කුළී ඝාතකයාගේ ඉරණම

මැයි 16, 2019

යම් පුද්ගලයකුගේ අණ පරිදි මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ගාස්තුවක් හෝ වරප්‍රසාදයක් ලබන්නෙකු හැඳීන්වෙන්නේ කුළි ඝාතකයා ලෙසිනි. ජෝන් වික් යනු එලෙස නමගිය කුළියට මිනී මරන්නෙකු වේ. නමුත් පසුකාලීනව ඔහු එම වෘත්තියට සමු දෙන්නේ ආදරණීය බිරිය නිසාය. ඇයගේ හදිසි වියෝව ජෝන් ආතතියට ලක් කරන අතර ඒ අතරතුර ලෝසන් නම් දාමරිකයකු විසින් ඔහුගේ මෝටර් රථය සොරකම් කරනු ලබයි. එම මෝටර් රථය ජෝන් වික් බිරියගෙන් ලද අවසන් ත්‍යාගය යි. මෙතෙක් කල් ජෝන් තුළ යටපත්ව සිටි මිනිමරුවා යළිත් අවදි වන අතර ඔහු ලෝසන් පසුපස හඹා යන්නේ පළිගැනීම එකම අරමුණකොට ගෙනය. මේ අතර ලෝසන්ගේ පියා ජෝන්ගේ හිසට මිලක් නියම කරයි.

2014 වසරේ දී John Wick චිත්‍රපටය රිදී තිරයේ දිග හැරුණේ මෙලෙසිනි. 2017 වසරේදී John Wick: Chapter 2 චිත්‍රපටය නිර්මාණය විය. එහිදී ජෝන් වික්හට තවත් මිනී මැරුමක් භාරවන අතර ඔහු ඝාතනය කිරීමට ලොවපුරා සිටින දරුණු මිනීමරුවන්ට ආරාධනා කරන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 14ක ත්‍යාගයක් පිරිනමන බව සඳහන් කරමිනි. චැඩ් සෙනෙස්කි අධ්‍යක්ෂණයෙන් මෙලෙසින් දිග හැරුණු බිහිසුණු සටන් ජවනිකා රැගත් John Wick සහ John Wick: Chapter 2 චිත්‍රපට ද්විත්වය රසික ආකර්ෂණය දිනාගත් චිත්‍රපට බවට පත් විය. ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම ත්‍රාසය, කුතුහලය පිරි ක්‍රියාදාම චිත්‍රපටවලට අවශ්‍ය සියලු කරුණුවලින් පෙහොසත් බවට විචාරක ප්‍රතිචාර ද ඉහළින් ලද John Wick  චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය හෙට (මැයි 17) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතව ඇත. පාතාළ ලෝකය තුළ යම් පුද්ගලයකුට තම අතීතයෙන් දුරස්වීම කළ නොහැකි දෙයක් බව ප්‍රකටය. ජෝන් වික්හට ද තමා පසුපස හඹා එන අතීතය සහ දරුණු මිනීමරුවන්ගෙන් ගැළවීමට හැකි වේවි ද? තෙවැනි චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ එය යි.

කීනු රීව්ස්, ජෝන් වික් ලෙස සුපුරුදු රංගනයේ යෙදෙන මෙම චිත්‍රපටයේ හේල් බෙරී, ලෝරන්ස් ෆිෂ්බර්ග්, මාක් ඩේකස්කෝස්, ලාන්ස් රෙඩ්ඩික්, ඉයන් මැක්ෂේන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. ජෝන් වික් චිත්‍රපට මාලාවෙන් අධ්‍යක්ෂණයට පිවිසි චැඩ් සෙනෙස්කි මෙම චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයා වේ. අමෙරිකානු චිත්‍රපට සංගමය විසින් සිදු කෙරෙන වර්ගීකරණයට අනුව මෙම චිත්‍රපටය අ ගණයට අයත්වන අතර වයස අවුරුදු 17ට අඩු ළමයින්ට භාරකරුවකු නොමැතිව නැරඹීම තහනම් වේ. චිත්‍රපටයේ දරුණු ප්‍රචණ්ඩත්වයක් සහ අසැබි වචන යෙදෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.