ධර්මයුද්ධයේ අලුත් කතාව

මාර්තු 4, 2021

සාමකාමීව වෙසෙන ජෝර්ජ්කුටි පවුලේ සිව් දෙනෙකි. එනම් පියා, මව සහ දියණියන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය අන්ජු, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු සේම නොසන්ඩාල තරුණයෙකු විසින් බලහත්කාරකමකට ලක්වීමට යයි. දෙදෙනා අතර පොරබැදීමේදී තරුණයා මරණයට පත්වේ. දියණිය බේරාගැනීමට අදිටන් කරගන්නා පියා, ජෝර්ජ්කුට්ටි විසින් තරුණයාගේ සිරුර අතුරුදන් කරනු ලබයි. සිරුර සොයාගත නොහැකි නිසාවෙන් ජෝර්ජ්කුට්ටි පවුල බරපතළ ගැටුම් මැද වරදින් නිදහස් වේ. 2013 වසරේ තිරගත වුණු ද්‍රිශ්යම් මලයාලම් චිත්‍රපටය එසේ නිමා වේ.

ද්‍රිශ්යම් චිත්‍රපටය තවත් ඉන්දියානු භාෂා හතරකට ප්‍රතිනිර්මාණය කෙරුණි. කන්නඩ භාෂාවෙන් ද්‍රිශ්යා (2014), තෙළිඟු භාෂාවෙන් දෘශ්‍යම් (2014), දෙමළ බසින් පපනාසම් (2015) සහ හින්දි භාෂාවෙන් ද්‍රිශ්යම් (2015) ලෙසිනි. එය සිංහල භාෂාවෙන් ධර්මයුද්ධය (2017) ලෙසත් ප්‍රතිනිර්මාණය විය. ධර්මයුද්ධය චිත්‍රපටය ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා ඇතුළු පිරිසකගේ රංගනයෙන් හැඩ විය. පපනාසම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූයේ කමලහසන් විසිනි. හින්දි ප්‍රතිනිර්මාණයේ එම චරිතය නිරූපණය කළේ අජේ දේව්ගන් විසිනි. තවද ද්‍රිශ්යම් චිත්‍රපටය චීන භාෂාවෙන් ෂීප් විත්අවුට් අ ෂෙපර්ඩ් (2019) ලෙසත් ප්‍රතිනිර්මාණය කෙරුණි. ඒ සමඟ එය චීන භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කළ පළමු ඉන්දියානු චිත්‍රපටය බවට ද පත්විය.

ජීතු ජෝශප් විසින්ම අධ්‍යක්ෂණය කර පෙබරවාරි 19 දින සිට ප්‍රයිම් වීඩියෝ ඔස්සේ නැරඹිය හැකි ද්‍රිශ්යම් 2, ඉහත කතාවේම දිගුවකි. ද්‍රිශ්යම් චිත්‍රපටය හැඩ කළ මොහාන්ලාල්, මීනා, අන්සිබා හසන් සහ එස්තර් අනිල් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය ඇන්තනි පෙරුම්බවූර් විසිනි. චිත්‍රපටයේ කතාව ඇරඹෙන්නේ පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර හයකට පසුව 2019 දී ය. ජෝර්ජ්කුටි, රාණි, අංජු සහ අනු දැන් ධනවත් ජීවිතයක් ගත කරති. සිනමාහලක හිමිකරුවෙකු වන ජෝර්ජ්කුට්ටි, තමාගේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ආශාවෙන් සිටී. සැප පහසු ජීවිත ගත කළ ද, කෙදිනක හෝ පොලිසියට හසුවනු ඇතැයි යන බියෙන් වෙළී සිටින අන්ජු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නීය. පවුලේ නැගීම ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වන ජෝර්ජ්කුට්ටිගේ අසල්වැසියෝ පවුලේ ප්‍රතිරූපයට, විශේෂයෙන් අංජුගේ චරිතයට හානි කරන කටකතා පතුරුවා හරිති. ජෝර්ජ්කුට්ටි හසුකර ගැනීමට නොහැකිව කල් ගෙවන පොලිසියද පවුල ගැන නිරන්තර අවධානයෙන් සිටී. වරදට හසුකරගන්නා තාක් කල් සිය පවුලට ගැලවීමක් නොමැති බව ජෝර්ජ්කුට්ටි තේරුම් ගනී.