ත්‍රස්ත මර්දන මෙහෙයුමක් පිළිබඳ සත්‍ය කතාවක්

Batla House
අගෝස්තු 15, 2019

බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් මේ වසරේදී රිදී තිරයෙන් දැක ගන්න ලැබුණේ පසුගිය අප්‍රේල් මාසයේ තිරගත කෙරුණු Romeo Akbar Walter චිත්‍රපටයෙන්. මේ දිනවල ඔහු පිළිබඳ කතාබහ යළි ඉස්මතු වූයේ අද (අගෝස්තු 15) සිට තිරගත කෙරෙන Batla House චිත්‍රපටය සමඟින්.

ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපටයක් වන  Batla House, , දිල්ලියේ සිදු කෙරුණු බට්ලා හවුස් මෙහෙයුම ඇසුරෙන් නිර්මාණය වූවක්. බට්ලා හවුස් මෙහෙයුම යනු ඉන්දියාවේ ත්‍රස්ත කල්ලියකට විරුද්ධව ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුමක කොටසකි. 2008 වසරේ සැප්තැම්බර් 19 වැනිදා ඉන්දීය මුජහිදීන් නම් ත්‍රස්ත කල්ලිය මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම මෙහෙයුමේදී ත්‍රස්ත කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියකු මරණයට පත් වූ අතර ත්‍රස්ත සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා අත්අඩංගුවට පත් විය. තවත් ත්‍රස්ත සාමාජිකයකු පළා ගියේය. මෙම මෙහෙයුමට හේතු වූයේ 2008 සැප්තැම්බර් 13 වැනිදා දිල්ලියේ සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවකි. ස්ථාන පහක් ඉලක්කකර ගනිමින් එල්ල කෙරුණු එම බෝම්බ ප්‍රහාර හේතුවෙන් 30 දෙනෙකු මරණයට පත් වී සියයකට අධික පිරිසක් තුවාල වූහ. මේ වෙනුවෙන් බට්ලා හවුස් මෙහෙයුම ක්‍රියාත්මක වූයේ, දිල්ලියේ ජමිලා නගර්හි බට්ලා හවුස් නම් නිවාස සංකීර්ණයේ මෙම ත්‍රස්ත කල්ලියට සම්බන්ධ සාමාජිකයන් පිරිසක් සැඟවී සිටින බවට ලද ඔත්තුවකට අනුවය. නමුත් එම බට්ලා හවුස් මෙහෙයුම අසාර්ථක වූයේ දිල්ලි පොලිසිය වෙත චෝදනා රැසක් එල්ල කරමිනි. එපමණක් නොව ඉන්දියාවම කලඹමින් එය එකල දේශපාලනමය හා සමාජමය දැඩි අර්බුදයක් බවට ද පත් විය.

මෙම සිදුවීම රූ ගැන්වී රිදි තිරයට පැමිණෙන්නේ එදා ආන්දෝලනාත්මක බට්ලා හවුස් මෙහෙයුම යළිත් කතාබහට ලක් කරමිනි. Kal Ho Naa Ho, Salaam- e-Ishq: A Tribute to Love, Chandni Chowk to China වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නිඛිල් අද්වානි විසින් අධ්‍යක්ෂණය කළ  Batla House,  චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් සහ මෘනාල් ථාකූර් සමඟ රවි ක්‍රිෂන්, රාජේෂ් ශර්මා, සෝනම් අරෝරා, ක්‍රන්ති ප්‍රකාශ්, ආලෝක් පාණ්ඩේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. රිතේෂ් ෂා විසින් තිරරචනය කළ  Batla House,  චිත්‍රපටය, ඉන්දියාවේ 72 වැනි නිදහස් දිනය යෙදී තිබෙන අගෝස්තු 15 වැනිදා තිරගත කිරීමත් විශේෂත්වයකි.

   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.