දස හැවිරිදි දැරියකගේ ජීවන චාරිකාව

මාර්තු 4, 2021

 

News of the  World

 

ඒ 1870 වසරයි. සිවිල් යුද්ධය අවසන් වී වසර පහක් ගෙවී අවසන්ය. කපිතාන් ජෙෆර්සන් කයිල් කිඩ් කොන්ෆෙඩරේෂන් හමුදාවේ හිටපු සාමාජිකයෙකි. වර්තමානයේ ඔහු නගරයෙන් නගරයට ගොස් පුවත්පත් කියවා ගැනීමට නොහැකි ඇයට ඒවා කියවා දීමෙන් සිය ජීවිකාව සරි කරවා ගනී. දිනක් සිය වෘත්තිය නිම කර වෙනත් නගරයකට යන අතරතුර කිඩ්හට පාරේ පෙරළී ගිය කරත්තයක් හමු වේ.

එය සෝදිසි කරන ඔහුගේ ඇස ගැටෙනුයේ කළු සොල්දාදුවෙකුගේ සිරුරක් සහ රතු ඉන්දියානු ඇඳුම් වලින් සැරසී සිටින සුදු ජාතික දැරියක ය. යුනියන් යුධ හමුදා නිලධාරීන්ට මේ දැරිය යොමු කිරීමෙන් පසු කිඩ් වෙත ලැබෙන අණ වනුයේ ඇය සිය පවුල වෙත නැවත රැගෙන යාමටයි. අකමැත්තෙන් වුවද ටෙක්සාස්හි කටුක හා දුෂ්කර තැනිතලා හරහා ඇය රැගෙන යාමට එකඟ වන කිඩ් ට සහ මේ දස හැවිරිදි දැරිය ට සිය දිගු ගමන යාමට සිදු වන්නේ නොසිතූ විරූ අන්තරාය, බාධක රැසක් හරහා ය.

පෝල් ග්‍රීන්ග්‍රාස් විසින් සම-රචනා කර අධ්‍යක්ෂණය කරන ලද පසුගිය දෙසැම්බරයේ තිරගත වීම ඇරඹි ඇමරිකානු චිත්‍රපටයක් වන ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්’ චිත්‍රපටය දිග හැරෙන්නේ මෙලෙසිනි. පෝල්ට් ජිල්ස් විසින් 2016 දී රචිත ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්’නවකතාව පදනම් කරගෙන නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රවීණ රංගන ශිල්පී ටොම් හැන්ක්ස් විසින් කපිතාන් ජෙෆර්සන් කිඩ්ගේ චරිතය ට පණ පොවන අතර ජර්මානු ළමා නිළියක වන 12 හැවිරිදි හෙලේනා සෙනගල් විසින් ජොහානා ලිඔන්බර්ගර් නම් කුඩා දැරියගේ චරිතයට පණ පොවයි. ගැරී ගට්ස්මන් ඇතුළු තිදෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ප්‍රවීණ සංගීතවේදී ජේම්ස් නිව්ටන් හොවර්ඩ් විසිනි. චිත්‍රපටයේ බෙදාහැරීම සිදු කරන්නේ යුනිවර්සල් පික්චර්ස් සහ නෙට්ෆ්ලික්ස් විසිනි.

මෙම චිත්‍රපටයේ හැන්ක්ස් සහ සෙන්ගල්ගේ රංගනය සේම කැමරාකරණයත්, අධ්‍යක්ෂණයත්, සංගීතයත් විචාරකයින්ගේ ඉහළ පැසසුමට පාත්‍ර වී ඇත. චිත්‍රපට පිළිබඳ ඇමෙරිකානු ජාතික සමාලෝචන මණ්ඩලය විසින් මෙය 2020 දී තිරගත වුණු හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කර ඇත. රොට්න් ටෝමාටෝස් හි විචාරකයින් 241 දෙනෙකුගෙන් 88%ක් අනුමත කර ඇති මෙම චිත්‍රපටය එහි දර්ශකයේ ලකුණු 7.4/10 ක් සටහන් කරයි. එහි පොදු විචාරයට අනුව ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්’ චිත්‍රපටය “සුපුරුදු බටහිර (western) චිත්‍රපට මාදිලිය ඔස්සේ හෙමින් ගමනක් යන්නේ ටොම් හැන්ක්ස් විදහා දක්වන පීතෘ චරිතය ඔප්නංවමිනි.”