කවුද? කවුද?

VIKRAM VEDHA
දෙසැම්බර් 1, 2018

හින්දි සිනමාව සමස්ත ඉන්දියාවේම ජනප්‍රියම සිනමා කර්මාන්තය වුව ද, දමිළ සිනමාව නිර්මාණාත්මක අගයෙන් ඉදිරියෙන් සිටියි. VIKRAM VEDHA චිත්‍රපටය එම නිර්මාණාත්මක අගය මනාවට ඔප්පු කළ මෑතකදී බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක් ලෙස හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් චිත්‍රපටයක වීරයා සහ දුෂ්ටයාට සම මට්ටමක් ලබා නොදෙන නමුත් එම සරල රීතිය අභිබවායමින් එම චරිත සඳහා සම ස්ථානයක් ලබාදීමට මෙම චිත්‍රපටයෙන් උත්සාහයක් ගෙන ඇත. Cat n Mouse යන සංකල්පය මෙම චිත්‍රපටයේ මූලික තේමාව වී ඇත. වික්‍රම් (පොලිස් නිලධාරියෙක්) සහ වේධා (පාතාල නායකයෙක්) යන චරිත දෙක ඔස්සේ මෙම කතාව ගලා යයි.

චිත්‍රපටය ආරම්භ වන්නේ වික්‍රම් විසින් වේධාගේ තිප්පොළක් වැටලීමෙනි. එම අවස්ථාවේදී වික්‍රම් අතින් නිරායුධ තරුණයෙකු ඝාතනය වන අතර එතැන් පටන් ඇතිවන සියලුම සිද්ධීන්වලට හේතු සාධකය වන්නේ එම මරණයයි. වික්‍රම් විසින් එම මරණය සාධනීය කරන්නේ තමා අතින් මරුමුවට පත්වන්නේ අපරාධකාරයෙක් බැවින් එහි වරදක් නොමැති බවයි. වික්‍රම් තම හොඳම මිතුරා සහ පොලිස් සගයා වන සයිමන් සමඟ තවත් වැටලීමකට සූදානම් වන විට කිසිවකුත් නොසිතූ ලෙස වේධා තමන් විසින්ම භාරවීම වික්‍රම් ඇතුළු සියලුම නිලධාරීන්ට දැඩි කුතුහලයක් විය. වික්‍රම් කතා කරන තුරු වෙන කිසිම නිලධරයෙකුට උත්තර නොදෙන වේධා වික්‍රම්ට පවසන්නේ තමාට කතාවක් කීමට ඇති බවයි.

එහිදී වේධා විසින් තමා අපරාධකාරයෙකු වූ ආකාරයත් තමාගේ එකම වස්තුව වන පූලීට (සහෝදරයාට) හොඳින් උගන්වා ඔහුව තමාගේ වැරැදිවලින් ඈත් කරගෙන ජීවත් වූ ආකාරයත් වික්‍රම්ට පවසයි. එහෙත් තමා නැති මොහොතක ශන්ගු නැමැති පාතාල නායකයා ඔහුගේ සගයා වන රවී මාර්ගයෙන් පුලීව වැරැදිවලට යොමු කරගත් බව දැනගැනීමත් සමඟ තමා කළ යුත්තේ රවීව මැරීම ද නැතිනම් ශන්ගුව මැරීම ද කියා වේධා වික්‍රම්ගෙන් අසයි. වික්‍රම් පවසන්නේ රවී යනු අතකොලුවක් බවත් මැරිය යුත්තේ ශන්ගුව බවත්ය. තමා කළේ ද එයම බව වේධා පවසයි. තම මිනීමැරුම සාධනීය කරන්න වේධා උත්සාහ ගන්නා බව තේරුම් ගත් වික්‍රම් පවසන්නේ පොලීසියට අපරාධකරුවන් මැරීමට අවසර තිබුණත් සිවිල් පුද්ගලයෙකුට එසේ අයිතියක් නොමැති බවයි. (මෙම අවස්ථාවේදී වික්‍රම් සුදු කමිසයකිනුත් වේධා කළු කමිසයකිනුත් සැරැසී සිටීම මඟින් ප්‍රේක්ෂකයාට සුදු කළු චරිත පෙන්වීමට ගත් උත්සාහය විශිෂ්ට බව නොකියාම බැරිය) එදිනම වේධාට ඇප ලැබෙන අතර ඇප ලබාගන්නා නීතිඥ වික්‍රම්ගේ බිරිඳ වීම දෛවෝපගත සිදුවීමකි.

සිදු වූ දේ පිළිබඳව නැවත සොයා බලන වික්‍රම්ට තමා විසින් මරා දැමූ නිරායුධ තරුණයා අන් කිසිවෙකු නොව වේධාගේ සහෝදරයා වූ පුලී බව දැනගන්නට ලැබෙයි. තම හොඳම යාළුවා වන සයිමන් සහ පුලීගේ පෙම්වතියගේ මරණය පිළිබඳව දැනගන්නා වික්‍රම් මේ මරණවලට හේතුව වේධා යැයි සිතා ඔහු හඹා යයි. වික්‍රම් තම බිරිඳ උපයෝගි කර ගනිමින් වේධා අත්අඩංගවට ගන්නා අතර පොලීසියට රැගෙන නොගොස් වේධාගෙන් සයිමන් මැරීමට හේතුව කුමක්දැයි අසයි. නමුත් වේධා පවසන්නේ තමාට තව කතාවක් කීමට ඇති බවයි.

තමගේ නායකයා වන චේතා මිලියන 5 ක මුදලක් තමාට ආරක්ෂා කරතැබීමට ලබා දුන් බවත් එම මුදල් පුලීගේ පෙම්වතිය වන චන්ද්‍රා විසින් හොරකම් කළත් පුලීට ඇති ආදරය නිසා යළි ලබා දුන් බවත් පවසයි. නමුත් තමාගේ මුදල් හොරකම් කිරීමට දඬුවමක් වශයෙන් චන්ද්‍රාව මරා දමන ලෙස චේතා තමාට පැවසුව බවත් වේධා වික්‍රම්ට පවසයි. තමා කළ යුත්තේ චන්ද්‍රාව මැරීම ද නැතිනම් ඔවුන්ට පලායාමට උදව් කිරීම ද යන්නදැයි වේධා වික්‍රම්ගෙන් අසයි. වික්‍රම් පවසන්නේ පුලී අහිංසකයෙකු නිසා ඔහුට උදව් කළ යුතු බවයි. එය නිවැරැදි පිළිතුර බවත් තමා එසේ කළ බවත් පවසන වේධා, තමා මරා දැමූයේ අහිංසක තරුණයෙකු බවට වික්‍රම්ට තේරුම් කරයි. තමා කළ වරද පිළිබඳව වික්‍රම් සිත් තැවුලට පත්වන අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා වේධා වික්‍රම්ට පහර දෙන අතර පැන යන්නට කලින් ඔහුට පවසන්නේ පැටලුණු තැන් විසඳ ගන්න අවශ්‍ය නම් සයිමන් සහ චන්ද්‍රාගේ මරණ පිළිබඳව යළි පරීක්ෂණයක් කරන ලෙසයි.

වික්‍රම් පරීක්ෂණය අතරවාරයේ පුලීගේ මරණයට හේතුව රවී බව සොයා ගන්නා අතර ඒ පිළිබඳව වේධාට දන්වයි. වේධාගේ පණිවුඩයක් අනුව සයිමන් හා චන්ද්‍රා මරා දැමූ ස්ථානයට වික්‍රම් යන අතර එහිදී ඔහුට වේධා සහ මරණාසන්න ලෙස සිටින රවීව දැකගන්නට ලැබෙයි. වික්‍රම්ට රවීගෙන් යමක් දැනගන්න කලින් වේධා රවීව මරා දමයි. ප්‍රශ්නවලට උත්තර හොයා ගැනීම වික්‍රම්ට බාර දී වේධා එතැනින් පලා යයි. වික්‍රම්ගේ පොලිස් කණ්ඩායම එතැනට පැමිණෙන අතර යළිත් වේධාට පැන යන්නට ලබාදීම පිළිබඳව ඔහුට දොස් පවරයි. නමුත් ටිකෙන් ටික සියල්ල තේරුම් ගන්නා වික්‍රම් සොයා ගන්නේ මේ සියල්ල පිටුපස සිටින්නේ රවී නොව තම පොලීසියේම සගයන් බවයි. කණ්ඩායමේ නායකයා වන සුරෙන්දර් පවසන්නේ ජීවත් වෙන්න සල්ලි වුවමනා බවත් රවී ඔවුන්ට මුදල් ලබා දුන් නිසා සයිමන් සහ චන්ද්‍රාව මරා දැමූ බවයි. සුරෙන්දර් වික්‍රම්ව ද මරා දැමීමට උත්සාහ කරන අතර වේධා පැමිණ ඔහුව බේරා ගනී. දෙදෙනා එකතුව කණ්ඩායමේ සියලු දෙනාවම නොමරා අඩපණ කරන අතර නායකයා වන සුරෙන්දර් පමණක් මරා දමයි.

චිත්‍රපටය අවසාන වන්නේ වික්‍රම්, වේධාගෙන් ප්‍රශ්නයක් අසමිනි. ඒ තමාගේ ජීවිතය බේරා ගත්ත, තමාට මේ ප්‍රශ්නය විසඳගන්න උදව් කරපු වේධාට සමාව දෙනවද, නැතිනම් මිනීමරුවකු සහ අපරාධකාරයකු වන වේධාව මරා දමනවද යන්නයි. වේධා සහ වික්‍රම් එකිනෙකාට තුවක්කු මාන කරගෙන සිටින  (standoff)  ඉරියව්වකින් චිත්‍රපටය අවසාන කරන්නේ සුදු චරිතය සහ කළු චරිතය කවුද යන්න, වීරයා සහ දුෂ්ටයා කවුද යන්න, වේධාගේ පිළිතුර කුමක් ද යන්න සහ වික්‍රම් ගන්නා තිරණය කුමක් ද යන්න සිතීමට ප්‍රේක්ෂකයාට ඉතුරු කරමිනි.

මිනිත්තු 146 ක් පුරා දිවෙන  VIKRAM VEDHA  අධ්‍යක්ෂණය පුෂ්කර් සහ ගයත්‍රී යුවළගෙනි. වික්‍රම් ලෙස ආර්. මාධවන් සහ වේධා ලෙස විජේ සේතුපතිගේ අති විශිෂ්ට රංගනය චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානම හේතුව බව නොකියාම බැරිය. ශ්‍රද්ධා, ශ්‍රිනාත්, කතීර්, ලක්ෂ්මි, සරත් කුමාර් ඇතුළු රංගන ශිල්පීන් රැසක් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වී ඇත. 2017 ජූලි 21 දින තිරගත වූ මෙම චිත්‍රපටය ආදායම් අතින් අති සාර්ථක වුණු අතර සම්මාන රාශියකින් ද පිදුම් ලැබීය. FILMFARE AWARDS SOUTHහිදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා (සේතුපති) සහ ජූරියේ හොඳම නළුවාට (මාධවන්) හිමි සම්මාන හිමි කරගත් අතර ANANDAVIKETAN  සම්මාන උලෙළේදී ද සම්මාන 8 ට නිර්දේශ වී සම්මාන 3 ක් හිමි කරගත්හ. දමිළ චිත්‍රපටයක් එක් සම්මාන උලෙළකදී වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වීමේ වාර්තාවක් තැබීමට ද VIKRAM VEDHA චිත්‍රපටය සමත් විය. A VIJAY AWARDS හිදී සම්මාන 14 කට නිර්ද්ශෙ වීමෙනි. IMDb දර්ශකයේ මෙම සිනමා කෘතිය සඳහා ලබා දී ඇති දර්ශකය එනම් 8.8 දමිළ චිත්‍රපටයකට ලැබුණු ඉහළම දර්ශකවලින් එකක් වීම විශේෂත්වයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.