තුන්කොන් ආදර කතාවක්

මැයි 9, 2019

2012 වසරේදී කරන් ජොහාර් විසින් Student of the Year චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහුගේ සිනමා දිවියේ පස්වැනි අධ්‍යක්ෂණය ලෙසින්. යොවුන් ප්‍රේමණීය කතාවක් රැගෙන ආ එමඟින් බොලිවුඩ් සිනමාවට නවක තරු ත්‍රිත්වයක් ද කරන් විසින් හඳුන්වා දීම සිදුවිය. වරුන් ධවාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ ආලියා භාත්ගේ කුලුඳුල් සිනමා රංගනය වූ Student of the Year එම වසරේ ඉහළ ආදායම් ලද චිත්‍රපට අතරේ විශේෂ විය. අභි නම් තරුණයා විසින් ශනායාහට ආදරය කිරීමට පටන් ගත් දිනයේ පටන් අභි සහ රෝහන් නම් මිතුරන්ගේ මිතුදම දෙදරා යන අයුරු ඒ ඔස්සේ දිග හැරුණි.වසර හතකට පසුව යළිත් එවැනිම වූ තවත් ආදර අන්දරයක් හෙට (අප්‍රේල් 10) රිදී තිරයේ දිග හැරීමට නියමිතයි. Student of the Year 2 නම් වන එය අධ්‍යක්ෂණය කරන්නේ පූනිත් මල්හෝත්‍රා විසින්. Kabhi Khushi Kabhie Gham, Kal Ho Naa Ho, Paheli  වැනි චිත්‍රපටවල සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් කටයුතු කළ පූනිත් අධ්‍යක්ෂණයට පිවිසියේ 2010 වසරේදී I Hate Luv Storys චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්. Student of the Year 2 නිෂ්පාදනය කර තිබෙන්නේ, කරන් ජොහාර්, හිරූ ජොහාර්, අපූර්වා මෙහ්තා සමඟ ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝස් විසිනි. කරන් මෙවරත් Student of the Year 2 ඔස්සේ තවත් නවක තරු ද්විත්වයක් බොලිවුඩ් සිනමාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ටෙලි රංගන ශිල්පිනියක වන 23 හැවිරිදි තාරා සුතාරියා සහ බොලිවුඩ් නළු චන්කි පාණ්ඩේගේ දියණිය 20 හැවිරිදි අනන්යා පාණ්ඩේ Student of the Year 2 චිත්‍රපටයෙන් බොලිවුඩ් රංගනයට පිවිසීමට නියමිතය.

Student of the Year චිත්‍රපටයේ වූ තරුණයන් දෙදෙනෙකුගේ සහ තරුණියකගේ ආදර කතාව වෙනුවට Student of the Year 2 චිත්‍රපටයේ තරුණියන් දෙදෙනෙකුගේ ආදරයට මැදිවන තරුණයෙකුගේ ආදර කතාවක් වේ. ශාන්ත තෙරේසා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රෙයා ධනවත් ව්‍යාපාරිකයකුගේ නාස්තිකාර දියණියකි. සාමාන්‍ය පවුලක දියණියක වන ම්‍රිර්දුලා නර්තන ශිල්පිනියක වීමේ අදිටනින් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන්නියකි. මේ අතර පාසලට පැමිණෙන නවක සිසුවකු වන රෝහන් නිහතමානි, වෙහෙස මහන්සි වී කටයුතු කරන අයෙකි. ශ්‍රෙයා මෙන්ම ම්‍රිර්දුලාගේ සිත ද රෝහන් වෙත ඇදි යන අතර දෙදෙනාම ඔහුට පෙම් කිරීමට පටන් ගනී. විද්‍යාලයීය වසරේ සිසුවා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ගෞරව සම්මාන උලෙළ පැවැත්වෙන්නේ මේ අතරදීය. වසරේ සිසුවා ලෙසින් පිදුම් ලැබීමට කවුරුත් උනන්දු වන අතරේ තවත් සිසුවකු වන මානව් විසින් හැකි නම් වසරේ සිසුවාට හිමි සම්මානය දිනා පෙන්වන ලෙස රෝහන් හට අභියෝග කර සිටියි. තරුණියන් දෙදෙනෙකුගේ ආදරයට මැදි වන රෝහන් මෙම අභියෝගය ජය ගන්නේ කෙසේද? Student of the Year 2 ගෙන එන්නේ එම කතාපුවතයි.

මෙහි රෝහන්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩයේ ජනප්‍රිය නළු ටයිගර් ශ්රොෆ් විසිනි. ශ්‍රෙයා සහ ම්‍රිර්දුලා යන චරිත ද්විත්වයට පණ පොවන්නේ තාරා සුතාරියා සහ අනන්යා පාණ්ඩේ විසිනි. ඔවුන් සමඟින් ආදිත්‍ය සෙල්, හර්ෂ් බෙනිවාල්, සමීර් සෝනි, අභිෂේක් බජාජ්, මනෝජ් පවාල් රංගනයෙන් දායක වී ඇත. Student of the Year චිත්‍රපටයෙන් බොලිවුඩය දිනා ගත් ආලියා භාත්ගේ විශේෂ රංගනයක් Student of the Year 2 චිත්‍රපටයේ "The Hook Up Song"  නම් ගීතයෙන් දැකි ගත හැකි වේ.

  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.