THE LITTLE THINGS ආවරණය සහ නිරාවරණය

පෙබරවාරි 11, 2021

1990 වසරේ එක් අඳුරු රාත්‍රියක, කාන්තාවක් අධිවේගී මාර්ගයක සිය මෝටර් රථය පදවාගෙන යන අතර යතුරුපැදිකරුවෙකු ඇය පසුපස හඹා එයි. ට්‍රක් රථ රියදුරාගේ අවධානයට ලක්වන කාන්තාව යතුරුපැදිකරුවාගේ උකුසු ඇසින් දුරස් වේ. ටික කලකට පසු බේකර්ස්ෆීල්ඩ් හි කර්න් ප්‍රාන්තයේ නියෝජ්‍ය ෂෙරිෆ් ජෝ "ඩීක්" ඩීකන් ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවට කැඳවනු ලබන්නේ මෑතකදී සිදු වූ මිනීමැරුමකට අදාළ සාක්ෂි රැස් කිරීමටයි. එහිදී මෑතකදී ලොස් ඇන්ජලීස් හි සිදුවූ අනුක්‍රමික මිනීමැරුම් (serialmurders) මාලාවකත් ඩීක් ගේ නගරයේ සිදු වුණු අනුක්‍රමික මිනීමැරුම් මාලාවකත් සමාන ලක්ෂණ දැකිය හැකි වේ. පරීක්ෂණ පවත්වන බැක්ස්ටර් නම් රහස් පරීක්ෂකවරයා, ඩීක් හා එක්ව වරදකරු සොයා ගනී. නමුත් මේ සොයාගැනීම හා ඩීක්ගේ අඳුරු අතීතයේ දෝංකාරය නැවත ඇවිස්සීමක් බව බැක්ස්ටර් නොදනී.

ජෝන් ලී හැන්කොක් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද, හැන්කොක් සහ මාක් ජොන්සන් විසින් නිෂ්පාදනය කරන ලද, 2021 ජනවාරි මස තිරගත වීම ඇරඹි 'ද ලිට්ල් තින්ග්ස්' චිත්‍රපටයේ කතාව මෙසේ දිගහැරේ. ඩෙන්සල් වොෂිංටන් සහ රමි මලෙක් යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත පණ ගන්වන මෙම චිත්‍රපටය 'නියෝ-නොයර්' ගණයේ අපරාධ චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටය විචාරකයන්ගෙන් මිශ්‍ර විචාරයන් ලබා ගෙන ඇත. චිත්‍රපටයේ රංගනය, අධ්‍යක්ෂණය සහ පසුබිම් රූපරාමු අගය කරන විචාරකයන් එහි තිර රචනය බලවත් ලෙස විවේචනය කර ඇත්තේ පෙර චිත්‍රපටයකට බෙහෙවින් සමාන යැයි කියමිනි. සමහර විචාරකයන් මෙය 1995 දී තිරගත වූ 'සෙවන්' චිත්‍රපටය සමඟ සංසන්දනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු 'සෙවන්' චිත්‍රපටයද 'නියෝ-නොයර්' ගණයේ අපරාධ චිත්‍රපටයක් වන අතර මෙහි මෙන්ම තරුණ සහ වයසින් මුහුකුරා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අනුක්‍රමික මිනීමරුවකු සොයා යන කතාවක් ගෙන එයි. රොට්න් ටොමැටෝස් හි විචාරකයින් 188 දෙනෙකුගෙන් 47% ක් චිත්‍රපටයට ධනාත්මක සමාලෝචනයක් ලබා දී ඇති අතර සාමාන්‍ය අගය 5.5 / 10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ මෙසේ කියවේ. "අනර්ඝ චරිත නිරූපණයන්ගෙන් සමන්විත මෙම චිත්‍රපටය නියෝ-නොයර් රසිකයන්ට නම් ඉතාම හුරුපුරුදු කතාවක් බව හැඟෙගෙනු ඇත".

චිත්‍රපටයේ නිර්මාණ කර්තව්‍ය ගැන සටහන් වන විශේෂ කරුණක් ඇත. හැන්කොක් විසින් 1993 වසරේදී මෙම චිත්‍රපටය රචනා කොට එය අධ්‍යක්ෂණය කිරීම සඳහා ප්‍රවීණ අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග්හට අරාධනා කොට ඇත. චිත්‍රපටය 'ඉතා අඳුරු' එකක් බව පවසමින් ස්පිල්බර්ග් එය ප්‍රතික්ෂේප කර ඇත. පසුව ක්ලින්ට් ඊස්ට්වුඩ්, වොරන් බීට් සහ ඩැනී ඩිවිටෝ යන ප්‍රවීණ නිර්මාණකරුවන් වෙතද චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා ඉදිරිපත් කෙරී ඇති අතර පසුව තමා විසින්ම අධ්‍යක්ෂණය කිරීමට හැන්කොක් තීරණය කර ඇත. චිත්‍රපටයේ කාල පසුබිම 1990 වසර වීමටත් හුරුපුරුදු කතාවක් වීමටත් මේ කාරණයද හේතු පාදක වූවා විය හැකිය.