විජේ සහ සේතුපති එක් කළ MASTER

ජනවාරි 28, 2021

තරුණ භවානි සිය පවුලේ සාමාජිකයන් සතුරෙකු විසින් ඝාතනය කර පුලුස්සා දමන අයුරු සියැසින් දකී. අනතුරුව භවානිහට සෙවණ වන්නේ පුනරුත්තාපන මධ්‍යස්ථානයයි. නමුත් එහි ප්‍රධානියාගේ හිංසනයද ඉවසාගත නොහැකි තැන ඔහු එතැනින් පලා යයි. අනතුරුව ඔහුගේ එකම අරමුණ වන්නේ තම පියා ඇතුළුව පවුලේ සාමාජිකයන් ඝානතය කළ පුද්ගලයාගෙන් පළි ගැනීමයි. නමුත් එය හිතන තරම් පහසු නොවන්නේ භවානි ද ඔහුගේ ප්‍රාණ ඇපකරුවකු වීම සමඟිනි. ඒ අනුව ඔහු ඝාතනය නොකිරීමට නම් සතිපතා මුදල් ගෙවිය යුතු වේ. භවානි අපරාධකරුවකු බවට පත්වන්නේ ද ඒ සමඟිනි. සොරකම් සහ විවිධ අපරාධ සිදුකර මුදල් සෙවීමෙන් තම දිවි බේරා ගැනීම වෙනුවෙන් වියදම් කරයි. පසුව ඔහු ඒ සඳහා යොදවන්නේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින දරුවන්ය. ඔහු අපරාධ කරන්නේ එහි වෙසෙන දරුවන් නමිනි. භවානි විසින් සිදු කරන අපරාධ එම දරුවන් විසින් භාරගත යුතු වේ. කෙසේ නමුත් සතුරාගෙන් පළි ගැනීම භවානිගේ එකම අරමුණ වේ.

ජෝන් දුරෙයිරාජ් හෙවත් ජේඩී චෙන්නායිහි වෙසෙන කථිකාචාර්යවරයෙකි. නමුත් ඔහු දැඩි ලෙස මත්පැනට ඇබ්බැහිවූවෙකි. විශ්වවිද්‍යාලයේදී විද්‍යාර්ථින් වෙනුවෙන් පෙනීම නිසාද පාලනාධිකාරිය සමඟ ගැටුම් ඇතිවන අවස්ථාද නැතුවා නොවේ. ඒ හේතුවෙන් අනෙකුත් කථිකාචාර්යවරුන් ජේඩී සමඟ හොඳ හිතද පලුදු වෙමින් පවතී. ඔහුහට පෙර කී පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරුවීමක් ලැබෙන්නේ මේ අතරදීය. එය සිදු වන්නේද ඔහුගේ අනුදැනුමක් නොමැතිවය. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඔහුගේ සේවයේ මුල් දිනය ගෙවී යන්නේ නොසැලකිල්ලෙනි. නමුත් දෙවැනි දිනයේ ජේඩී කම්පනයට පත් වන්නේ දරුවන් දෙදෙනෙකු ගෙල වැළලා ගෙන මියගොස් සිටිනු දැකීමෙනි. එතැනින් පසු ජේඩීගේ ජීවිතයේ සිදුවන්නේ කුමක්ද?

එය දැකගත හැකි වන්නේ ලෝගේෂ් කණකරාජ් විසින් අධ්‍යක්ෂණය කළ මාස්ටර් චිත්‍රපටය නැරඹීමෙනි. පසුගිය වසරේ අප්‍රේල් 09 වැනිදා නිකුත් කිරීමට සූදානම් වුවද දරුණු ලෙස පැතිර ගිය කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු මාස්ටර් චිත්‍රපටය නිකුත් කෙරුණේ පසුගිය 13 වැනිදාය. වසංගත තත්ත්වය තවමත් පහව නොගියද මේ වන විට වාර්තා වන්නේ එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වන බවයි. ශ්‍රී ලංකාවේද මාස්ටර් තිරගත කෙරුණේ ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ඉල්ලුම සමඟිනි. ඒ සමඟ එය මෙරට සිනමා ශාලාවල එකම දිනයකදි වැඩිම දර්ශන වාර ගණනක් වෙන්කරගත් චිත්‍රපටය බවටද පත් විය. ඒ අතර මධ්‍යම රාත්‍රි දර්ශන ද වීම විශේෂත්වයකි. ඉන්දීය රුපියල් කෝටි 135ක වියදමින් නිමැවුණු මාස්ටර් චිත්‍රපටය සතියක් තුළ ඉන්දීය රුපියල් කෝටි 200 වාර්තා කළේ, හොලිවුඩ් චිත්‍රපටද අබිබවා යමින් විදේශීය බොක්ස් ඔෆිස් වාර්තාවේ 2021 වසරේ මේවන විට වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වෙමිනි. ඒ අනුව මාස්ටර් ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තාවේ පළමු ස්ථානයට පත්වූ පළමු ඉන්දීය චිත්‍රපටය බවට පත්විය.

මාස්ටර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත ගෙන එන්නේ විජේ සහ විජේ සේතුපති විසිනි. විජේ මේ වන විට දකුණු ඉන්දීය සිනමාවේ ඉහළම මිලක් අය කරන ජනප්‍රිය නළුවකු බවට පත්වී සිටී. මෑත කාලීනව විජේ රඟපෑ මර්සල්, සර්කාර්, බිගිල් වැනි චිත්‍රපට ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බවට පත් විය. බිගිල් චිත්‍රපටය තිරගත කිරීම ආරඹා දින තුනක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත්විය. තවද මෙම චිත්‍රපට සමාජ ගැටලු, දේශපාලනය වැනි මාතෘකා තේමා කරගත් චිත්‍රපටවීමද විශේෂත්වයකි. විජේ සේතුපති

වෘත්තියෙන් ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කර කාලීනව රංගනයට පිවිස සාර්ථක වූ දකුණු ඉන්දීය නළුවෙකි. ඔහු ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපට බොහොමයක් වාණිජ සාර්ථකත්වය ලබමින් ඉහළ විචාරක පැසසුම් ලැබීමට සමත් විය.

මාස්ටර් චිත්‍රපටයද විචාරක පැසසුම් ලැබූවකි. විජේගේ රංගනය මෙන්ම විජේ සේතුපතිගේ රංගනයද එහි විශේෂ වේ. විජේ සහ විජේ සේතුපතිගේ රංගනය එකම චිත්‍රපටයක දැක ගැනීමට ලැබීමත් බොහෝ දෙනාගේ ඇගයුමට ලක් වී ඇත. දිල්ලි, චෙන්නායි සහ කර්ණාටක කේන්ද්‍රකරගත් ස්ථාන දර්ශනතල ලෙස යොදා ගත් මාස්ටර් චිත්‍රපටයේ මලාවිකා මෝහනන්, අර්ජුන් දාස්, ඇන්ඩ්‍රියා ජෙරමියා,ශාන්තනු භාග්‍යරාජ්, ගෞරි ක්‍රිෂ්ණන්, නසාර්, රම්‍යා සුබ්‍රමනියම් ඇතුළු පිරිසක්ද රංගනයෙන් දායත වී සිටිති. මෙහි සංගීත අධයක්ෂණය කර තිබෙන්නේ යොවුන් සංගීතඥයකු වන අනිරුද් රවිචන්ද්‍රර් විසිනි. 3 චිත්‍රපටයේ එන ලොවපුරා ඉහල ජනප්‍රියත්වයක් දිනා ගත් "වයි දිස් කොලවරි ඩි" ගීතයේ සංගීතය ඔහුගේ කුලුඳුල් සංගීත නිර්මාණයයි.