කාල උගුලේ සිර වූ නොවැම්බර් 9 PALM SPRINGS

පෙබරවාරි 18, 2021

නොවැම්බර් 9 වැනිදා උදෑසන නයිල්ස් නම් තරුණයා හෝටලයක ඇඳකදී අවදි වෙයි. නයිල්ස් එදින පැවැත්වීමට නියමිත ටාලා සහ ඒබ්ගේ විවාහ උත්සවයට පැමිණි අමුත්තෙකි. එදින සවස විවාහ උත්සවයේදී නයිල්ස් විස්මයජනක කතාවක් පවත්වයි. බීමතින්,වේදනාවෙන් සිටින ටාලාගේ සොයුරිය වන සාරාට මෙම කතාව පුදුමාකාර සහනයක් ගෙන දෙයි. නයිල්ස්ගේ කතාව තමා වෙනුවෙන්ම පැවැත්වූ එකක්ය යන හැඟීමක් සාරා තුළ ජනිත වේ. සාරා සහ නයිල්ස් පෙමින් බැඳේ. අසල පිහිටි මුහුදු වෙරළේ පෙම්සුව විඳීමින් සිටින යුවල නන්නාඳුනන දුනුවායෙකුගේ ප්‍රහාරයට ලක් වේ. සාරා ද අමතක කොට බේරී පලායන නයිල්ස් මරණීය ප්‍රහාර මැද ආලෝකමත් ගුහාවකට ඇතුළු වේ. ඔහු පසුපස ලුහුබඳීන සාරාද නයිල්ස්ගේ අවවාද ද නොතකා නයිල්ස් පසුපස එම ගුහාවටම ඇතුළු වේ. ගුහාව තුළින් එන සුළි සුළඟකට ගොදුරු වන සාරා ගුහාව විසින් ගිලගනු ලැබේ.

නොවැම්බර් 9 වැනිදා උදෑසන සාරා හෝටලයක ඇඳක දී (නැවතත් !) අවදි වේ. ඒ සාරාගේ සොයුරිය ටාලාගේ විවාහ දිනයයි (නැවතත් !). තමා අවදි වූයේ පසුගියදා අවදි වුණු 'එදිනටම' බව සාරාට පසක් වෙයි. නයිල්ස් සොයා ගොස් ඔහු හමුවන සාරාට නයිල්ස් සියල්ල පැහැදිලි කරයි. නයිල්ස් හුඟ කලක සිට 'එකම දිනයක' සිරවී සිටින බවත්, ඊයේ සිට සාරාට එසේ වන්නේ ඇය තම අවවාද ද නොතකා ගුහාවට ඇතුළු වුණු නිසා බවත් නයිල්ස් පැහැදිලි කරයි. කලබල වන සාරා මෙම 'කාල උගුලෙන්' ගැලවීමට නොයෙකුත් අසාර්ථක ප්‍රයත්න යොදයි. වරෙක සිය ගමට ආපසු යන ඇය වරෙක සියදිවි නසා ගනියි. කුමන දේ උත්සාහ කළ ද ප්‍රතිඵලයක් නොවන අතර නින්දෙන් හෝ මරණයෙන් පසු සාරා නැවතත් අවදි වන්නේ නොවැම්බර් 9 වැනිදා සිය සොයුරියගේ විවාහ දිනයේදීයි. කාල උගුලේ සිරවී දිගු කලක් එකට ගත කරන නයිල්ට සහ සාරාට තේරුම් යන්නේ තමා කෙලෙස හැසිරුණද කිසිවක් වෙනස් නොවන බැවින්, වගකීම් සහගතව ජීවත් වීම ඔවුන් දෙදෙනාගේ වගකීමක් නොවන බවයි. තමා කැමති ඕනෑම විකාරයක් හෝ නොපනත්කමක් කිරීමට තමන්ට සම්පූර්ණ හැකියාව ඇති බව තේරුම් ගන්නා යුවල සිතු සිතූ දේ කරමින් විනෝද වෙති. කෙසේ වෙතත් කාල උගුලෙන් ගැලවිය හැකි විසඳුම සෙවීම සාරා සිය අභිප්‍රාය කර ගනී.

මැක්ස් බාබකෝව්ගේ අධ්‍යක්ෂණයෙන්, ක්‍රිස් පාකර් සහ තවත් පස් දෙනෙකුගේ නිෂ්පාදනයෙන් 2020 ජූලි 20 වැනිදා සිට තිරගත වීම ඇරඹි 'පාම් ස්ප්‍රින්ග්ස්' චිත්‍රපටයේ කතාව මෙලෙස දිගහැරේ. ආදර ප්‍රහසනයක් වන මෙම චිත්‍රපටයේ ඇන්ඩි සැම්බර්ග් නයිල්ස් ලෙසත්, ක්‍රිස්ටීන් මිලිඔට් සාරා ලෙසත් රංගනයේ යෙදෙති. ලයිම්ලයිට් ප්‍රඩක්ෂන්ස් ඇතුළු නිෂ්පාදන ආයතන හතරක නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය, 'නියෝන්' සහ 'හුලු' විසින් බෙදා හැරේ.

කොවිඩ් වසන්ගතයද හේතු කොටගෙන එතරම් වාණිජ සාර්ථකත්වයක් නොලැබූවද පාම් ස්ප්‍රින්ග්ස් විචාරකයන්ගේ අතිශය ප්‍රශංසාවට ලක් වූ චිත්‍රපටයකි. රොට්න් ටෝමැටෝස් හි විචාරකයන් 184 දෙනෙකුගෙන් 94% ක් දෙනා ප්‍රශංසාව පළ කර ඇති මෙම චිත්‍රපටය එම අඩවි දර්ශකයේ 8.1/10 ක ලකුණු ප්‍රමාණයක් සටහන් කරයි. එහි පොදු විචාරය පවසන ආකාරයට මෙම චිත්‍රපටය දක්ෂ රංගනයත්, හොඳ අධ්‍යක්ෂණයත්, නවමු සංකල්පයක් එකට කැටි කරගත් චිත්‍රපටයක් බැවින් ප්‍රේක්ෂකයා පෙමින් බැඳගනී.