අධ්‍යක්ෂණයට බසින 19 ට මගේ සහය

ජුනි 11, 2020

 

කොවිඩ් 19 ලොව පුරා පැතිරයාමත් සමඟම හොලිවුඩ් සිට හෙලවුඩ් දක්වා සියලුම සිනමාහල් පමණක් නොව, ලොව සියලු ව්‍යාපාර අක්‍රීය වීමෙන්, ලෝකයේ දැවැන්ත සිනමා සමාගම් පවා තාවකාලිකව හෝ වසා දැමීමට සිදුවූ බව නැවත-නැවත කිවයුතු නොවේ.හෙලවුඩ් සිනමා අඹරේ සතියෙන්-සතිය පායන තරුවල ගුණයද, ආලෝකයද අන්ධ-මන්ද වී ගියේය. එවන් වූ තරු නැවත ප්‍රභාමත් කිරීමට තවත් වසර කිහිපයක් ගතවනු නිසැකය. කලබල වුවහොත්, පාරතොට අපිට තහනම් කාලය තවත් දීර්‍ඝ වනු ඇත.

 

අප එතෙක් බලා සිටින්නේ කෙලෙසද....?

“ බයිස්කෝප් උණ රෝගය” තදින්ම වැලඳී ඇති මා හට මෙවන් වූ ඛේදවාචකයකට මුහුණ දීමට නම්, වළේ වැටුණු එකා මෙන්, වල කටින්ම ගොඩ ඒමේ අභිප්‍රාය මත මොනයම් හෝ වේදිකාවක සිට මා බයිස්කෝප් ම කළ යුතුව ඇත.

එවන් වූ මොහොතක - නිෂ්පාදකවරු කිහිප නමකගේ සොඳුරු විධානයෙන් චිත්‍රපට කථාවක් ගොනු කිරීමට, මා දිරි ගැන්වීය. කථාවේ - ක්‍රියාදාම බහුලය, ආදරය අඩු නැති, ත්‍රාසය පදමට ඇති, හාස්‍ය පිටාර යන - නවතම කළු-සුදු චරිත හැසිරෙන - චිත්‍රපට තිර-නාටකයක් ලෙස එය දැන් ගෙතී අවසන්ය.

එහෙත්, මා මේ මොහොතේ සටහන් තැබීමට සැරසෙන්නේ, ඒ යට කී කිසිවක් ගැන හෝ කීමට නොවෙයි.....

එබැවින් - මා මෙතෙක් පැමිණි “අවුරුදු 42 ක සිනමා ගමනය” දෙස - “කොවිඩ් 19 කාලය” තුළදී - නැවත හැරී - සුපරීක්‍ෂාකාරී වී - මෙනෙහි කිරීමට තරම් අදහසක් පහළ කළේ මෙම නව තිරනාටකයේ අනුහස යැයි සඳහන් කිරීම වඩාත් යෝග්‍ය යැයි සිතමි.

ඒ අතීතය කොයිතරම් තෘප්තිමත් වීද, මොනතරම් විනෝදජනක වීද, කෙතරම් මනහර වීද යත්, මතකය යළි-යළිත් ආවර්ජනය වීමෙන් මොනවට පැහැදිලි වන්නේය.

 

මා මැවූ සිනමා ජවනිකා අභියස-සිනමාහල තුළ නැගෙන ජනතාවගේ නොනවතින ඔල්වරසන් හඩ මා සංවේදීත්වයට පත් කරවමින්, සිත පහන් කරවයි. මනස ජ්වලිත කරවයි.

එසේ අතීතය දෙස උපේක්‍ෂා සහගතව බැලීමෙන් ඇස ගැටුණු සුවිශේෂිත වූ කරුණක් මා හද අවදිකරවීමට සමත් විය.

එනම්, මාගේ තිරගතකළ චිත්‍රපට සහ ගිවිසුම් ගත චිත්‍රපට සඳහා - මා වෙනුවෙන් මූල්‍යමය ආයෝජනයන් කළ නිෂ්පාදකවරු 19 දෙනෙකු - කොවිඩ් 19 තුළ දී මට හමුවිය.

ඉන් පළමුව, මා 1977 වසරේ සිට - ප්‍රයෝග දර්ශන ශිල්පියෙකු වශයෙන් ජාතික සිනමාවට සේවය සපයමින් සිටියදී, 1983 වසරේ දී මා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු බවට පත්කළ, රාජ් රණසිංහ මහතාද ඉන් අනතුරුව - සොමි රත්නායක - ලකී ඩයස් - ඩබ්ලිව්. විනිල්, දයානන්ද පෙරේරා - ලාලින්ද විජේවික්‍රම - ශිරාණි ප්‍රියසාද් - සුනිල් ටී. ප්‍රනාන්දු, ධනංජය සෙනරත් - ජයන්ත ධර්මදාස - මොහාන් හෙට්ටිආරච්චි - අරෝෂ ප්‍රනාන්දු, තිස්ස බාලසූරියආරච්චි - ශාලිත වීරරත්න යන මහත්වරු මෙන්ම...

අප අතරින් වෙන්ව ගිය තිලක් අතපත්තු - විජය කුමාරතුංග - පර්ල් වාසුදේවී, එච්. එස්. පෙරේරා සහ සෝමා එදිරිසිංහ ඇතුළු මාගේ උත්තරීතර නිෂ්පාදකවරුන්-වරියන් පිළිබඳ මා ඉතා ගෞරවයෙන් නැවත-නැවත සිහිපත් කරන්නේද - සටහන් තබන්නේ ද යම් දාර්ශනික හේතුවක් මතම බව, වටහාගන්නේ නම් මැනවි.

ශ්‍රී ලංකාව තුළ චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් කරළියට පැමිණෙන බොහෝ නිෂ්පාදකවරුන් - තම දෙවැනි චිත්‍රපටය වෙනුවෙන් තමාම, අධ්‍යක්‍ෂවරයා බවට පත්වෙයි.

එය ඉතා වැදගත් හොඳ ක්‍රියා පටිපාටියකි. චිත්‍රපටයක් මෙහෙයවීම උදෙසා පවතින රහස් මෙන්ම සූක්‍ෂ්ම හැකියාව තමන්ට ඇත්නම් - එහි කිසිදු වරදක් මා දකින්නේ නැත.

එහෙත්, හොලිවුඩ් සිනමාව ඊට හාත්පසින්ම වෙනස්ය.

හොලිවුඩ් අධ්‍යක්‍ෂවරයා තම ඊළඟ චිත්‍රපටයේ නිෂ්පාදක හෝ අයෝජකයා බවට පත්වන්නේ - තමන් සිටින තනතුරෙන් තල කිහිපයක් ඉහළට ඔසවා තැබූ බවක් පසක් කරමිනි.

හොලිවුඩ් නිෂ්පාදකයා - අධ්‍යක්‍ෂවරයෙකු බවට පත්වූ “අවස්ථා සාක්‍ෂියක්” සොයාගැනීමට හැකියාවක් නැතිවාම නොවෙයි....

එහෙත් - යථෝක්තව සඳහන් කළ මාගේ විශිෂ්ට ගණයේ උත්තරීතර නිෂ්පාදකවරුන් වන රාජ් රණසිංහ මහතාගේ සිට, ශාලිත වීරරත්න මහතා දක්වා වන නිෂ්පාදකවරු 19 දෙනාගෙන් එක් අයෙකු හෝ චිත්‍රපටයක - චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා බවට පත්වෙමින්, මේ මොහොත දක්වා ප්‍රදර්ශනය කර නොමැත. ඔවුන් සියලු දෙන චිත්‍රපට නිෂ්පාදක යන ගෞරව නාමය තවමත් රකිති.

ඒ මන්ද යත් - ඔවුන් 19 දෙන, අධ්‍යක්‍ෂනයේ පවතින වගකීමත්, සංකීර්ණත්වයත් - බැරෑරුම් බවත්, අධ්‍යක්‍ෂවරයා තුළ පැවතිය යුතු ලෝකෝත්තර දැක්මක්, සංකූලතාවයක් පිළිබඳ මනාව තේරුම් ගෙන, නිෂ්පාදක යන උත්තරීතර තනතුරෙන් පිටවී - පහළට බැසීම ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත්, මාගේ පිරිසිදු අභිප්‍රාය වන්නේ ඒ සියල්ල පසෙකලා, කෙදිනක හෝ එකී නිෂ්පාදකවරු 19 දෙනාගෙන් එක් අයෙකු හෝ චිත්‍රපට අධ්‍යක්‍ෂණයට පිවිසෙනු දැකීමය.

එබැවින් - මාගේ ගරු නිෂ්පාදකවරුනි,

ඔබ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන මොහොතේ, කෙටි පණිවිඩයකින් හෝ ඒ බව, මා හට දැනුම් දෙන්න. එදිනට ඔබ විසින් අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටයේ මා ක්ලැපර් බෝයි (CLAPPER BOY)  හෝ ටී බෝයි  (TEA BOY) ලෙස ඔබට ගෞරවයෙන් කටයුතු කිරීමට සැදී-පැහැදී සිටිමි.

එය එසේ වන්නේ නම්, සිංහල භාෂාවේ ප්‍රත්‍යෝපකාරය යන වචනයට නිසි තැන ලබා දීමට එදිනට මා හට හැකිවනු ඇත.

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමන - උසස් පෙළේ වාණිජ චිත්‍රපට නිෂ්පාදනය කරමින්, දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ද, එමගින් අප කලාත්මක සිනමාව වෙනුවෙන්, ක්ෂේත්‍රය තුළ මං පෙත් හෙලි-පෙහෙළි කරමින් දැවැන්ත සිනමා මෙහෙයුමක් හැසිරවූ රාජ් රණසිංහ මහතා ඇතුළු නිෂ්පාදකවරුන් - වරියන් 19 දෙනා ගෙන් මා ඉල්ලා සිටින්නේ මාගේ හදපිරි ගෞරව ප්‍රණාමය දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් මෙමඟින් පිළිගන්නා ලෙසටය....

පහත සඳහන් වන්නේ නිෂ්පාදක ඔබ විසින් ආයෝජනය කළ මා විසින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට පෙළයි.

* පෙරළිකාරයෝ * මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි

* නොම්මර එකයි * ඔන්න බබෝ

* වරදට දඬුවම් * ඩබල් ට්‍රබල්

* හිතේ දුකක් නැති මිනිහා * ඇද්ද ලණුව දැම්ම කොඩිය

* හොඳ හොඳ සෙල්ලං * රහයි ජීවිතේ

* දොමොදර පාලම * නයින් ආර්ච් බිරිජ්

* කම් ඕ ගෝ චිකාගෝ

* අපායේ තත්පර 84000 ක් * ඉන්විසිබල් මෑන්

* නරලොව හොල්මන් * ගෝරිල්ලා

* අපායේ තත්පර 7700ක් * චන්ඩියා 3

* කොළොම්පූර්ර් * යකඩ යකා

* පාරාදීසේ * දරු උපත

එවන් වූ නිෂ්පාදකවරුන් පිළිබඳ වටිනාකම

කවදත් ප්‍රේක්ෂක ජනතාව හොඳීන් හඳුනනු ඇත.......

 

මම ඔබේ චිත්‍රපට අධ්‍යක්‍ෂ -

දිනේෂ් ප්‍රියසාද් වෙමි.