අවශ්‍ය අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක් සුබා තෙරණියෝ

ජූලි 4, 2019

වසර දහස් ගණනක අතීතයට ගොස් එය ප්‍රතිනිර්මාණයට එළැඹෙන සිනමාපට, සිනමාවේ එක නැඹුරුවක් සනිටුහන් කරන වග පැහැදිලිය. එක්කෝ මේ අතිශය ප්‍රකට පුද්ගලයන් හෝ ප්‍රකට සිදුවීම් විෂයය කර ගැනීමකි. නොඑසේ නම් අප්‍රකට පුද්ගලයන් හෝ අප්‍රකට සිදුවීම් විෂයය කර ගැනීමකි. ඓතිහාසිකව සනාථ වූ පුද්ගලයන් හෝ සිදුවීම් ද කල්පිත පුද්ගලයන් හෝ සිදුවීම් ද මෙහිලා හඳුනා ගත හැකිය.

මෙබඳු විටෙක සිනමාකරුවකු අවශ්‍යයෙන්ම ඉටු කළ යුතු වගකීම් ද්විත්වයකි. එනම් අතීතය විෂය කර ගැනීම විෂයෙහි සාක්ෂාත් කර ගන්නා දැක්ම කවරාකාර ද යන්නය. එසේම අදාළ අතීතය ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විද්‍යාත්මකව සනාථ කරලු අන්දමින්ම ප්‍රතිනිර්මාණයට පියවර ගෙන තිබේ ද යන්නය.

ලෝකයේ විශිෂ්ට සිනමාපට ගණනාවක්ම මේ නැඹුරුව තුළ කැපී පෙනෙන බව ද, විටෙක ගැටලු මතු කරන බව ද රහසක් නොවේ. හොඳම උදාහරණයක් වන්නේ විලියම් වයිලර් අධ්‍යක්ෂණය කළ ‘බෙන්හර්’ය. වර්ෂ 1959 දී මුල්වරට ප්‍රදර්ශිත ‘බෙන්හර්’ අද දවසේදී ද ප්‍රබුද්ධ ප්‍රේක්ෂක අවධානයටත්, සිනමා අධ්‍යයන කාර්යයන්ටත් පාදක කර ගැනේ. එහි එක් තැනෙක වර්තමාන අංගයක් ඇතුළත්ව ඇති වග පසුකාලීනව නිරීක්ෂණය වූයේ අතීත ප්‍රතිනිර්මාණය කෙරෙහි ඒ ඒ සිනමාකරුවන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරමිනි.

මෑතකාලීන ලාංකේය සිනමාව විෂයෙහි ද අතීත පුවත් හා අතීත චරිත නිරූපණය දැක් වූ උනන්දුවක් නිශ්චිත සිනමාපට මාදිලියක ඉස්මතු වීම වෙතින් දත හැකි වේ. ආරම්භයේදී මෙබඳු සිනමාපට සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර විටෙක විස්මයජනක විය. ‘අබා’, ‘මහින්දාගමනය’, ‘සිරි පැරකුම්’, ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’, ‘කුස පබා’, ‘යශෝධරා’ උදාහරණ දෙක තුනකි. කෙසේ නමුත් ඉනික්බිතිව ප්‍රේක්ෂක මනාපය එහෙමටම නොලද එබඳු සිනමාපට ප්‍රදර්ශිත අවස්ථා කිහිපයක්ම තිබිණ.

වෘත්තාන්ත සිනමාව තුළදී අතීත ප්‍රතිනිර්මාණය, සාක්ෂාත් කර ගන්නා දැක්ම සේම වැදගත් වන්නකි. ඇත්ත වශයෙන්ම අදාළ අතීත කාරණාව හා පසුබිම නිරූපණය ලෙහෙසි පහසු දෙයක්ම නොවේ. එක අතකට මේ සංව්දී කාර්යයකි. පේ‍්‍රක්ෂක ප්‍රජාවගේ පූර්ව ආකල්ප කෙරෙහි නිසි සැලකිල්ලක් දැක්වීමටද සිදුවේ. විකල්ප හඳුන්වා දීම කළ යුත්තේ මහත් ප්‍රවේශමෙනි. විශ්වාසනීයත්වය තර්කානුකූල විය යුතුය. යථාර්ථවාදී විය යුතුය.

සුමිත් කුමාරගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වන ‘සුබා තෙරණියෝ’ නරඹන අතුරතුර සිහිපත් වන්නේ යථෝක්ත කරුණු කාරණායි. ‘සුබා තෙරණියෝ’ හි පසුබිම බුදු සමයයි. සුමිත්ගේ අභිප්‍රාය සේ දැක්වෙන්නේ බුදු සමයේ එන සුබා තෙරණියගේ දිවි සැරිය අසා පුරුදු අන්දමටම සිනමාව කරා ගෙන ඒමය. මේ එපමණ අපහසු කාර්යයක් නොවන වග පෙනේ. මන්ද ප්‍රේක්ෂක විරෝධයට බඳුන් නොවන අන්දමින් එය නිරූපණයට පියවර ගත හැකි නිසාය. විකල්ප හුවා දැක්වීම ද අවශ්‍යම නොවේ.

අතීත ප්‍රතිනිර්මාණයකදී සිනමාකරුවකු සිය කණ්ඩායම සමඟ පූර්ව අධ්‍යයනකද පූර්ව සැලසුම් සකස් කිරීමක ද නිරත විම වැදගත් බව සිනමාව පවසන්නේ දශක ගණනාවකට පෙරදීය. ඉහත දැක් වූ ආකාරයට මේ අතිශය දුෂ්කර ව්‍යායාමයකි. නමුත් සුමිත් ඉතා සැහැල්ලුවෙන් හා විවෘතව අදාළ පුවත ප්‍රතිනිර්මාණයට එළැඹෙමින් ඉඟි කරන්නේ අසා පුරුදු දෑ එලෙසින්ම සනිටුහන් කිරීම අමතර පහසුවක් වන බවය. ඉතිහාසඥයන්ගේ හා පුරා විද්‍යාඥයන්ගේ ආකල්ප හා පර්යේෂණ කෙරෙහි උනන්දු නොවන සුමිත් සත්තකින්ම උනන්දු වන්නේ සුබා තෙරණියගේම පුවත නිරූපණයටයි. මෙහිදී ප්‍රේක්ෂකයාට ඇති වන හැඟීම් ඒකකාර නොවේ. තමන් විසින් මේ නරඹනු ලබන්නේ අදින් වසර දෙදහස් පන්සියයකට පමණ පෙර සිදු වූවක් සේම එහි රැඳුණු චරිතය යන්න පිළිගනු පිණිස ඔහුට බලපෑම් එල්ල වන බව සැබෑය. ගෙවුණු සියවසේ මැද භාගයට වුව මේ පුවත රැගෙ යාමට සුමිත් නොපැකිළෙන බවද එසැණින්ම ප්‍රේක්ෂකයනට සිතේ. අවස්ථා ගණනාවකදීම තිරය මත පතිත වන නගර ශෝභනියකගේ නිවස අයත් වන්නේ මෑත අතීතයට විය යුතුය. උළු සෙවිලි කළ, හාන්සි පුුටු ද ඇති සිමෙන්ති පිල් කොටයකින් වට වුණු මේ නිවස සිනමාව තුළ අතීත ප්‍රතිනිර්මාණය වඩා පහසුය යන ආකල්පයට මනා පිටුබලයකි. සිටුවරුන්ගේ ජීවිතය ද ප්‍රතිනිර්මාණය වී ඇත්තේ දුෂ්කරතා මාධ්‍යයේ නොවේ. එය වර්ණවත්ය. චිමිනි ලාම්පු සිහි ගන්වන ආලෝකමත් උපකරණ සිටු මැදුරේදී හමු වේ. නගරයේ එක් වීදියක වසර දහස් ගණනක් පැරැණි ගල් කණු දෙක තුනකි. එසේ නම් වඩා සශ්‍රීක සමයක් බුදු සමයට පෙර තිබුණා විය යුතුය. ඒ ගැන කරුණු දක්වන ප්‍රාඥයකුගේ සහාය සුමිත්ට නොලැබීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නොවේ. මන්ද ඔහු එබන්දක් අපේක්ෂා නොකරන හෙයිනි.

අතීත ප්‍රතිනිර්මාණයේදී එහි තාත්ත්වික ස්වරූපයම ප්‍රකාශයට පත් නොකිරීමට සිනමාකරුවකු සතු අයිතිය හා හැකියාව කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නොවේ. සුමිත් ඉන් ඵල නෙළා ගනු දැකීම ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවක් වන්නට ඇත. ඊට වුවමනා සාධක සුමිත්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරේ. යට කී නිවාස, ගෘහ උපකරණ සේම චරිත ලක්ෂණ ද රංගන ශිල්පි ශිල්පිනියන් ද මෙතැනදී කැපී පෙනෙන බව රහසක් නොවේ.

සුමිත් විසින් තෝරා ගනු ලැබූ පුවතේ හැඩරුව මධ්‍යයේ රංගන ශිල්පි ශිල්පිනියනට ගැඹුරු චරිත නිරූපණයක් සඳහා ලැබෙන අවකාශය අතිශයින්ම සීමිතය. ඇත්ත වශයෙන්ම ‘සුබා තෙරණියෝ’ හි තිර නාටකයට ද අත්ව ඇත්තේ ද එම ඉරණමයි.

ශ්‍රියන්ත මෙන්ඩිස් හා දිල්හානි අශෝකමාලා සිටුවරයකු හා ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටිති. දිල්හානි මෙබඳු චරිත කිහිපයකටම මෑතතදී පෙනී සිටිය බව ද සිහිපත් වේ. තම චරිතයට යම් බරක් එක් කරලන්නට ශ්‍රියන්ත සිය කට හඬ ඔස්සේ දරන ප්‍රයත්නය දුර දිග නොයයි. රොෂාන් රණවන හා රුවන්ගි රත්නායක සිය චරිත නිරූපණය කරන්නේ ලාංකේය සුපිරි සිනමා තරු අවකාශයේ ඇබෑර්තු පවතින්නේය යන්න තීව්‍ර කරමිනි.

කෙසේ නමුදු සුමිත් එක් තැනකදී සුබා තෙරණියගේ ගිහි කල පියා වන සිටුවරයාගේ භූමිකාව හරහා එක්තරා හැඟීම් බර නිරූපණයකට ඉඩක් සොයා ගනී. ඒ ඔහු සිය දියණිය වෙත දක්වන අසීමිත ආදරය ගැන පවසන වදන් සමඟිනි. සිටුවරයාගේ අරමුණු හා සුබා තෙරණියගේ අරමුණු එකිනෙකට නොපෑහෙන වග සැබෑය. නමුත් පිය සෙනෙහසට එය බාධාවක් නොවේ. සුබා තෙරණියගේ දිවි සැරිය සම්ප්‍රදායිකව කියැවීමට උත්සුක නොවූ මෙබඳු ස්ථානයකින් සිනමාපටයක් නිර්මාණය කිරීමට සිනමාකරුවකු අදහස් කරන්නේ නම් ඒ අභියෝගාත්මක හා නවමු ප්‍රයත්නයකි. බලාපොරොත්තු තබා ගත හැක්කේ ඉදිරියේදී සුමිත් එබඳු ප්‍රයත්නයක නිරත විය හැකි බවය. එබඳු පියවරක් ගතහොත් අවධාරණය කළ හැක්කේ ඔහු සිනමා අධ්‍යක්ෂණයට අවශ්‍ය අයකුය කියායි.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.