ගාමිණි-බ්‍රැන්ඩෝ එක්කොට

මයික් විල්සන්-සත්‍යජිත් රායි හදන්න ගිය අවතාර්
අගෝස්තු 29, 2019
ස්පීල්බර්ග් පිටසක්වළයා සමඟ

 

සුප්‍රකට බෙංගාලි සිනමාකරු සත්‍යජිත් රායි විසින් මාලන් බ්‍රැන්ඩෝ සහ ගාමිණී ෆොන්සේකා එක්කොට තැනීමට උත්සාහ කළ අවතාර් නම් චිත්‍රපටය ඇන හිටියේ කිමද යන්න පිළිබඳ පසුගය සතියේ පළ වූ ලිපිය හා සබැඳේ...

 

වසර පහළොවකට පසු, 1982 එක්තරා උදෑසනක රායිට සිය මිත්‍ර විද්‍යා ප්‍රබන්ධක ආතර් සී. ක්ලාක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ශ්‍රී ලාංකික පුරවැසියකු බවට පත් වී සිටියද කීර්තිමත් ස්ටීවන් ස්පීල්බර්ග් ගේ නවතම සිනමා කෘතිය නැරඹීමට ආරාධනා ලැබ ලන්ඩනයට ගිය ක්ලාක්, ඡ්.ඊ. හෙවත් එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් චිත්‍රපටය නැරඹීමෙන් පසු ඇති වූ කැලඹීම නිසා මෙසේ රායි අමතා තිබිණි. ඉන්ඩියා ටුඩේ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මේ දුරකථන ඇමතුම පිළිබඳ හෙළි කරන රායි පවසන්නේ ක්ලාක්ගේ රෙකමදාරුව මත හොලිවුඩයට තම පිටපත යැවූ බවත්, ක්ලාක්ගෙන්ම රායිට අසන්නට ලැබුණේ ස්පීල්බර්ග්ගේ ඡ්.ඊ. තමන්ගේ අවතාර්ට බෙහෙවින්ම සමාන බවත්ය. ඒපමණක් නොව 1977 ස්පීල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ් කෘතිය පවා රායිගේ අවතාර් නොවූවා නම් ස්පීල්බර්ග්ට නිර්මාණය කළ නොහැකි වනු ඇති බවද රායි පවසා තිබිණ. එසේම “ දි ඒලියන් ” බවට පත් වූ අවතාර් පිටපත ඇමරිකාව පුරා ඇති තරම් රෝනියෝ පිටපත් ලෙස බෙදා හැරී තිබුණු බවටද රායි චෝදනා කළේය.

කොලොමබියා විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පාසලේ ශිෂ්‍යයකු වූ අසීම් චබ්රා ස්පීල්බර්ග් කෘතිවලට මෙන්ම රායිගේ සිනමාවට වසඟ වූවෙකි. ඉන්ඩියා ටුඩේ සඟරාවේ කතාව ඔහුගේ කුතුහලය වැඩි කළේය. ඔහු බ්‍රිතාන්‍ය ජාතික මාරි සීටොන් විසින් රචිත පෝර්ට්‍රේට් ඔෆ් අ ඩිරෙක්ටර්: සත්‍යජිත් රායි ග්‍රන්ථය ගෙන රායිගේ පිටසක්වළයාගේ කටුසටහන් චිත්‍ර පරීක්ෂා කළේය. එය ඡ්ඊ හි පිටසක්වලයාට දක්වන සමානකම් සෙව්වේය. ආතර් සී. ක්ලාක් නිවැරැදි බව ඔහුට වැටහුණි. රේ ගේ පිටසක්වළයාට සෙමීට චලනය වන ඇඟිලි තුනකි. ස්පීල්බර්ග්ගේ පිටසක්වළයාට සෙමීට චලනය වන ඇඟිලි හතරකි. දෙදෙනාටම ලෙඩ සුව කිරීමේ ශක්තිය ඇත්තා සේම ගසක මල් පුබුදන්නටද පුළුවන. තවත් සමානකම් බොහෝය. ඔහු ක්ලාක්, රායි සහ ස්පීල්බර්ග් තිදෙනාම ඇමතීමට ගත් උත්සාහයෙන් සාර්ථක වූයේ ක්ලාක් සහ රායි ඇමතුම් පමණි. ක්ලාක් පවසා තිබුණේ තමන් රායිට ඔන්නොහේ පාඩුවේ ඉන්න, ඕනෙම නම් තර්ජන ගර්ජන නැති වැදගත් ලිපියක් ස්පීල්බර්ග්ට ලියන්න, නඩුහබවලට යන්න එන්නම කාලේ අපතේ යයි යැයි කී බවය. දැඩි උත්සාහයකින් පසු රායි දුරකථනයෙන් සම්බන්ධ කර ගත් අසීස්ට අසන්නට ලැබුණේ රායි ඡ්.ඊ. නරඹා නැති බවය. එහෙත් ඇතැමුන් පවසන්නේ වැනිස් සිනමා උලෙළේදී රායි එය නැරඹූ බවයි. නිර්මාණ මංකොල්ලය සම්බන්ධව රායි කල්කටාවේ නීතීඥයකු සමඟ ස්පීල්බර්ග්ට එරෙහිව නඩු මඟට බැසීමට කතාබහ කරගත්තද කොලොම්බියා පික්චර්ස් රායිගේ පිටපත දුසිම් ගණනින් පිටපත් කර බෙදා හැරීම අවාසිදායක කරුණක්ව තිබිණි. එසේම ස්පීල්බර්ග් අවශ්‍ය වෙනස්කම්ද කර තිබීම නිසා බේරී යාමට ඇති ඉඩකඩ වැඩිය. මොනවා හරි කළ යුතුම යැයි සිතුවත් තවත් චිත්‍රපටයක් කරමින් සිටින නිසා රායිට ඒ සඳහා කාලය වැය කිරීමටද අපහසු බව පවසා තිබිණි. ස්පීල්බර්ග් කළේ තමන්ට ඒ කෘතිය කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමක් බව පැවසූ රායි කෙසේ වෙතත් ස්පීල්බර්ග් හොඳ චිත්‍රපට හදලා තිබෙන හොඳ අධ්‍යක්ෂවරයෙක් බවද පිළිගත්තේය. ස්පීල්බර්ග් කිසි දිනෙක කට ඇරියේම නැත. එහෙත් කැලිෆෝනියාවේ ඔහුගේ චිත්‍රාගාරයේ සේවකයකු මාධ්‍යවේදියාට කතා කොට මේ ලිපි නිසා ස්පීල්බර්ග් දැඩි පසුතැවීමකින් පසුවන බව පවසා තිබිණි.

 

ඡ්.ඊ. චිත්‍රපටයේ දසුනක්

 

 

සන්දීප් රායි, සත්‍යජිත් රායිගේ පුතුනුවන් ද තම පියාණන් මේ චිත්‍රපට දෙක නැරඹීමෙන් පසුව දැඩි කම්පාවකින් පසු වූ බව පුවත්පත් සාකච්ඡාවකට හෙළි කළේය. කෙසේ වෙතත් නිර්මාණකරුවකු වන සන්දීප් සිය පියාගේ අවතාර් ඉන්දියාවේ රූපවාහිනී තිරයට ගෙනාවේය.

එහෙත් ස්පීල්බර්ග් රායි සමඟ සාම සාකච්ඡා පවත්වා ඇතැයි සමහරු පවසති. එයට හේතුව මාර්ටින් ස්කෝර්සෙසේ, ස්පීල්බර්ග් ඇතුළු මර්චන්ට් අයිවරි ටීම් ආයතනය 1992 දී සත්‍යජිත් රායි වෙනුවෙන් ඔස්කා යාවජීව ගෞරව සම්මානය පිදිය යුතු බව පැවසූ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම වීමයි.

ඒ කරුණු සියල්ල අපට වැදගත් වන්නේ ගාමිණි, ජෝ, ජීවරාණි ඇතුළු නිර්මාණයට නම් කර තිබූ ශ්‍රී ලාංකික ශිල්පීන් පිරිසට හොලිවුඩ්- ‌බොලිවුඩ් සංකලනයෙන් එන නිර්මාණයකට දායක වීමේ අවස්ථාව ගිලිහී යාම නිසාය. සියලු කරුණු කනගාටු දායක ලෙස පෙළ ගැසුණද මේ කතාව නිම වූයේ කර්තෘ මණ්ඩලයේ කොක් හඬලා සිනාසීමකිනි. ඒයට හේතුව මයික් විල්සන්ය. මයික් මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා ඇමෙරිකාවට ගිය බව අපි දනිමු. ක්ලාක්, රායි, ස්පීල්බර්ග් මෙන්ම පාඨක ඔබ අප සියලු දෙනා මේ වෙනුවෙන් සුසුම්ලද්දී, නිසගයෙන්ම විනෝදකාමියකු වූ මයික් චිත්‍රපටය හැදුණත් නැතත් ඒ පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා ලද ඩොලර්වලින් ලන්ඩන් නගරයේ තරු පහේ හෝටලයක අධිසුඛෝපභෝගී නිවසක් පිටින්ම කුලියට ගෙන කාජ්ජ බෝජ්ජයෙන් ද නේක සම්පත්වලින්ද රිසි සේ වැජඹී ඒ කෙටි කාලය අහෝ සැපයි කියා ගත කළේලු. ඒ සිනහව විස්මයකට හැරුණේ ආපසු පැමිණි මයික් සියලු සැප සම්පත් හැරපියා කතරගමට ගොස් ස්වාමි ශිවකල්කි නමින් භාවනාවේ යෙදී සිට සිය ජීවන ගමන අවසන් කළ බව ඇසීමෙනි.

 

 

 

රායි

 

 

අවතාර් නිර්මාණ සමයේ මයික් විල්සන් ප්‍රංශයේදී

 

 

රායි කටුසටහනට නැඟු පිටසක්වළ ජීවියා

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.