රූපයෙන් කතා කරන්න ඒ ගැන ඉගෙන ගනිමු

පෙබරවාරි 11, 2021

සිනමා පාසලේ අංශ ප්‍රධානී - සුදත් මහදිවුල්වැව

 

 

සුදු කළු සහ අළු වැනි සිනමා කෘති ඔස්සේ මෙන්ම විවිධ ටෙලි නාට්‍ය මඟින් ඔබේ රසවින්දනය වෙනස් මානයකට ගෙන ගිය අධ්‍යක්ෂවරයකු වන සුදත් මහදිවුල්වැව යළිත් ශ්‍රී ලංකා පදනම් ආයතනය අනුබද්ධ සිනමා පාසලේ අංශ ප්‍රධානී ලෙස පත්ව ඇත. සිනමාව අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක සිනමා පාසල මඟින් ඔහු අපේක්ෂා කරන්නේ කෙබඳු ප්‍රගමනයක් ද යන්නට සරසවියට ඔහු ඉදිරිපත් කළ අදහස් මෙසේ සටහන් කරමු.

 

"ලංකාවේ චිත්‍රපට කර්මාන්තයක් තිබුණට අධ්‍යාපනය තිබුණේ අවිධිමත් අයුරින්. ඒ අතර ඇකඩමියානු (ශාස්ත්‍රීය ව්‍යූහයක) පාඨමාලාවක් පැවැත්වූ පළමුවැනි අවස්ථාව ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධිතව එවකට රූපවාහිනී අභ්‍යාස ආයතනය කියන නමින් හැඳීන් වූ ආයතනය තුළ ඇරැඹි පාඨමාලාව. ඊට පෙර සහතික පත්‍ර පාඨමාලා තිබුණා. ඒත් 'ෆිල්ම් ස්කූල්' කියන අර්ථයෙන් ඩිප්ලෝමාවක් ආරම්භ කළේ මුල්මවරට එතැනයි. එය බොහෝ දේවල් හරි නොගිය අවස්ථාවක එහෙත් අවශ්‍යතාව දැඩිව තිබියදී පටන් ගත්තේ. එහි මුල්ම ආයතන ප්‍රධානියා ලෙස සිටියේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මහත්මා. එම්.ඩී. මහින්දපාල ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයා පාඨමාලා සම්බන්ධීකාරක ලෙස හිටියා. ධනුෂ්ක ගුණතිලක ඉන්දියාවේ පූනා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය නිම කර පැමිණ සිටියා.

විවිධ සිනමා අධ්‍යක්ෂවරුන්ට ආරාධනා කළා එහි උගන්වන්න. මමත් ඉන් කෙනෙක්. කලකදි පාලන තන්ත්‍රය වෙනස් වෙලා මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පදනම් ආයතනයේ ප්‍රධානියා බවට පත් වුණා. ඔහු කීවා කවුරුන් හෝ මේ කර්මාන්තයේ නියැළි කෙනෙක් මෙහි සිටිය යුතුයි කියලා. ඒ වෙද්දි මම ඉතා හොඳීන් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේත්, යම් තරමක විශ්වවිද්‍යාල දේශනවලටත් සහභාගී වෙමින් හිටියේ. ඒත් මම එක මොහොතක මුරණ්ඩු ලෙස තීරණය කළා වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආර්ථික වාසිය සහ ඉගැන්වීමෙන් ලැබෙන තෘප්තියට පසු ජීවිතයේ අර්ථය කුමක්ද යන්න මත මේ අමාරු මොහොතේ මෙයට කරගැසිය යුතුයි කියලා. ඒ අනුව පස්බුරුල් කරන කැලේ කපන කොටසට මමත් සම්බන්ධ වුණා.

එහෙම පටන් ගත් පළමු පාඨමාලාව සාර්ථක වුණ නිසා දෙවැනි පාඨමාලාව දෙගුණයක් අය කර ව්ඍQ ඹ්ඥමඥත 6 මට්ටමකත් තුන්වැන්න ඒ වගේ දෙගුණයක වටිනාකමකට අංග සම්පූර්ණ පාඨමාලාවක් ලෙසත් පවත්වන්න පුළුවන් වුණා. ලංකාවේ ඉතාම හොඳ චිත්‍රපට නිර්මාණකරුවන් සමහර විට හොඳ ගුරුවරුන් වුණේ නැහැ. සමහරුන්ට හොඳීන් විෂය ඥානය තිබුණත් ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම මදි. මේ සියල්ල අතර අදියර තුනකින් අපි කෙසේ හෝ පාඨමාලාව සාර්ථක කරගන්න කටයුතු කළා. අප තිබුණේ පාට හතරක පෑන් සහ සුදු බෝඩ් එක පමණයි. අනෙක් සියල්ල අපි එළියෙන් ගත්තෙ. ඉන්පසු ශිෂ්‍යයන් විසින් චිත්‍රපට උලෙළක් සංවිධානය කළා 'කලම්බු ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස් ෆිල්ම් ෆෙස්ටිවල්' නමින්. පසුව මම පදනම් ආයතනයට දැනුම් දීලා මගේ අධ්‍යාපන කටයුතු සහ තවත් අවශ්‍යතා නිසා වැඩි කාලයක් විශ්වවිද්‍යාල සමඟ ගත කරන්න ඉවත් වුණා.

වත්මන් සභාපතිනි නීතිඥ දිල්හාරා අමරසේකර, අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රමිලා විජේවීර සහ අධ්‍යාපන අංශ ප්‍රධානී ආචාර්ය විජේරත්නත් මට යළි ආරාධනා කළේ අතීත වැඩපිළිවෙල සහ කීර්තිමත්බව ඇති කිරීමේ අරමුණින්. ඔවුන්ගේ උනන්දුව නිසා මම යළි ආයතනය බාර ගන්න තීරණය කළා. මොකද අපේ කාලයේ තමයි සිනමා කර්මාන්තයට නවකයන් බොහෝ දෙනකු බිහි කර තිබෙන්නේ. උදාහරණයකට 'ඉක්කා' කියන්නේ අපෙන් ගිය ශිෂ්‍යයකුගේ චිත්‍රපටයක්. එහි මුළු කණ්ඩායමත් අපේ පාඨමාලා හැදෑරූවන්. පාංශු චිත්‍රපටය‌ට සම්බන්ධ වූ බොහෝ දෙනා මෙතැනින් පිට වූ ශිෂ්‍යයන්.

මෑත කාලීන කෙටි චිත්‍රපට බොහොමයක අධ්‍යක්ෂවරු, කැමරා ශිල්පීන් ආදීන් අපේ. ඔවුන්ට ජාතික හා අන්තර්ජාතික මට්ටමේ සම්මාන ලැබී තිබෙනවා. අපේ වගාවේ අස්වැන්න නෙළන්නේ දැන්. මම පෞද්ගලිකව සතුටු වෙනවා අපේ කාලේ පොඩි සිනමා සංස්කෘතියක් හදන්න පුළුවන් වීම ගැන, වසර තුනක් සෑම බ්‍රහස්පතින්දාවකම චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරමින්. ලංකාවේ පළමුවරට වාර්තා චිත්‍රපට සැම මාසෙකම දෙවැනි සතියේ පෙන්වීම අපි හිතුවාට වඩා සාර්ථක වුණා. ඒවා ආරාධිත දේශන හා ආන්දෝලනාත්මක මාතෘකා ඇසුරෙන් සිදුවීම හා ඇතැම් ඒවාට 450ක් පමණ දෙනා සහභාගී වීම ඓතිහාසික කරුණක්. ඒ සඳහා පදනම් ආයතනයේ පාලනාධිකාරියට සහ අනුග්‍රාහකත්වය දැක්වූ ආයතනයට මට දුන් නිදහසට මම ස්තූතිවන්ත වෙනවා.

වර්තමානයේදීත් මම උත්සාහ කරන්නේ සිනමා ක්ෂේත්‍රයේ අංශක 360ම ආවරණය වන විදිහට පාඨමාලාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණය සාක්ෂාත් කරගන්න. එහිදී අපි 'ෆිල්ම් ලැබ්' කියන සංකල්පය ගෙනැවිත් එයින් කෙටිකාලීනව දිනක් හෝ දින තුනක් තුළ වෘත්තිකයකු සමඟ 'මාස්ටර් ක්ලාස්' සඳහා සම්බන්ධ වීමට අවස්ථාව දීම කළා. එහි පළමුවැනි අදියර විදිහට, බූඩි කීර්තිසේන, විමුක්ති ජයසුන්දර, චින්තන ධර්මදාස සහ ජූඩ් රත්නම් සමඟ කතාබහක් ලැහැස්ති කර තිබුණා. පළමුවරට අපි කර්මාන්තය පදනම් කරගෙන, කලා අධ්‍යක්ෂවරුන්ගේ අඩුව පිරිමහන්න වගේම සහාය අධ්‍යක්ෂ යනු අධ්‍යක්ෂවරයා නම් වූ සමනලයාගේ දැළඹු අවස්ථාව යන වැරැදි කියවීමෙන් මිදී වෘත්තියමය සහාය අධ්‍යක්ෂවරුන් බිහි කිරීම වැනි අංශ සම්බන්ධ වෘත්තීමය පාඨමාලා පැවැත්වීමට සූදානම් කළා.

චිත්‍රපට නිෂ්පාදනය යනු මුදල් යෙදවීම කියන වැරැදි මතයෙන් ඔබ්බට ගොස් එහි සැබෑ අරුතින්, චිත්‍රපට පිළිබඳ විශාල අවබෝධයක්, කියවීමක් සහ සංවිධාන ශක්තියකින් යුතුව මුදල් සොයා ගන්නා පුද්ගලයකු ලෙස තමන් තෝරාගන්නා චිත්‍රපටය නිර්මාණය කිරීමට දක්වන දායකත්වය පිළිබඳ නිෂ්පාදන පාඨමාලාවක් ගෙන ඒමට සැලසුම් කළා. එවැනි සැලසුම්ගත පාඨමාලා දහයෙන් පහක් අපි දැනට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

අපේ ඉතිහාසය පිළිබඳ සතුටු විය හැකි කරුණක් තමයි කාන්තා කැමරා අධ්‍යක්ෂිකාවන් තිදෙනෙකු බිහි කරන්න අපට හැකි වීම සහ ඔවුන් වෘත්තීය මට්ටමින් ජාතික, අන්තර්ජාතික මට්ටමින් කටයුතු කිරීම. සංස්කරණ ශිල්පීන් රැසක් අතරින් දෙදෙනකු කාන්තාවන් වීමත් අපට සතුටක්.

අපෙන් බිහි වූ කණ්ඩායම් තුනේම සිසු සිසුවියන්ව සිටි අය කැඳවා ආදි ශිෂ්‍ය සංගමයක් ඇති කරන්නත් අපි කටයුතු කළා. ඒ අනුව කොළඹ සිනමා පාසලෙන් පිට වූ වෘත්තිකයන් දහදෙනකුට සම්මාන දීමේ වාර්ෂික උලෙළක් පැවැත්වීමටත් පියවර ගත්තා. එහිදී අධ්‍යක්ෂ, කැමරා ශිල්පී, සංස්කරණ ශිල්පී කියන අංශ සැලකිල්ලට ගත්තාම නම් 17ක් ලැබී තිබෙනවා දහදෙනකු තෝරාගන්න අපහසු වන ආකාරයට. එය අපට සතුටක්. ඊට අමතර අංශවලට ගිය අයත් අපේ පාසලෙන් බිහි වුණා. මෙය රජය පිළිගත් සහතිකයක් දෙන එන්වීකියු සහතිකය නිශ්චිත ක්‍රෙඩිට්ස් ගණනක් අනුව දෙන, ඉතිහාසයක් සහිත ආයතනයක්.

මෙහි දෙවැනි අදියර ලෙස අප බලාපොරොත්තු වෙනවා මේ වසර දෙකහමාරක ක්‍රෙඩිට් යොමු කළ පසු තව වසරක් අනුබද්ධිත විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා උපාධියක් දක්වා තමන්ගේ සුදුසුකම් වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙන්න. ඒ ක්‍රමය පිළිබඳ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එය යුරෝපීය සරසවි අතරින් අපේ විෂයය නිර්දේශවලට සහ අපේ ක්‍රමවේදවලට එකඟවන වගේම අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීම අනුව රැඳෙන ස්ථානය පිළිබඳවත් සලකා බලා ගත යුතු තීරණයක්.

ලංකාවට සිනමා පාසලක් ඕනෙද? සිනමාශාලා වැහෙනවා පාසලකුත් නඩත්තු කරන්න ඕනෙද කියලා අහන අයට වගේම සිනමාව උගන්වන්න පුළුවන්ද? කියන දේට මට කියන්න තියෙන්නේ ඇත්ත, සිනමාව උගන්වන්න බැහැ. එය ඇඟේ තිබිය යුතු දෙයක්. හැබැයි තාක්ෂණික ක්‍රමවේදය ඉගෙන ගන්න ඕනෙ. අනෙක සිනමාව කියන්නේ රසවිඳීන්න තිබෙන මෙවලමක් කියන අදහස තිබෙන තාක්කල් මෙය ඉතා චූල කලාවක් වෙයි. සිනමාව කියන්නේ ජීවිතයම ප්‍රතිනිර්මාණය කිරීමයි. එවිටයි අපට සිනමාවට පුළුල් අවකාශයක් ලැබෙන්නේ. ලොකු අහසක් යට පමණයි ලොකු ගොඩනැඟිල්ලක් හැදෙන්නේ.

සිනමාවත් චූටි කොටුවක නැතිව විශාල ඉඩමක තැබිය යුත්තක්. මේ පාසලට එන සියලු දෙනා සිනමා නිර්මාණයක් නොකරනවා විය හැකියි. ඒත් ජීවිතය පිළිබඳ වෙනස් විදිහකට කියවන පිරිසක් එළියට ඒම වඩාත් හොඳ සමාජයකට හේතු වනවා. පෝසත් ප්‍රේක්ෂකාගාරයක් කියන්නේ පෝසත් චිත්‍රපට නිපදවීමේ පදනමයි.

ඇත්තම කතාව ලංකාවේ වැඩිපුර හැදිලා තියෙන්නේ වාණිජ සිනමාව නොවේ කලාත්මක නිර්මාණ. සිනෙසිත් ඇතුළු විවිධ පොතපත, පුවත්පත් ලිපිලේඛන සියල්ල එකතු වෙලා තමයි අපේ සිනමා සංස්කෘතිය ඇති වෙලා තිබෙන්නෙ. දැන් හොඳ චිත්‍රපට වැඩිපුර නිර්මාණය වන ප්‍රවණතාවක් තිබෙනවා.

අපේ වසර 74ක ලිඛිත සිනමා කර්මාන්තය තුළ සිනමා අධ්‍යාපන ඉතිහාසයක් තිබුණේ නැහැ. දැන් එය ඇති වෙමින් පවතිනවා. සිනමාව පිළිබඳ මිනිසුන්ගේ කියවීම වෙනස්. ජංගම දුරකථනයෙන් පවා සිනමාව නැරඹිය හැකි නිසා අවබෝධය පුළුල්. අනාගතය පිළිබඳ මට තිබෙන්නේ සුබවාදී ආකල්පයක්. කිසිම දැනුමක් නොදී ස්වයං අධ්‍යාපනයෙන් නිර්මාණකරුවකු බිහි වන්න වසර පහක් යනවා නම් අපි කරන්නේ එය වසර දෙකකට විතර අඩු කර ගමන වේගවත් කිරීම සහ නිශ්චිත මඟ කීම. අපි ස්වර්ණමය අවස්ථා කීපයක් මඟහැරගත් ජාතියක්. ජුලියෝ පිස්ටෝනිලා ආ වෙලාවේ දේශපාලනයෙන් තොරව ඔවුන්ගේ තාක්ෂණය ගත්තා නම් අපි දැන් බොහෝ දුර ගිහින්.

 

මගේ අරමුණ මගේ කාලය ඇතුළත සිනමා පාසල කියන පටු තැනට වඩා සිනමා සංස්කෘතියක් ඇති කිරීමට මුල පිරිමයි. විචාරය දෙන්නම් බැටේ ක්‍රමයට එහා ගිය සැබෑ විචාරයක් බවට පත්වන කියවීමක් එයින් ඇති කළ හැකියි. විමුක්තිගේ චත්‍රක් චිත්‍රපටය පිළිබඳ ලබන 18 වැනිදා සාකච්ඡාවක් කරනවා. එහි විචාරය කරන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ. කර්තෘකාරක සිනමාව ගැන නිර්මාණකරුවා ඉදිරියේ කතා කිරීමම මෙහි අපූරු ලක්ෂණයක්. සුනිල් විජේසිරිවර්ධන, ජගත් වීරසිංහ සහ තරුණ විචාරක එරන්ද මහගමගේ ඔවුන්ගේ විචාරයන් කරනවා.

එයින් මුල පුරන්නේ මතවාද මතින් එන විවිධත්වය තුළින් මතුවන පුළුල් සිනමා සංස්කෘතියකට ඉඩ සැකසීමයි. මෙහිදී චිත්‍රපට පිළිබඳ තේරීමක් නැතත් එය අපේ ගැඹුරු කතිකාවට ගැළපෙන නිර්මාණයක් විය යුතුයි. ඒ වගේම වත්මන් සිනමාවේ ඇතිව තිබෙන අර්බුදවලටත් එයින් අදහස් ලබා ගත හැකියි. භෞතිකව මෙන්ම අන්තර්ජාලය ඔස්සේත් අපි මේ කටයුතු කරන්න උත්සාහ කරනවා පවතින කොවිඩ් තත්ත්වය මත. ඒසේම මෙයට අනුග්‍රාහකත්වයක් දක්වන භවතුන්ට විවෘතව ආරාධනා කරනවා මේ සඳහා දායක වන්න කියලා.

සාක්ෂරතාවක් නැති අයට පවා නිර්මාණයක් කියවිය හැකි ඉතාම ප්‍රබල මාධ්‍යය තමයි සිනමාව අද දවසේ ඉතාම වැදගත් වන සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන මුදල කවදා හෝ සිනමාවට වෙන් කරන යුගයක් බිහි කිරීම තමයි අපේ අපේක්ෂාව. ඒ සඳහා සියලු සිනමා නිර්මාණකරුවන්ට අප සමඟ එක්වන්න, මේ සිනමා පාසල පුද්ගලයකු මත නොව ජාතික අවශ්‍යතාව මත ඉදිරියට ගෙන යන්න එක්වන්න කියා මා ආරාධනා කරනවා."