Feedback

Week of සැප්තැම්බර් 12, 2019

ප්‍රේක්ෂකයන් කොයිබටද?
සැප්තැම්බර් 12, 2019 ~ මීගමුවේ ක්ලෝඩ් ද ලිවේරා සහ ~ නාලිනී ද ලිවේරා

 

සෑම ටෙලි නාළිකාවක ඇයි මේ තරම් ටෙලි නාට්‍යයන් විකාශනය වනුයේ. කිසිම අරුතක් නැති කතාවලින් පිරුණ ආදර්ශයක් නොමැති මෙම නාට්‍ය සමහරු නරඹනුයේ ඉතා ප්‍රීතිමත්වය. ඇඳුම් ආයිත්තම් එකම කතා රටාව අපට නම් පිළිකුලක්. නමුත් බොහෝ දෙනාට එසේ නොවන බව නම් පැහැදිලියි. අහෝ! පේ‍්‍රක්ෂකයින් කොයිබටද?

 

පේෂල ප්‍රවේශමෙන්
සැප්තැම්බර් 12, 2019 ~ පාලක සමන් පෙරේරා ~ හැඳල

 

දෙරණ නාළිකාවේ විකාශය වන සංගීතවත් වැඩසටහන් මෙහෙය වන පේෂලගේ මුඛයෙන් පිටවන ඇතැම් වචන හුවමාරුව ඇසෙන විට ඇතිවන කෝපය කියා නිම කළ නොහැකි බැවින් එය අප්‍රසන්න වේ. පේෂල ඉදිරියේදීවත් ඔබ ප්‍රවේසමෙන් වචන උච්චාරණය කරන ලෙස ඉල්ලා සිටිමි.

 

 

කේබල් නළුවකු නොවන වසන්ත
සැප්තැම්බර් 12, 2019 ~ උදාර ගී කියනගේ ~ පිළියන්දල

 

මානය සිංහල චිත්‍රපටයේ රංගනයේ නියැළෙන වසන්ත කුමාරවිලගේ රංගනය ඉතාමත්ම ආකර්ෂණීය බව කිව යුතුය. සහාය චරිතවලින් මිදී රන්සයුර, මානය වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය නිරූපණය කරන ඔබ අතිශයින්ම අනෙක් නළුවන්ට වඩා කැපී පෙනෙන චරිතයක් බවත්, කේබල් නළුවෙකු නොවන බවත් අවධාරණය කර සිටිමි. තවත් මෙවැනිම රංගනයකින් ඔබව දැක බලා ගැනීමට ආශාවෙන් සිටිමු. අංජු ධනංජය අධ්‍යක්ෂකතුමනි, සිංහල සටන් කලාව රැක ගැනීමට හා ඉස්මතු කිරීමට ඔබ දරා ඇති වෑයම ප්‍රශංසනීයයි.

 

අවන්තිට සුපැතුම්!
සැප්තැම්බර් 12, 2019 ~ එච්. ඉන්ද්‍රපාල ~ මුංහේන

පුංචි තිරයේ ටෙලි නාට්‍ය තුළ විවිධ රංගනයන් සුපෝෂිත කළ අවන්ති අපොන්සු චරිතාංග රංගනයෙන් අති විශිෂ්ට රංගන ශිල්පිනියකි. ඔබගේ රංගනයන් රසික අප මහත් සෙනෙහසින් යුතුව අගයන අතර ඔබට අපගේ සුබපැතුම්.

 

 

 

අවර ගණයේ විකාරවලින් පාසල් දරුවන් රැක ගනිමු
සැප්තැම්බර් 12, 2019 ~ ජගත් චන්ද්‍රසිරි පූජා ජගත්සිරි ~ පස්යාල

අතීතයේදී ද පාසල් ප්‍රේමය කලා නිර්මාණ සඳහා යොදා ගෙන තිබිණ. එදා කරුණාසේන ජයලත් ලියූ නවකතා රාශියක ද පාසල් ප්‍රේමය විවිධ චරිත හරහා හරි අපූරුවට ලියා තිබිණ. ‘දම්මි - සුගත්’ නාමයන් අප හදවත් තුළ තවමත් රැඳී පවතින්නේ එම නිර්මාණවල සංවර බව නිසාවෙනි. කරුණාසේන ජයලත් ලියූ ‘ගොළු හදවත’, ‘ගැහැනු ළමයි’ වැනි නවකතා කීපයකම ගැබ්ව තිබුණේ ද පාසල් ප්‍රේමයයි. එහෙත් ඒ කිසිවක අසංවර බවක් තිබුණේම නැත. ඒ නිසාම තමයි එදා සිටි සුමිත්‍රා පීරිස් වැනි දක්ෂ අධ්‍යක්ෂවරුන් කිහිප පලක්ම එම නවකතා සිනමා නිර්මාණ ලෙස හරි පරිස්සමට ඉදිරිපත් කළේ. එහෙත් කියන්න කනගාටුයි මේ දිනවල එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක එක දිගට විකාශය වන ටෙලි නාට්‍ය දෙකකම පාසල් ප්‍රේමය පහත් විදිහට පාවිච්චි කරන බව පෙනෙන්නට ඇත. ඔවුන් පාසල් නිල ඇඳුමෙන් මහ මඟත්, පාසල තුළත් කරනා විගඩම් දකින විට මෙම නිර්මාණ කරන අයට පාසල් යන වයසේ දරුවන් නැතිදැයි ප්‍රශ්නයකි. මන්ද මේ දෙන්නේ පාසල් වයසේ දරුවන් හට නරක පූර්වාදර්ශයකි. පාසල් වයස යනු අනුකරණයට බොහෝ පෙලඹෙන වයසකි. එවන් සිත්වලට මෙවැනි අවර ගණයේ විකාර දකින විට වෙන හානිය නම් සුළු පටු නොවේ. පාසල් වයසේ දරුවන් රටේ අනාගතයට වග කියන පිරිසකි. කුමන මාධ්‍යයකින් වුවද ඔවුනට දිය යුත්තේ යහපත් දේය.

 

 

 

ඉසුරුට ආසිරි!
සැප්තැම්බර් 12, 2019 ~ යූ. ජී. පාලිත කුමාරසිංහ ~ ගඩලාදෙණිය

මේ දිනවල සිරස රූපවාහිනියෙන් විකාශය වන ඔබ නිසා ටෙලි නාට්‍යයේ ඉතාම දක්ෂ රංගනයක යෙදෙන ජනප්‍රිය නළු ඉසුරු ලොකු හෙට්ටිආරච්චිට මගේ උණුසුම් සුබපැතුම්.

 

 

ගිරිරාජ් එකිනෙකට වෙනස්
සැප්තැම්බර් 12, 2019 ~ සුසිලා පතිරාජ ~ උස්වැටකෙයියාව

 

තම රංගන හැකියාව විවිධ අයුරින් විදහා දක්වන දක්ෂ නළුවෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය. ජීවිතය ඇති තුරා හි කෛයිරාටික නපුරු මස්සිනාත්, පැණි කුරුල්ලෝ තම්පෝ චරිතයත් හාත්පසින්ම එකිනෙකට වෙනස් චරිත දෙකකි. එම චරිත දෙකටම නිසි අයුරින් සාධාරණය ඉටු කර ඇත. පැණි කුරුල්ලෝහි අවස්ථාවට උචිත ලෙසින් තම දෑස් මෙහෙයවා හෙළන නපුරු බැල්ම හරිම තාත්විකයි. ගිරිරාජ්ගේ කලා දිවියට අපේ සුභපැතුම්.

 

 

 

ජැක්සන්ට තව තවත් සම්මාන ලැබේවා
සැප්තැම්බර් 12, 2019 ~ සෝමා එච්. පතිරණ ~ කහවත්ත

 

ආසියානු සිනමා උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ජැක්සන් නම් රංගධරයාට හිමිව ඇත. හොඳම වෘත්තාන්ත චිත්‍රපටය වූයේ එම විෂමභාගය චිත්‍රපටයයි. මෙවැනි දක්ෂ නළුවෙකුට සම්මාන හිමි විය යුතුමයි. මෙය ලාංකීය සිනමාවට ගෞරවයකි. ඉදිරියට තව තවත් සම්මාන ලැබේවායි මම ඔබට සුබ පතමි.

 

................................................................................................................................................................................

 

සුබ ප්‍රාර්ථනා!

 

විෂමභාග සිනමාපටයේ ජැක්සන් ඇන්තනී කලාකරුවා කළ රංගනයන් වෙනුවෙන් ආසියානු සිනමා උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත් ඔහුට අපි සුබ ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබතුමාගේ රංගන දිවිය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා. ඔබතුමාට ජයෙන් ජය.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියානි ජයසිංහ

අලව්ව

 

ජෝ අමරණීයයි
සැප්තැම්බර් 12, 2019 ~ ලියනගේ සෝමරත්න ද සිල්වා ~ අහුන්ගල්ල

 

අත්පොතක් බඳුයි ඔබතුමා මියගොස් වසර 8 ක් සපිරෙයි. ජෝ ජීවත්ව සිටියදී ලාංකික සිනමාවේ රඟපෑ සියලු චිත්‍රපට අතර ඔහුගේ අනන්‍යතා ඉහළ එකක් විය. ‘දේවසුන්දරී’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ජෝගේ රංගන දිවිය වෙනස් කරලීමට සමත් වු සිනමාකරුවන් කිහිප දෙනෙකු අතරින් මයික් විල්සන්, තිස්ස ලියනසූරිය, එම්. මස්තාන්, ෆ්ලොරිඩා ජයලත්, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. බී. නිහාල්සිංහ මුල් යුගයේ කැපී පෙනෙති. රන්මුතුදූව, අල්ලපු ගෙදර, වැලිකතර හී රඟපැම් රසිකයන්ගේත්, විචාරකයන්ගේත් නොමඳ ගෞරවයට බඳුන් වූ ජෝගේ රූපණවේදය කිසියම් විද්‍යාර්ථියකු අත් පොතක් ලෙස ගිණිය හැකි තරම් අගනා සිනමා ඉතිහාසයක් ඇත. ඉතිහාසය යනු මිනිසුන් විසින් ගොඩනංවන ලද පුරාවෘත්තයන්ගෙන් පිරී පවතින්නකි. ජෝ අබේවික්‍රමයන් ඒ ඉතිහාසයේ ලියැවෙන විශිෂ්ට චරිතයක් බව කිව යුතුමය. ඔහුගේ නාමය අප මතකයේ සදාකල් රැඳී පවතී.

 

 

Week of සැප්තැම්බර් 12, 2019