දැනුමෙන් සන්නද්ධ නම් අනාගතය ගැන බය නැහැ

අංග රචනා ශිල්පී තරිඳු පතිරණ
මාර්තු 18, 2021

ටෙලි, සිනමා හෝ වේදිකා නිර්මාණයක රංගන කාර්යය සඳහා පැමිණෙන ශිල්පීහු කැමරාව ඉදිරිපිටට හෝ වේදිකාව මතට වන්නේ සිතින් මෙන්ම ගතින්ද චරිතය වෙත අවතීර්ණ වෙමිනි. රංගන ශිල්පියාට හදවතින් චරිතයට පිවිසෙන්නට සිය හැකියාව ප්‍රමාණවත් වුව ද ඔහුගේ රුව චරිතයට ඔබින ලෙස හැඩ ගන්වන්නට අංග රචනා ශිල්පියකු සිටිය යුතුමය.

ශ්‍රී ලංකාවේ සුන්දරම ඉසව්වක් වන නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ගාමිණී විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තරිඳු පතිරත්න දැනට කලා ක්ෂේත්‍රයෙහි සිටින අංග රචනා ශිල්පීන් අතර ලාබාලතම ශිල්පියෙකි. වයසින් මුහුකුරා නොගිය ද ඔහු හැකියාවෙන් පරිණත ය.

"නාට්‍ය හා රංග කලාවට පාසල් වයසේ සිටම මම ඉතාම තදින් කැමැත්තක් දැක්වූ විෂයක්. පාසලෙන් පසු ටවර් හෝල් පදනමෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ දෙවසරක උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට මට හැකි වුණා. එහිදී මට ජයන්තා රණවකයන් මුණගැසුණා. ඔහු යටතේ අංගරචනා ශිල්පය හදාරන්නට මට අවස්ථාව හිමි වුණා. එම පුහුණුවෙන් පසු වෘත්තීය අංගරචනා ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට එකතු වෙන්නට මට හැකියාව ලැබුණා."

2017 වසරේ දෙසැම්බර් 25 වනදා තරිඳු ගේ ජීවිතයේ සුවිශේෂී ම දිනය බව ඔහු පවසන්නේ ඔහු වෘත්තීයමය අංගරචනා ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පා තබන්නේ එදින වීම හේතුවෙනි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ 'යං' ටෙලි නාට්‍යයෙන් අංගරචනා ශිල්පියෙක් ලෙස ස්වාධීන ගමනකට පය තැබූ තරිඳු, දාංගලේ, තාදී ආදී ටෙලි නාට්‍ය කිහිපයක අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කර තිබේ. 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය සමඟ සහය අංගරචනා ශිල්පියකු ලෙස සිනමාවට ද පා තබන්නට තරිඳුට හැකි විය.

මේ වන විට වෘත්තීයමය අංගරචනා ශිල්පියෙකු වන තරිඳු නුදුරේදීම ඔහු දුටු තවත් සිහිනයක් සැබෑ කර ගන්නට සූදානමින් පසුවෙයි.

"ඉතා ඉක්මනින්ම දිනයක නාට්‍ය හා රංග කලාව විෂයට අදාළ ගුරු ගුරු වෘත්තිකයකු ලෙස සේවයට එක් වන්නට මම සූදානමින් සිටිනවා. මේ දිනවල මා රැස් කර ගන්නා දැනුම ඉදිරියේ දී ගුරු වෘත්තිය සඳහාත් උපයෝගී කරගන්නට මට හැකිවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."

අංගරචන ශිල්පියාගෙන් ගුරු භූමිකාව වෙත මාරු වීම පිළිබඳව ද තරිඳු තුළ ඇත්තේ වෙනස් අදහස් කීපයකි.

"ඕනෑම ක්ෂේත්‍රයක රඳා පැවැත්ම තිබෙන්නේ අලුත් මුහුණු ඒ ක්ෂේත්‍රය වෙත සම්බන්ධ වීම තුළයි. අලුත් ශිල්පීන්, දක්ෂතාවය මෙන්ම නිවැරදි දැනුමෙනුත් පරිපූර්ණ ව සිටිනවා නම් පමණයි ඒ ක්ෂේත්‍රය තුළ සාර්ථක වන්නට හැකි වෙන්නේ. මට අවශ්‍ය අපේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ වඩාත් දැනුමින් සන්නද්ධ දක්ෂ පුද්ගලයන් බිහි කරන්නට දායක වෙන්නයි. එවිට අපට කලා ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ ව කිසි විටෙකත් බියක් ඇති කර ගන්නට අවශ්‍ය වන්නේ නැහැ."

කලාව වෘත්තිය බවට පත්කර ගන්නා බොහෝ දෙනෙක් අතරමගදී අතහැර දමන ප්‍රවණතාවක් ද දක්නට ලැබේ.

"කලාව ඉතාම හොඳ වෘත්තියක්. කලාකරුවකු වන්නට වාසනාවකුත් තිබිය යුතුයි. නමුත් අලුතෙන් එක්වන පිරිස් සඳහා කලා ක්ෂේත්‍රය තුළ තිබෙන පිළිගැනීමෙහි යම් යම් අඩුපාඩු තිබෙනවා. නවකයින්ට අත දීම සහ ශක්තියක් වීම වෙනුවට ඔවුන් බිඳ දමා ඉවත් කරන්නට උත්සාහ දරන පිරිසකුත් ඕනෑම ක්ෂේත්‍රයක වගේ කලා ක්ෂේත්‍රය තුළත් සිටිනවා. ඔවුන්ට වැටහෙන්නේ නෑ ඒ තුළින් සිදුවන හානිය පිළිබඳව. බොහෝ දෙනා කලාව අතහැර දමන්නට හේතුවත් එයයි. මම කිසි දිනෙක මේ කලාවෙන් සමු ගන්නට අදහස් කරන්නේ නැහැ. ගුරුවරයකු ලෙස තවත් පිරිසක් කලා ලෝකය වෙත දායාද කරමින් මා ලද දැනුම සහ මගේ දක්ෂතාවන් මගින් තවදුරටත් දක්ෂ අංගරචනා ශිල්පියෙක් ලෙස කලාවෙහි නියුක්ත වීමයි මගේ අනාගත අභිප්‍රාය."

දිල්රූ ජයසේකර