ආයෙත් එනවා නම්

අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ . . .
සැප්තැම්බර් 5, 2019

Chhichhore

 

 

අපේ ජීවිතේ සුන්දරම කාලය පාසල් කාලයයි. ඕනෑම කෙනෙකුගෙන් තම ජීවිතයේ සුන්දරම කාලය කුමක් දැයි ඇසුවහොත් උත්තරය, පාසල් කාලය යි. දුක, සතුට, කඳුළ, සිනහව, මිත්‍රත්වය, සහෝදරත්වය මේ සියල්ල කැටි වූ ඒ සුන්දර කාලය කිසිවකුට අමතක නොවන බව නම් නිසැකයි. එසේම දහතුන් වසරක ඒ සුන්දර කාලය අවසානයේ සරසවි සිහිනය සැබෑ කරගන්න උත්සාහ දරන්නේ ද දහසකුත් බලාපොරොත්තු හිතේ පුරෝගෙනයි. යෞවනයේ සුන්දරත්වය සමඟින් ගත කළ සරසවි ජීවිතයද පාසල් කාලයටම නොදෙවෙනි වන්නකි. යළිත් කිසි දිනෙක උදා නොවන ඒ කාලය සිනමා නිර්මාණයකින් හෝ දැක ගන්න ලැබෙනවා නම් . . .

නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ Chhichhore ගෙන එන්නේ එවැනි වූ සුන්දර මතකයකි. කෙටි කාලයක් තුළ මිතුරන් බවට පත්වන සරසවි සිසුන් පිරිසකට වැඩිහිටියන් වූ පසු යම් සිදුවීමක් සමඟින් යළි මුණ ගැසීමට සිදු වීම ඒ ඔස්සේ දිග හැරේ. එදා සහ මෙදා සිදුවීම් පෙළ සමඟින් සුෂාන්ත් සිං රාජ්පුත්, ශ්‍රද්ධා කපූර්, වරූන් ෂර්මා, ප්‍රතීක් බබ්බාර්, තිහාර් රාජ් භාෂීන්, නවීන් පොලිෂෙට්ටි, තුෂාර් පාණ්ඩේ සහ නල්නීෂ් නීල් ඇතුළු පිරිසක් Chhichhore චිත්‍රපටයේ රංගනයෙන් දායක වී ඇත. Dangal  අධ්‍යක්ෂ නිතේෂ්ගේ සිවුවැනි සිනමා අධ්‍යක්ෂණය මෙය වන අතර නිෂ්පාදනය සජිත් නදියද්වාලාගෙනි. ඉන්දීය රුපියල් කෝටි 70ක පිරිවැයකින් නිම කෙරුණු Chhichhore රූගත කෙරුණේ මුම්බායේ පිහිටි ඉන්දීය තාක්ෂණ ආයතනයේදීයි. අධ්‍යක්ෂ නිතේෂ් ද 1996 වසරේදී ඉන්දීය තාක්ෂණ ආයතනයේ උපාධි ලද ඉංජිනේරු සිසුවකු වීම විශේෂත්වකි. මෙහි තහීර් රාජ් විසින් නිරූපිත ඩෙරෙක් නම් චරිතය නිතේෂ්ගේ සැබෑ චරිතය බව ද කියවේ.

Chhichhore චිත්‍රපටය, මීට පෙර තිරගත කෙරුණු Dil Chahta Hai, Student of the Year වැනි චිත්‍රපට ද සිහිපත් කර දෙන බව විචාරක අදහසයි. ඛ්ඩඩඪජඩඩධපඥ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹූ අමීර් ඛාන් එය තිරගත වන තෙක් තමා ඉතා උනන්දුවෙන් පසු වන බව පවසා ඇත. මෙහි ප්‍රධාන නිළි, ශ්‍රද්ධා කපූර්ට මේ වසර ඉතා වැදගත් වුයේ පසුගියදා තිරගත වීම ඇරඹි Saaho සහ හෙට (සැප්තැම්බර් 06) සිට තිරගත වන Chhichhore චිත්‍රපට ද්විත්වය හේතුවෙනි. 2020 වසරේ තිරගත වීමට නියමිත Street Dancer  චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණු ලන්ඩනයේ සිට ඇය Chhichhore දර්ශනතලය වෙත පැමිණි අතර සිය 32 වැනි උපන්දිනය සැමරුවේ ද එහිදීයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.