ඇවෙන්ජර්ස් වීරයන්ට තවත් අභියෝගයක්

අප්‍රේල් 25, 2019

ඇවෙන්ජර්ස් කණ්ඩායමේ විසිර යාමත් සමඟින් පිටසක්වළ අඳුරු කලාපයක බලය පතුරුවාගෙන සිටින තානෝස්ට සිය බලය පතුරුවා ගැනීමට යම් තරමක පහසු තත්ත්වයක් උදාවීමත් සමඟ විශ්වයේ බලසම්පන්නතම වස්තූන් වන අපිරිමිත පාෂාණ (Infinity Stones)  හය තමා සතුකර ගැනීම තානෝස්ගේ එකම අරමුණ බවට පත් වේ. විශ්වය ආරම්භයේ සිටම වසර දහස් ගණනක් පුරා ඒ පිළිබඳ විවිධ අංශ සමඟින් බැඳී විශාල බලවත් වස්තූන් ලෙස පිළිගැනෙන මෙම සෑම අපිරිමිත පාෂාණයකටම ආවේණික වූ අසහාය බලයක් ඇති අතර ජනප්‍රවාදයේ එන පරිදි අපිරිමිත පාෂාණ තමන් සතුකර ගන්නා පුද්ගලයාට විශ්වයේම බලය හිමිවේ.

බල තණ්හාවෙන් වියරු වැටී සිටින තානෝස් අපිරිමිත පාෂාණ තමන් සතුකර ගැනීම සඳහා දියත් කරන දැවැන්ත මෙහෙයුමත්, එය අසාර්ථක කිරීම සඳහා ඇවෙන්ජර්ස් කණ්ඩායම හා අභ්‍යවකාශ වීරයන් වන ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කණ්ඩායම එක්ව සිදුකරන සටනක් Avengers: Infinity War  චිත්‍රපටයේදී දැක ගන්න ලැබිණි. එහිදී ජය ලැබූ තානෝස් සිදු කළේ, විශ්වයේ ජීවින්ගෙන් අඩක් පමණ විනාශකර දැමීමයි. තානෝස්ගේ බලය හමුවේ විනාශ වූ විශ්වය යළි ගොඩනැඟීම ඇවෙන්ජර්ස් වෙත යළිත් අභියෝගයක් වී තිබේ. පසුගිය සටනේදී දිවි බේරාගත් වීරයන් මෙම සටන ජය ගන්නේ කෙසේද? යන්න Avengers: Endgame චිත්‍රපටයෙන් දැක බලා ගත හැකි වනු ඇත. මාවල් සිනමා විශ්වයේ 22 වැනි සිනමා නිර්මාණය ලෙසින් Avengers: Endgame හෙට (අප්‍රේල් 26) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතව ඇත. එය Avengers: Infinity War  (2018) චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය යි. ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ නම් දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කර තිබෙන Avengers: Endgame චිත්‍රපටයේ රොබට් ඩව්නි ජුනියර්, ක්‍රිස් එවන්ස්, මාර්ක් රුෆොලෝ, ක්‍රිස් හෙම්ස්වර්ත්, ස්කාර්ලට් ජොහැන්සන්, ජෙරමි රේනර්, බ්‍රියේ ලාර්සන්, බ්‍රැඩ්ලි කූපර්, පෝල් රුඩ්, ජෝෂ් බ්‍රෝලින් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. මාවල් රසික රසිකාවන් හට Avengers: Endgame චිත්‍රපටයේදී මාවල් සිනමා විශ්වයේ පුරෝගාමී චරිතයක් වූ ස්ටෑන් ලී ගේ විශේෂ රංගන දායකත්වය දැක ගැනීමට ද අවස්ථාව ලැබේ.Avengers: Endgame ලොවපුරා තිරගත කිරීමට සූදානම් වන විටදී එය ඉන්දියාවට කෙතරම් සුවිශේෂ වූවා දැයි කිවහොත් ඔවුන් ඒ වෙනුවෙන් හින්දි බසින් තේමා ගීතයක් පවා නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි. එහි සංගීත නිර්මාණය කර ගායනා කරන්නේ ඔස්කාර් සම්මානලාභි සංගීත අධ්‍යක්ෂවරයකු වන ඒ. ආර්. රහ්මාන් විසින් වන අතර ඒ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙන්නේ ද ඔහු විසින්ම වීමත් විශේෂයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.