සඳහන් කර ඇත. "මෙය නම් නරඹා අවසන් කළ සැණින් එහි ඇති සියලු දේ අමතක කර දැමිය හැකි වන ආකාරයේ චිත්‍රපටයකි. එලෙසම මෙය ඔබ එය නරඹන කාලය අතුර (ඔබේ සැබෑ ලෝකයේ) අනෙක් සියලු දේ අමතක වන ආකාරයේ චිත්‍රපටයකි".