නිදහස් ඉන්දියාවේ ජන ජීවිතය Bharat

මැයි 30, 2019

මෑත කාලීනව බොලිවුඩ් සිනමාවේ ඉතිහාස කතා වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් වී තිබීම විශේෂත්වයක්. Padmaavat, Thugs of Hindostan, Kesari, Manikarnika: The Queen of Jhansi  මෑත කාලීනව බොලිවුඩ් රිදී තිරයේ දක්නට ලැබුණු එවැනි සිනමා නිර්මාණ කිහිපයක්. නුදුරේදී තවත් එවැනි සිනමා නිර්මාණයක් රිදී තිරයේ දිග හැරෙන්න නියමිතයි. Bharat  ඉන්දීය ඉතිහාසයේ තවත් පැතිකඩක් ගෙන එන්න සූදානම්.

එක් පුද්ගලයකුගේ ජීවිතය විනිවිද දකිමින් ඉන්දීය ඉතිහාසයේ කාල සීමාවක් ගෙනහැර දැක්වීම Bharat  චිත්‍රපටයේ විශේෂත්වය යි. මෙහි භාරත් ලෙසින් ප්‍රධාන කතා නායකයා වන්නේ සල්මන් ඛාන්. මේ වසරේ සල්මන්ගේ සිනමා නිර්මාණ දෙකක් තිරගත වීමට නියමිත අතර එයින් පළමු වැන්න Bharat ලබන ජුනි 05 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරේ. දකුණු කොරියානු චිත්‍රපටයක් වන Ode to My Father  චිත්‍රපටය ඇසුරෙන් Bharat නිර්මාණය වී තිබේ. යූන් ජේ-කයූන් විසින් අධ්‍යක්ෂණය කර 2014 වසරේදී තිරගත කෙරුණු එහිදී යූන් නම් දකුණු කොරියානුවාගේ ජීවිතය ඇසුරෙන් දකුණු කොරියාවේ ජන ජීවිතය ගෙන හැර දැක්වේ. 1950 සිට 2010 වසර දක්වා කාලය එයින් නිරූපණය වන අතර මේ වන විට දකුණු කොරියානු සිනමාවේ ඉහලම ආදායම් ලද චිත්‍රපට අතරේ සිව්වැනි ස්ථානය එයට හිමි වී තිබේ. Bharat චිත්‍රපටයේදී 1947 වසරේ ඉන්දීය නිදහසෙන් පසු කාලය දැක්වේ.

ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කෙරුණු පසු භාරත්ගේ පියා පාකිස්තායට පිටත්ව යන්නේ අට හැවිරිදි භාරත්හට පවුල බලා ගැනීමේ වගකීම පවරමින්. මේ අනුව පවුලේ එකමුතුව රැක ගැනීමේ වගකීම පැවරෙන භාරත්ගේ ජීවිතයේ වයස අවුරුදු 18 සිට 70 දක්වා වසර 60ක කාලය සමඟින් Bharat සිනමාපටය දිග හැරේ.Sultan (2016), Tiger Zinda Hai (2017) වැනි සාර්ථක සිනමා නිර්මාණ ගෙන ආ අලි අබ්බාස් සෆාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති Bharat චිත්‍රපටයේ සල්මන් සමඟින් කත්‍රිනා කයිෆ්, තාබු, සුනිල් ග්‍රෝවර්, දීෂා පතානි, ජැකී ශ්රොෆ්, සොනාලි කුල්කර්ණි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. ජැකී ශ්රොෆ් භාරත්ගේ පියාගේ චරිතයට පණ පොවන අතර වරුන් ධවාන් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් අධිපති ධිරුභායි අම්බානිගේ තරුණ වියට පණ පොවමින් විශේෂ දර්ශනයට දායක වී සිටියි. ධිරුභායි අම්බානි යනු මේ වන විට ඉන්දියාවේ ධනවත්ම පුද්ගල ලැයිස්තුවේ ඉහළින්ම සිටින මුඛේෂ් අම්බානි සහ අනිල් අම්බානිගේ පියා වේ. මෙහි කත්‍රිනා පණ පොවන කුමුද් රයිනාගේ චරිතයට මුලින්ම තෝරා ගෙන තිබුණේ ද ප්‍රියංකා චොප්රා ය. නමුත් පසුගිය වසරේ නික් ජොනස් සමඟින් විවාහ ගිවිස ගැනීම සහ විවාහ උත්සවය වෙනුවෙන් කාර්යබහුල වීම නිසා කුමුද් චරිතය අත හැරීමට පි‍්‍රයංකාට සිදු විය.

  

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.