අද්භූත යුගයේ සැඟවුණු කතාව

රිවියාහි ජෙරල්ට් The Witcher
(TV series)
අප්‍රේල් 1, 2021

 

'ද විචර්' 2019 වසරේ සිට මේ දක්වා නෙට්ෆ්ලික්ස්හි ඉහළ ප්‍රේක්ෂක මනාපය දිනාගත් පොලන්ත අමෙරිකානු වෙබ් ටෙලිකතා මාලාවක්. ලෝරෙන් ස්රිච් නම් අමෙරිකානු අධ්‍යක්ෂවරිය විසින් අධ්‍යක්ෂණය කරන මෙම කතාමාලාව ඇන්ඩ්‍රෙසි සප්කොව්ස්කි විසින් රචිත 'ද විචර්' නම් නවකතා පොත් පෙළ පාදක කරගත් නිර්මාණයකි. එය මන්තරකාරයෙකු වටා ගෙතුණු කතා පෙළකින් සමන්විත වූවක් වේ. ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුසියානු, යුක්රේන ඇතුළු ලොව විවිධ භාෂා රැසකට පරිවර්තනය වූ 'ද විචර්' කෘති පෙළ යුරෝපීය රටවල ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත. ලොවපුරා මිලියන 50ට වැඩි පිටපත් අලෙවියක් වාර්තා කළ 'ද විචර්' 1993 වසරේ සිට 2003 දක්වා විසි වසරක් පුරා ප්‍රධාන කෘති 08ක් නිකුත් කෙරිණි. 'ද ලාස්ට් විච්', 'ස්වොර්ඩ් ඔෆ් ඩෙස්ටිනි', 'බ්ලඩ් ඔෆ් එල්ව්ස්', 'ටයිම් ඔෆ් කන්ටෙම්ප්ට්', 'බැප්ටිසම් ඔෆ් ෆයර්', 'ද ටවර් ඔෆ් ද ස්වලෝ', 'ද ලේඩි ඔෆ් ස ලේක්', 'සීසන් ඔෆ් ස්ට්‍රෝම්ස්' එම කෘති අට වේ.

මධ්‍යතන යුගය සේ සැළකෙන කාලවකවානුවක් නිරූපිත මෙම කතාමාලාව කොන්ටිනන්ට් නම් භූමිය පාදක කොට ගෙන නිර්මාණය කර තිබේ. වසර 1000ට වඩා වැඩි අතීතයේදී මෙම භූමියේ ආදිවාසීන් වූයේ එල්ව්ස්වරුන්ය. ඔවුන් එම භූමියට පැමිණීමටත් පෙර නොම්ස් සහ ඩුවෝව්ස් නම් සත්ත්ව කොට්ඨාස දෙක එහි වාසය කළහ. එල්ව්ස්වරුන් භූමිය දිනා ගැනීමත් සමඟ පරාජිත නොම්ස් සහ ඩුවෝව්ස් කණ්ඩායම් කඳුකරයට පළා ගිය අතර එල්ව්ස්වරු තෘණ භූමි සහ කැළෑ ප්‍රදේශ සිය වාසස්ථාන ලෙස තෝරා ගත්හ. මිනිසුන් මෙම භූමියට පැමිණෙන්නේ එයින් වසර ගණනාවකට පසුවයි. 'ද විචර්' කතාමාලාවෙන් ගෙන එන්නේ පසුකාලීනව නිර්මාණය වූ එක්තරා අධිරාජ්‍යයක් සමඟ උතුරුකරයේ රාජධානි කළ සටනකින් පසු වන සිදුවීම් මාලාවකි. කාලයක් ගත වී මෙම භූමියේ මේ වන විට ඉතිරිව සිටින මන්තරකරුවකු වන රිවියාහි ජෙරල්ට්හට යකුන් දමනය කර මරා දැමිය හැකි බලයක් හිමි අතර ඕනෑම අයෙකුට ඔහුගේ සේවය ලබාගත හැකි වේ.

ජෙරල්ට් නම් චරිතය පළමුවරට ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියේ 2001 වසරේ තිරගත කෙරුණු ද 'හෙක්සර්' නම් පෝලන්ත චිත්‍රපටයෙනි. වීඩියෝ ක්‍රීඩා පෙළක් ද මෙම චරිතය ඇසුරින් නිර්මාණය කෙරුණු අතර ග්‍රැෆික් නවකතා පෙළක් මෙන්ම කෙටි කතා රැසක් ද නිර්මාණය වී ඇත. ජෙරල්ට් පුංචි තිරයට පිවිසියේ 2002 වසරේදී පෝලන්තයේ විකාශය කෙරුණු 'හෙක්සර්' නම් ටෙලිකතා මාලාව ඔස්සේය. කැලයේ වන සතුන් සේම දරුණු යකුන් සමඟ සටන් කිරීමට මන්තරකරුවකු ලෙසින් ඔහු සිය පුහුණුව ප්‍රගුණ කරන්නේ තරුණ වියේදීයි. ජෙරල්ට් චරිතයට පණ පොවන්නේ ඩීසි කොමික්ස්හි සුපර් මෑන් චරිතයට පණ පෙවූ හෙන්රි කැවිල් විසින්. 1990 දශකයේ පෝලන්ත ජනප්‍රිය සංස්කෘතියේ "නව ලිබරල් විරෝධී දේශපාලනය" පිළිබඳ සංකේතයක් ලෙස ද ජෙරල්ට් විස්තර කෙරේ. ජෙරල්ට් සමඟින් මෙහි තවත් ප්‍රධාන චරිත කිහිපයක්ම බැඳී සිටී. ඒ අතර සිටින සින්ට්‍රා හි ඔටුන්න හිමි කුමරිය, කැලැන්ටේ රැජිනගේ මිණිබිරිය සහ ඉන්ද්‍රජාලික බලයන් ඇති පෙවෙටාගේ දියණිය වන සිරිලා හෙවත් 'සිරි' විශේෂ වේ. ඇය සතු පරම්පරාගත රුධිරය හේතුවෙන් කාලය හා අවකාශය අතර ගමන් කිරීමේ බලයක් ඇයට හිමි අතර ඇය ජෙරල්ට් සමඟ සම්බන්ධ වන්නේ ඇගේ උපතට පෙර දෛවයෙනි. එම චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය ජාතික නිළි ෆ්‍රෙයා ඇලන් විසිනි. යෙනෙෆර් නම් බලගතු මන්තරකාරියගේ චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය ජාතික නිළි අන්‍යා චාලෝත්‍රා විසිනි. බ්‍රිතාන්‍ය නළු ජෝයි බැටී ජෙරල්ට්ගේ මිතුරා යාස්කියර්ගේ චරිතය නිරූපණය කරයි.

'ද විචර් මේ වන විට නෙට්ෆ්ලික්හි ඉහළ මනාපයක් ලද ටෙලිකතා මාලාවක් බවට පත් වී අවසන්. මේ වනවිට එය මිලියන 76කට වඩා වැඩි පිරිසක් නරඹා ඇති අතර අයිඑම්ඩීබී දර්ශකයේ 8.2/10ක් හිමි වී ඇත. රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරක මනාපය 67%ක් ලෙස සටහන් වන අතර විචාරක අදහස වන්නේ, කතාමාලව සම්බන්ධ ලෝකයේ තොරතුරු සම්බන්ධ අඩුවක් පෙන්නුම් කළ ද හෙන්රිගේ චරිත නිරූපණය එම අඩුව පුරවාලමින් මෙම කතාමාලාවට ආලෝකයක් ගෙන එන බවයි.