ලංකා TV අන්දරය

ජූලි 4, 2019

දිමුතු මුතුවක ඇරැඹුම

ටෙලි නාට්‍යය යන පාරිභාෂික වචනය නිර්මාණය වන්නේ ද ධම්ම ජාගොඩයන් අතිනි. නාට්‍ය ක්ෂේත්‍රය සඳහා ද ඔහු විසින් නිර්මාණය කරන ලද පාරිභාෂික වචන බොහෝ වේ. ටෙලි නාට්‍යය තරම් වර්තමාන ප්‍රේක්ෂක ජනතාවගේ මනසට එන්නත් කර වූ වෙනත් වචනයක් නොමැති තරම්. ළමයාගේ සිට වැඩිහිටියා දක්වාත්, නාගරිකයාගේ සිට ඈත ගමක වෙසෙන ගැමි චරිතයක් දක්වාත් ජාති, ආගම්, කුල, ගෝත්‍ර යන මේ සෑම ජන ස්තරයන්ගේ දෛනික ජීවන රටාවන්ට බලපෑම් එල්ල කරන්නට පවා අද ටෙලි නාට්‍යය සමත් වී ඇති බව යන්න අතිශයොක්ති කරුණක් නොවේ. තම සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සබන් කැටයක් විකුණා ගැනීම සඳහා නිවසේ සිටින ගෘහණිය ඉලක්ක කරගෙන, රෙකෙටි ඇන්ඩ් කෝල්මන් නමැති වෙළෙඳ සමාගම විසින් 60 දශකයේ දී රූපවාහිනී මාධ්‍යයට හඳුන්වා දෙන ලද සෝප් ඔපෙරා නම් කථන්දර ශෛලියට සාම්‍ය වූ අන්තර්ගතයක් සහ ආකෘතියක් ආරම්භයේදී වුව ද අප හට දේශීය ටෙලි නාට්‍ය තුළින් දෘශ්‍යමාන නොවන්නේ එම නිර්මාණකරණය සඳහා ප්‍රවේශ වු බහුතරයකගේ කලා නිපුණත්වයේ ප්‍රභවය සිනමාව හෝ වේදිකාව දෙසට දිශානගත වී තිබීම හේතුවෙනි.

1956 රේඛාව චිත්‍රපටය ලාංකික ප්‍රේක්ෂක ජනතාව අතරට පැමිණීමට පෙර සිංහල චිත්‍රපට යනුවෙන් දකින්නට ලැබෙන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටවල කාබන් පිටපත්ය. එහෙත් සිංහල ටෙලි නාට්‍ය නිර්මාණයන්හි ප්‍රභවය සිදු වන්නේ එයට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිටය. එය අපගේ සංස්කෘතියට අනන්‍ය වූ අන්තර්ගතයන් සහ ආකෘතිමය ලක්ෂණයන් ප්‍රතිබිම්බණය වු කලාපයකින් ජන්මගත වෙයි. එහි සලකුණ ජාතික රූපවාහිනිය සතු වුව ද, එයට පරිබාහිරව නිර්මාණය වූ ටෙලි නාට්‍යයන් ද එම ආකෘතිමය ගති ලක්ෂණයන්ගෙන් පීලි පැන්නේ නැත. ඩී. බී. නිහාල්සිංහයන් විසින් නිර්මාණය කරන ලද ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යය මේ සඳහා වූ හොඳම උදාහරණය වේ. ටෙලි නාට්‍යය සාමාන්‍යයෙන් ප්‍රධාන ප්‍රභේදයන් දෙකක් යටතේ නිර්මාණය වේ. පැයක හෝ අඩ පැයක විකාශන කාලයකට යටත්ව එක දවසකින් වෘත්තාන්තය පේ‍්‍රක්ෂකයින්ට කියා දෙමින් අවසන් වන ටෙලි නාට්‍ය ඒකාංගික ටෙලි නාට්‍ය යනුවෙන් ද, කොටස් 25-50 දක්වා විකාශනය වන ටෙලි නාට්‍ය ප්‍රාසංගික ටෙලි නාට්‍ය යනුවෙන් ද වර්ගීකරණය වේ. අද වන විට එම වර්ගයේ ටෙලි නාට්‍යයන් හි කොටස් ගණන අසීමිත වී ඇත. එය තීරණය කිරීමට නිර්මාණකරුවාට අයිතියක් නොමැත. අයිතිය රඳා පවත්නේ ටෙලි නාට්‍යය විකාශය කරනු ලබන නාලිකාවේ බලධාරින්ගේ රසවින්දනය මතය.

කොටස් 24 කින් සමන්විත වූ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ රූපවාහිනී විකාශය වීම ආරම්භ වන්නේ 1983 ජනවාරි මස 18 වන දිනය. මැද පෙරදිග රැකියාවට ගිය තරුණයකු යළි ගම රට බලා පැමිණ ගත කරන ජීවිතය ප්‍රස්තුත කරගෙන ලියැ වී ඇති මෙම වෘත්තාන්තය රූපවාහිනී මාධ්‍යයට රචනාකරනු ලබන්නේ ධර්ම ශ්‍රී මුණසිංහ විසිනි. කලා ක්ෂේත්‍රයේ කවුරුත් ‘මුණේ අයියා’ යන ආදර නාමයෙන් අමතනු ලැබු හෙතෙම දක්ෂ හඬ කැවීම් ශිල්පියෙකි. සැමුවෙල්, ඇනස්ලි, බර්ටි යන තුන් කට්ටුවෙන් නිර්මාණය වු විනෝද සමයට ඉඳහිට සම්බන්ධ වූ මුණේ අයියා සිනමා ක්ෂේත්‍රයට ද නෑකම් කියන්නේ නළුවෙකු සහ තිරනාටක පිටපත් රචකයකු වශයෙනි. ඩබ්. ඒ. බී. ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද හුලවාලි චිත්‍රපටයේ ධාරා (ගාමිණී ෆොන්සේකා) ගේ ආවතේවකරු වශයෙන් කරන ලද රංගනය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබූ මුණේ අයියා ගැමි කටහඬක් උරුම වූ නිරහංකාර ගැමියෙකි. මෙම ගැමිකම යථාර්ථවාදී පිටපත් රචනය සඳහා ඔහුට වාසියන් විය. දිමුතු මුතු වෘත්තාන්තය දිග හැරෙනේ ද ගැමි පරිසරයකය. මැද පෙරදිග ගොස් ගම රට බලා එන තරුණයා ලෙස රඟපාන අමරසිරි කලංසූරිය සහ ඔහුගේ ගමේ පෙම්වතිය ලෙස රඟන දේවිකා මිහිරානිගේ රංගන කුසලතාවය ටෙලි නාට්‍යය පුරාම දිවගිය අව්‍යාජ ගැමි සංස්කෘතිය වඩාත් තීව්ර කිරීමට මහෝපකාරී වී ඇත.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.