මෙන්න අලුත් චිත්‍රපට

පෙබරවාරි 11, 2021

Middle Class Melodies

 

හාස්‍යමය තෙළිඟු චිත්‍රපටයක් වන මිඩ්ල් ක්ලාස් මෙලඩීස් ඇමසන් ප්‍රයිම් ඔස්සේ පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූවකි. විනෝද් අනන්තෝජු විසින් අධ්‍යක්ෂණය කර ඇති එහි ආනන්ද් දේවරකොන්දා සහ වර්ෂා බොල්ලම්මා ප්‍රධාන චරිත නිරූපණය කරති. ගමක මධ්‍යම පාන්තික තරුණයකු හෝටලයක හිමිකරුවකු වීමේ අභිලාෂයෙන් නගරයට පැමිණෙන කතා පුවතක් මෙහි ඇතුළත් වී ඇත. මධ්‍යම පංතික පවුල්, ඔවුන්ගේ සිහින, විශ්වාස, අරගල සහ බලාපොරොත්තු මේ ඔස්සේ දිගහැරේ.

 

 

 

 

 

The Girl On The Train

 

ද ගර්ල් ඔන් ද ට්‍රේන් හින්දි චිත්‍රපටය රිබු දාස්ගුප්තාගේ අධ්‍යක්ෂණයකි. පරිනීති චොප්රා, ආදිති රාඕ හයිදාරි, කීර්ති කුල්හාරි සහ අවිනාශ් තිවරි රංගනයෙන් දායක වූ එය පවුලා හෝකින්ස් විසින් එම නමින් රචිත කෘතිය ඇසුරෙන් නිර්මාණය වූවකි. 2016 වසරේදී ටේට් ටයිලර් විසින්ද එම නමින්ම ඉංග්‍රීසි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. දුම්රියේ  දිනපතා ගමන් කරන මෑතකදී දික්කසාද වූ තැනැත්තියක් වටා මෙහි කතාව ගෙතී ඇත. ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක් වන ද ගර්ල් ඔන් ද ට්‍රේන් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය.
 
 
 

 

 
 
 
 
 
 
Lockup

 

ත්‍රාසජනක, අපරාධමය දෙමළ චිත්‍රපටයක් වන ලොකප්  එස් ජී චාල්ස්ගේ අධ්‍යක්ෂණයකි. වයිබව් රෙඩ්ඩි, වෙන්කට් ප්‍රභා, වානි භෝජන් සහ ෂම්නා කාසිම් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන එය සී5 ඔස්සේ නැරඹිය හැකිය. තරුණයකු සිය රැකියාවේ උසස්වීමක් ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සහාය ලබා ගැනීමත් ඒ සමඟ ඔහු නීති විරෝධී කටයුතුවලට හසුවීමත් සමඟ මෙහි කතාව දිගහැරේ. ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනපේක්ෂිත ලෙස මිය යාම සමඟ කතාව සම්පූර්ණයෙන් වෙනත් අතකට හැරේ.

 

 

The Rental

 

ඩේව් ෆ්‍රැන්කෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද ද රෙන්ටල් ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපටය පසුගිය වසරේ ජූලි මස නිකුත් වූවකි. ඩෙන් ස්ටීවන්ස්, ඇලිසන් බ්‍රී, ෂීලා වැන්ඩ් සහ ජෙරමි ඇලන් වයිට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන එය ඇමේසන් ප්‍රයිම් ඔස්සේ නැරඹිය හැකිය. මෙහි කතා පුවතට අනුව නිවාඩුවක් ගත කිරීම වෙනුවෙන් තරුණ යුවල දෙකක් වෙරළාශ්‍රිත කුලි නිවෙසකට පැමිණෙන අතර සති අන්තයේ සැමරුම් උත්සවයක් තිබිය යුතු වුවත් සිදු වන්නේ ඊටත් වඩා නපුරු දෙයකි.