එරෙහිව The Mauritanian

පෙබරවාරි 25, 2021

ඇමෙරිකානු අවනීතියට එරෙහිව ර්චභපඪබචදඪචද මොහමෙඩෝ ඕල්ඩ් සලාහි නම් මොරිටෙතියානු තරුණයා 2002 වසරේදී ඇමෙරිකානු බලධරයින් විසින් අත්අඩංගුවට ගනු ලැබෙනුයේ 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එරෙහිව එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයේ සැකකරුවෙකු වශයෙනි. බලධරයින් විසින් ‘ග්වාතනාමෝ බේ’ රැඳවුම් මධ්‍යස්ථානයේ මොහු රඳවා තබා ගන්නා අතර ඔහුට විරුද්ධව පැහැදිලි චෝදනාවක් හෝ නඩු විභාගයක් නොපැවැත් වේ. රැඳවුම් මධ්‍යස්ථානයේ සිටියදීම සලාහි, නැන්සි හොලන්ඩර් නම් නීතීඥවරියක සහ ඇගේ සහායක ටෙරී ඩන්කන් සමඟ මිත්‍ර සබඳතාවක් ගොඩනඟා ගැනීමට සමත් වේ. සලාහි මුහුණ දී ඇති අසාධාරණයට එරෙහිව සටන් වදින මොවුනට නොයෙකුත් බාධා රැසකට මුහුණ දීමට සිදුවන නමුත් ස්ථිර අධිෂ්ඨානයෙන් පසුවන ඔවුහු සිය සටන ඉදිරියටම කරගෙන යති.

සලාහි විසින් සිය ජීවිත කතාව පාදක කරගෙන ලියූ ‘ග්වාතනාමෝ ඩයරි’ නම් ලොව පුරා විශිෂ්ට අලෙවියක් සනිටුහන් කළ මතක සටහන පාදක කරගෙන නිර්මාණය වුණු ‘ද මොරිටෙතියන්’ පෙබරවාරි 12 සිට තිරගත වීම ඇරඹි චිත්‍රපටයකි. 2002 වසරේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් සලාහි නඩු විභාගයකින් තොරව වසර 16 ක් තිස්සේ රඳවා තබාගත් බවත්, විවිධාකාර වූ වධ හිංසාවලටද ලක්ව ඇති බව බවත් වාර්තා වේ. සලාහි රැඳවුම් කඳවුරේ සිටියදීම 2015 වසරේ මුද්‍රණය කෙරුණු මෙම කෘතියේ පළමු පිටපතද ඇමෙරිකානු බලධරයින්ගේ දැඩි වාරණයන්ට ලක්වුණු බවද පැවසේ.

ස්කොට්ලන්ත ජාතික අධ්‍යක්ෂවරයකු වන කෙවින් මැක්ඩොනල්ඩ් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘ද මොරිටෙතියන්’ චිත්‍රපටයේ ජෝඩී ෆොස්ටර්, ටහාර් රහීම්, ශයිලෙන් වූඩි , බෙනඩික්ට් කම්බර්බැච් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය වෙනුවෙන් ටහාර් රහීම් සහ හොඳම සහාය නිළියට හිමි සම්මානය වෙනුවෙන් ජෝඩි ෆොස්ටර් නාමයෝජනා ලබා සිටිති. මෙම චිත්‍රපටය විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබූවකි. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ එයට ලකුණු 62%ක් හිමි වී ඇති අතර එහි පොදු විචාරය පවසන්නේ, ටහා රහීම්ගේ රංගනයෙන් මෙම චිත්‍රපටය ඉහළට ඔසවා තබා ඇති අතර මෙය කෙනෙකුට බොහොම වෙහෙසකර චිත්‍රපටයක් සේම එය තවත් කෙනෙකුට ධෛර්ය ගෙන දෙන්නක්ද වන බවයි.