ඩිජිටල් කියන්නේ ව්‍යාපාරික උගුලක් අපි චිත්‍රපට රැකගනිමු

ධම්මිත් ෆොන්සේකා පෙරමුණ ගනී
ජූලි 4, 2019

කඩවුණු පොරොන්දුවෙන් පටන්ගන්නා සිංහල සිනමාව පිළිබඳ අපි අභිමානයෙන් කතා කරන්නේ වසර 70ක ඉතිහාසයක් වුවත් සත්‍ය වශයෙන්ම අපේ සිනමා උරුමය අද වන විට වසර 118ක් තරම් අතීතයකට දිවෙන බව කවුරුත් දන්නා රහසකි. කථානාද සිනමාවේ ආරම්භය 1947 සිදුවුවද මෙරට වැසියන් සිනමාව අත්විඳීන්නේ 1901 පමණ සිට වීම එයට හේතුවයි. විදේශිකයන් පවා මෙහි පැමිණ නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කළ බවට විවිධ තොරතුරු ඇතුවා සේම, දියතලාව රාජකීය සිරකරුවන්, කොටුවේ මල්වත්ත පාරේ කූඩාරම්වල රැස් වූවන් මේ උරුමයේ වගඋත්තරකරුවන් බව සිනමා ඉතිහාසය හදාරන අය නිසැකවම දනිති.

බැසිල් රයිට්ගේ ලංකා ගීතය සේම පළිගැනීම වැනි චිත්‍රපටද ආචාර්ය එන්. එම් පෙරේරා පවා රංගනයේ යෙදුණු රාජකීය වික්‍රමය වැනි නිර්මාණද කඩවුණු පොරොන්දුවට බොහෝ කලකට පෙර නිර්මාණය වූ එනම් 1920 දශකය තරම් දුරකට විහිදෙන සිනමා වංශකතාවක හිමිකම අපට ලබා දෙයි. ඒ කෙසේ වුවද කථානාද සිනමාවේ ආරම්භයේ සිට අද දක්වා අපේ රටේ ප්‍රදර්ශනය වුණු චිත්‍රපට සංඛ්‍යාව 1307ක් වුවත් අද වන විට ඒ අතරින් අප සතුව ඇත්තේ චිත්‍රපට 400කටත් අඩු තරම් සුළු සංඛ්‍යාවක් යැයි කීවොත් ඔබට කුමක් සිතේවිද? ඊට අමතරව රජයේ චිත්‍රපට අංශයෙන් රූගත කළ වාර්තා වැඩසටහන්, විවිධ පෞද්ගලික මට්ටමේ රූගත කිරීම් ආදිය පිළිබඳවද ක්‍රමවත් සටහනක් නොතිබීම නිසා අපට අපේ යැයි පෙන්වීමට ඇත්තේ බොඳ වූ සිනමා උරුමයක කොටස් පමණි.

මෙයට ප්‍රධාන හේතුව වූයේ චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ කිසිදු විධිමත් ක්‍රමවේදයක් හෝ අවබෝධයක් අප සතුව නොපැවතීමයි. පෞද්ගලික මට්ටමින් යම් යම් අය තම තමන්ට හැකි අයුරින් කෘති කීපයක් ආරක්ෂා කර ගත්තද එය අපේ සිනමා ඉතිහාසය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් වේද යන්න ගැටලුවකි. මේ තත්ත්වය දුටු සිනමා සක්විති පුත් ධම්මිත් ෆොන්සේකා (දමිත්)2017 වසරේ සිට සිනමා සංරක්ෂණ වැඩපිළිවෙළක අවශ්‍යතාව තහවුරු කරගෙන ඒ සඳහා මූලිකත්වය ගත්තේය. ඔහුට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සැලසුම් සංඛ්‍යාලේඛන සහ පුහුණු අංශයේද සහාය ඇතිව සිනමා සංරක්ෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට අවස්ථාව ලැබිණි. එහි එක් වැඩමුළුවක ප්‍රතිඵලය වශයෙන් සංස්ථාවේ සිනමා ගබඩාව විධිමත් වී ඇති අයුරු අපට දැක ගන්නට ලැබිණි. එසේම අකාරාදි පිළිවෙළට ලේඛනගත වුණු චිත්‍රපට නාමලේඛනයක් ඔස්සේ කෙටි කාලයකින් අදාළ චිත්‍රපටය නිසි රාක්කයක පවතීද යන්න සොයාගත හැකි මට්ටමට විධිමත් බවක් එහි දක්නට ලැබිණි. කුණු ගොඩක ස්වරූපයෙන් තිබූ ගබඩාව එළි පෙහෙළි වී ඇති අයුරු ඕනැම කෙනෙකුට දැකගන්නට හැකියාව ඇත.

සිනමා සංරක්ෂණය සඳහා දෙවැනි වැඩමුළුවක් ලබන 5,6,7 දිනවලදි නුවර, කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ පිළිබඳවද තොරතුරු විමසීමට අපි දමිත් ෆොන්සේකා හමුවීම සඳහා චිත්‍රපට සංස්ථාවට ගොඩ වැදුණෙමු. එහිදී අපට මුලින්ම හමු වූයේ මේ වැඩපිළිවෙලේ සම්බන්ධීකාරකය. ඔහු නමින් රවීන්ද්‍රලාල්ය. ඔහු සිනමා සංරක්ෂණය පිළිබඳ කීවේ මෙවැනි අදහසකි.

සිනමා උරුමය කියන්නේ චිත්‍රපටය, නළුනිළියන්, ඔවුන්ගේ තොරතුරු, දර්ශන තල, ඇඳුම් පැලඳුම්, ෂෝ කාඩ්ස්, පෝස්ටර්ස්, රසායනාගාර, භාවිත කළ උපකරණ ආදි සිනමාවට සම්බන්ධ සමස්ත දේවල්. කොහොම වුණත් සිනමා උරුමයක ප්‍රධාන සංඝටකය වන්නේ චිත්‍රපටය. ලංකාවේ අපි ඒ ප්‍රධාන දේ හෝ එයට අයත් අනෙක් අතුරු අංග කිසිවක් හෝ ආරක්ෂා කරලා නැහැ. ලෝකයෙන්ම සිනමා කර්මාන්තය අතින් වගේම සිනමා සංරක්ෂණය අතින් පවා ඉතාම පහළ අඩියක තමයි අපි ඉන්නෙ. ඒ නිසා දමිත් ෆොන්සේකා මහත්මයා මැදිහත්වෙලා අපට ඉන්දියාවේ ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන ආයතනය මඟින් චිත්‍රපට සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය සඳහා 2017 වසරේ චෙන්නායි, 2018 කල්කටාවල පැවැත්වුණු වැඩමුළුවලට අපේ රටේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන්, චිත්‍රපට සංස්ථාවෙන්, රජයේ චිත්‍රපට අංශයෙන් සහ වෙනමම පෞද්ගලිකවත් කීපදෙනකුට සහභාගී වෙන්න අවස්ථාව සලසා දුන්නා. ඒ ලබපු පුහුණුව හා අත්දැකීම් අනුව තමයි අපටත් මේ පිළිබඳ විධිමත් අවබෝධයක් ලැබුණේ. එය මෙහෙයවන්නේ අන්තර්ජාතික චිත්‍රපට සංරක්ෂකයන්ගේ සංගමය මඟින්. එයට ලොව පුරා සිනමා සංරක්ෂකයින් සම්බන්ධයි. ලෝකයේ සියලුම රටවලට සංරක්ෂණ ක්‍රම උපායන්, යාවත්කාලීන කිරීම්, ක්‍රමවේද, තාක්ෂණය සියල්ල සපයන්නේ ඒ ආයතනය. ඔවුන් සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය පිළිබඳ සම්පූර්ණ මාර්ගෝපදේශයක් දෙනවා යමෙකුට මුල ඉඳන් මෙය අරඹන්න. ප්‍රායෝගිකව චිත්‍රපටයක් සංරක්ෂණයට මෙහෙයවා ගන්නේ කොහොමද, රිවයින්ඩ් කරන්නේ කොහොමද, ඉතිහාසය, අමුද්‍රව්‍යවල රසායනික ගති ලක්ෂණ හඳුනා ගැනීම වගේම ප්‍රතිස්ථාපනයේදී ඩිජිටල් තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙනවා."

ඔහු තවදුරටත් සංරක්ෂණ මූලධර්ම පිළිබඳ අපට පවසයි. එහිදී අනාගතය වෙනුවෙන් යමක් රැක ගැනීම සංරක්ෂණය වන අතර එය අර්ථවත් වන්නේ ඉදිරි පරම්පරාවලට එය පරිහරණය කිරීමේ හැකියාවද තිබේනම් පමණි. එහිදී මූලික වශයෙන් රෙපෙයාර් හෙවත් පිළිසකර කිරීම හා ප්‍රිසර්වේෂන් හෙවත් ආරක්ෂණය වැදගත්ය. කොන්සර්වේෂන් යනු එම ද්‍රව්‍ය අනාගතය වෙනුවෙන් දිගු කාලීන සංරක්ෂණයයි. රෙස්ටොරේෂන් හෙවත් ප්‍රතිස්ථාපනය මඟින් අඩුපාඩු තිබේ නම් ඒවාට කළ හැකි පිළියම් යොදමින්, දිරාගිය කොටස් තවදුරටත් පවත්වා ගැනීමට හැකි භෞතික හා රසායනික ප්‍රතිකර්ම යොදා පවත්වා ගැනීමයි. සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව චිත්‍රපට සංරක්ෂණයේදි කරන්නේ සුළු රසායනික ප්‍රතිකාර යොදා අලුත් රීලයකට චිත්‍රපටය පිටපත් කරගැනීම බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් ඩිජිටල් යුගය හෙවත් අංකිත යුගය වන විට චිත්‍රපටය ස්කැන් කර ගත් රූප කොටස් අදාළ මෘදුකාංග භාවිතයෙන් ඉරුණු, ගැලවුණු කොටස්, අතරමැද හානියට ලක් වූ රූපරාමු පරිගණක ඇසුරින් අලුතින් යොදා සකස් කරමින්, සීරුණු තැන් මකා දමා, වර්ණ නිවැරදි කර සම්පූර්ණ චිත්‍රපටය බවට පත් කිරීමේ හැකියාව තිබේ. මේ සඳහා ෆීනික්ස් ෆිනිෂ්, ඩයමන්ඩ්, ඩාවින්සි රිෆයින් වැනි මෘදුකාංග භාවිත කළ හැකිය. චිත්‍රපටයේ තිත් ඉවත් කර සකසා අවශ්‍ය පමණට යළි තිත් යෙදීම වැනි ක්‍රම මඟින් මෙන්ම මුල් කෘතියේ වැරදීම් අඩුපාඩු, හඬපට ආදිය සකසා මුලින් තිබූ පිටපතට වඩා ගුණාත්මක පිටපතක් ලබා ගැනීමටද මේ ක්‍රම මඟින් හැකියාව තිබේ. එහෙත් ඒ සඳහා ස්කැන් කිරීමේ අංගෝපාංග තවමත් ලංකාවේ නැත. ඒවා ඉන්දියාවෙන් ගෙන්විය යුතුය.

රවීන්ද්‍රලාල් මෙසේද අපට පැවසුවේය.

"සිනමා උරුමය සුරැකීම යටතේ චිත්‍රපට සංස්ථාව පසුගිය වතාවේ කළ වැඩමුළුවේදී නයිට්‍රේට් සහිත වහා ගිනි ඇවිලෙන සුළු මට්ටමේ චිත්‍රපට රීල් 8ක් හමුවුණා. ඒවා සිලෝන් ෆිල්ම් යුනිට් එක නිදහසටත් පෙර සුද්දාගේ කාලේ හදපු ප්‍රවෘත්ති පට වගයක්. මිලියන 1.6ක් පමණ වියදම් වුණා මේවා සංරක්ෂණය සඳහා වැඩමුළුව පවත්වන්න. ඒත් අපතේ ගියේ නැහැ. මොකද මේ රීල් අටවත් ලැබුණානේ.

මෙවර වැඩමුළුවෙන් අපි කරන්නේ චිත්‍රපට උරුමය විදිහට පෝස්ටර්ස්, සිනමා ඵලක, සින්දුපොත්, වෙනත් පොත්, පුවත්පත් ලිපි වගේ කොළවල සඳහන් දේවල්, ඒ වගේම ඡායාරූපවලට අදාළ දේවල් සංරක්ෂණය. මෙතෙක් එවැන්නක් අපේ කිසිම ආයතනයක සිදුවෙලා නැහැ. මේ සඳහා ඉන්දියාවෙන් විශේෂඥයන් සම්පත් දායකයන් ලෙස සහභාගී වෙනවා. ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 6ක්,

දමිත් ෆොන්සේකාගෙන් අප මුලින්ම විමසුවේ සංරක්ෂණාගාරයක් සඳහා අවශ්‍ය ඉඩකඩ සකසා ගැනීම පිළිබඳවයි.

"චිත්‍රපට සංස්ථාවේ අපට තිබෙනවා රසායනාගාරයක්. ඉතා ව්‍යාකූල තත්ත්වයෙන් තිබුණු ගබඩාව විධිමත් කළේ ඒ ඉඩ නිසා. ඇත්තෙන්ම සේවිං ද ශ්‍රීලංකන් ෆිල්ම් හෙරිටේජ් කියන වැඩපිළිවෙලේ දෙවැනි සහ අවසන් වැඩමුළුව කීවත් හරි හෙට(5) ඉඳන් පටන් ගන්නා මේ වැඩමුළුව. මේ ක්ෂේත්‍රය තුළ සිටින අයට මෙහි වටිනාකම හඳුනා ගන්න, කැපවෙන කණ්ඩායමක් එකතු කරගැන්න සහ ප්‍රායෝගිකව වැඩපිළිවෙලට යොමු වීම සඳහා සභාපතිවරුන් තුන්දෙනකු සමඟ අපි මෙය ගෙන ගියා. මම ස්වේච්ඡාවෙන් මෙයට ඉදිරිපත් වුණේ. මම මුලින් එද්දි චිත්‍රපටවල නම් ලැයිස්තුවක්වත් මෙහි තිබුණෙ නැහැ. සභාපතිට විවිධ ලැයිස්තු ඉදිරිපත් කරනවා. සමහර චිත්‍රපටවල නම් තිබුණත් චිත්‍රපටය නැහැ. විධිමත්ව ඒ කටයුත්ත සිදු වීම සංස්ථාවේ වෙනත් කටයුතුවලට පවා පහසුවක් වුණා. ඒ නිසා මෙය සංරක්ෂණයට පමණක් සීමා වෙලා නැහැ. චිත්‍රපටයක් අන්තර්ජාතික වශයෙන් ප්‍රදර්ශනය කරනවා නම් ඒ වටා තිබෙන තොරතුරු අපට සොයා ගන්න නැහැ. හංසවිලක්, රේඛාව, තුන්වෙනි යාමය, වැලිකතර වැනි චිත්‍රපට පෙන්වද්දි එහි උරුමය සහ පසුබිම කියන්න දත්ත තොරතුරු කිසිවක් තිබුණෙත් නැහැ. චිත්‍රපට සංස්ථාවට වඩා බොහෝ විට පෞද්ගලික එකතුකරන්නන් ළඟ තිබෙනවා. අපේ වට්ස්ඇප් ගෲප් එකකුත් ඉන්නවා ගියවර වැඩමුළුවෙන් එකතුවෙලා. ඒ අය වුණත් තමන් ළඟ තිබෙන පෝස්ටර් ආදිය ඒ වට්ස්ඇප් පේජ් එකට දාද්දි ඒවා නිසි ක්‍රමවේදයකට අනුව සංරක්ෂණය කර නැති බව අපට වැටහුණා. සමහරුන්ගේ පින්තූර පුළුවන් විදිහට රාක්කවල නවලා තියලා. පත්තර වේයෝ කාලා. ඒකට ඒ අයට මුකුත් කියන්නත් බැහැ. නිෂ්පාදකයන් ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ගේ චිත්‍රපටයේ පෝස්ටර් ආදිය ලබා දී නැත්නම් ඒවා ඒ ආයතනවල රැඳෙන්නෙත් නැහැ."

මෙහිදී මට නිතැතින් නැඟුණු පැනය වූයේ පෞද්ගලික සංරක්ෂකයන් සිය කැමැත්තෙන් එකතු කරන මෙවැනි දේ ඇතැම් විට දරුමුණුපුරන්ට වටිනාකමක් දැනේද යන්නය. එයට දමිත් ෆොන්සේකා පැවසුවේ මෙවැන්නකි.

"අපේ ආයතනවල වුණත් එහෙම ක්‍රමවේදයක් නැති නිසා ඒ අයත් බයයි බාරදෙන්න. ඒ නිසා අපි හරි ක්‍රමවේදයක් හදලා තිබ්බාම ඒ අයටත් පහසුයි. ලෝකේ ප්‍රිසවේෂන් පැත්ත තමයි වැදගත් විදිහට සලකන්නේ. උදාහරණයකට ඉන්දියාවේ ප්‍රසාද් ස්ටූඩියෝ එක ස්කැනරයක් ගෙනත් අපේ චිත්‍රපට ටික සංරක්ෂණයට අදාළ කටයුතු කරන්න හැදුවා. ඒත් අපි තාමත් අප ළඟ තියෙන්නේ මොනවාද. නැත්තේ මොනවාද, තියෙන ඒවායේ තත්ත්වය කුමක්ද, ඉක්මනින් ස්කැන් කළ යුත්තේ මොනවාද වගේ කිසි තොරතුරක් තිබුණේ නැහැ. මේ දේවල් ඉවර වුණාට පසුවයි හරි දෙයක් කළ හැක්කේ. මෙච්චරකල් ප්‍රමාද වන්නේත් ඒවා හරියට නොවුණ නිසා. මම ඉන්දියාවේ ගිහින් එය ඉගෙන ගත්තේ මේ තත්ත්වයට හරියට මුහුණ දිය යුතු නිසා. හානියට පත් වුණු චිත්‍රපට ස්කැන් කරන ක්‍රම සහ හොඳ එවා ස්කැන් කරන විධි පවා වෙනස්. සමහරු හිතනවා අර මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගතකරගෙන වැඩකරන්න පුළුවන් කියලා. ඒත් හිතන තරම් මේ දේවල් ලේසිත් නැහැ.

ලෝකේ බොහෝ රටවල මිනිස්සු ගත්තාම තමන්ගේ සිනමා සංස්කෘතිය ගැන, සිනමා උරුමය පිළිබඳ හරිම සංවේදීයි. ඒත් අපේ රටේ එහෙම පිරිසක් නැහැ. සමහර විශ්වවිද්‍යාල සිසුන් පවා හිතුවේ සිනමා සංරක්ෂණය කියන්නේ පොතේ සටහනක් ලියාගෙන කරන්න පුළුවන් වැඩක් කියලා. මේක එහෙම දෙයක් නෙවෙයි. මහන්සියෙන් කළ යුතු ප්‍රායෝගික කටයුත්තක්. වැඩමුළුව සඳහා ඉන්දියාවෙන් ගිරිකුමාර් සහ ප්‍රිය කපුර් සහභාගී වෙන්නේ මගේ ඉල්ලීම මත නොමිලේ. ජ්ධ්ඒජ් කියන්නේ ඉන්ටනැෂනල් ෆෙඩරේෂන් ඔෆ් ෆිල්ම් ආකයිව්ස්. ලෝකෙම චිත්‍රපට සංරක්ෂණයට සියලුම තාක්ෂණය සහ දැනුම දෙන ආයතනය. අපේ සංස්ථාවට ඒ ආයතනයේ සාමාජිකත්වය දෙන්න මුලින් කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් අපි මේ වැඩමුළු ආදිය කරද්දි සාමාජිකත්වය ලැබුණා. චිත්‍රපට ස්කැනරයක් වුණත් තක්සේරු කරන්න අපට ඔවුන්ගෙන් උපකාර ලබා ගන්න පුළුවන්. ගියවර වැඩමුළුවට ආවේ ඩේවිඩ් වොල්ෂ් සහ මික් නියුන්හම් දෙදෙනා. ෂිවේන්ද්‍රසිං මහත්මයාට මේ කලාපයේ විධායක සාමාජිකත්වයට පත්වන්න අපේ වැඩමුළුත් හේතු වුණා. ලංකාවේ චිත්‍රපට තිබෙන්නේ චිත්‍රපට සංස්ථාවේත්, රජයේ චිත්‍රපට අංශයේ සහ පෞද්ගලික එකතු කරන්නන් අතරයි පමණයි. එහෙත් අවසානයේ මේ චිත්‍රපට සියල්ල ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ චිත්‍රපට කොටසට යා යුතුයි. එය විධිමත් කරන්න ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරනවා."

මෙහිදී සීතා දේවී චිත්‍රපටය දමිත් ෆොන්සේකාට විශේෂ වූ ආකාරය ද අපට ඔහු කීවේ මෙසේය.

"තාත්තා (ගාමිණි ෆොන්සේකා) ඉන්න චිත්‍රපටයක් තියෙනවා සීතාදේවී කියලා. ඒක තියෙන්නේ පෞද්ගලික සංරක්ෂකයෙක් ළඟ. ඔහු මගෙන් ඇහුවා සංස්ථාව හරහා එය සංරක්ෂණයට මොනවා හරි කළ හැකිද කියා. තාත්තා නිසාම නෙවෙයි මම ඒ ගැන හිතුවා පරණ චිත්‍රපටයක් නිසා. ඔය අතර කල්කටාවල වැඩමුළුවට මම සහභාගී වුණා. ඒකේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වුණේ මම්තා ශංකර් කියලා බොහොම පිළිගැනීමක් ඇති, රවි ශංකර්ලාගේත් නැදැකමක් සහිත නිළියක්. වැඩසටහන් ඉවරවෙලා ලංකාවේ කණ්ඩායම සමඟ ඒ මහත්මිය කතා කරද්දි කවුරුහරි කියලා තිබුණා මගේ තාත්තාත් චිත්‍රපට නළුවෙක් එහෙම කියලා. තාත්තගේ නම අහලා එයා හොඳට අඳුනනවානේ කියලා මට කතා කළා. පස්සේ මම ගිහින් ඇහුවාම එතුමිය බොහොම සතුටින් තාත්තා ගැනත් කතා කරලා කීවා සීතා දේවි චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ඇයයි කියලා. එතුමිය මගෙන් ඉල්ලනවා චිත්‍රපටයේ පිටපතක්. මට හම්බුණේ අරාබි උපසිරැසි සහිත දුර්වල ගුණාත්මක බවකින් යුතු එකක් විතරයි. ඉතින් මම්තා ශංකර් වැනි කලාත්මක සිනමාවේ ඉහළින් පිළිගැනෙන නිළියක අපේ රටේ චිත්‍රපටවල රඟපැවා කියන දේ අපේ සිනමා ඉතිහාසයට කොයිතරම් වටිනවාද? මේවා ජාතික උරුමයන් හැටියට රැකගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් ඇති කළ යුතුයි. මේ චිත්‍රපට මේ වෙද්දි අවුරුදු 127ක් ආයු වලඳලා තියෙනවා. තව කල් තියන්න පුළුවන් කියලත් කියනවා."

ඒ කල් තබා ගත හැකි ක්‍රමය පිළිබඳ ඔහු දැඩි අවධාරණයක් කළේ මෙසේය.

"අද තිබෙන ඩිජිටල් චිත්‍රපටවල මිලිමීටර 35 පිටපතක් නැත්නම් මොනවා වෙයි ද කියලා හිතා ගන්න බැහැ. මොකද ඒවාට තවම සංරක්ෂණ වැඩපිළිවෙළක් ලෝකෙම නැහැ. ආසන්නම ක්‍රමවේදය තමයි එල්ටීඕ (ලීනියර් ටේප් ඕපන්) පටයකට පිටපත් කරලා එය සංරක්ෂණය කිරීම. මොකද ඩිජිටල් ක්‍රමය, බ්ලූරේ ක්‍රමය පවා කල් පවතින ක්‍රම ලෙස දැන් පිළිගැනෙන්නේ නැහැ. එල්ටීඕ පිටපතත් වසර තිහකටයි කල් දෙන්නේ. මොකද වසර දහයෙන් දහයට අලුත් වර්ෂන් එකක් ඒ අය එළි දක්වනවා. ඒ ක්‍රමයට නොගියොත් පරණ වර්ෂන්වල පිටපත් කළ ඒවා කල් ඉකුත් වී බලන්න බැරි තත්ත්වයට පත්වෙනවා. ඒක ව්‍යාපාරික උගුලක්. ඊට ලේසියි අපේ දළුගම චිත්‍රාගාරයේ පරණ මෙෂිමෙන් පිටපතක් ගහගෙන තියාගන්න එක කියලත් හිතෙන තැනට දැන් කටයුතු යෙදිලා තියෙන්නේ. පටල පට නිෂ්පාදනය කරන්නේ නැති තත්ත්වයට පත් වුණු කොඩැක් ආයතනය එංගලන්තයෙන් ඉන්දියාවේ වැඩමුළුවට සහභාගී වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ඩ් කියන නළුවා වෙනුවෙන් පටල පට නිෂ්පාදනය කර දෙනවා. ටෂිඩා ඩීන් කියන සිනමාකාරිනියත් තවම කියනවා පටලපටවලින් චිත්‍රපට තැනිය යුතුයි කියන තර්කයේ ඉන්නවා. ටෂිඩා ඩීන්ගේ ස්වාමි පුරුෂයා සමඟ කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. පසුවෙනිදා ඔවුන් මහා සභාව මැද අපිව අගය කළා සංරක්ෂණය ගැන කටයුතු කරනවා කියලා. ඒ තරම් වටින කටයුත්තක් මෙය. ඒත් අපේ රටේ තවම ඒගැන අවබෝධයක් නැහැ."

අපේ රටේ සංරක්ෂණය පිළිබඳ කතා කරන විට හොලිවඩුඩය බොලිවුඩය සිටින්නේ කොතැනදැයි දැනගැනීම අපට ඉතා වැදගත්ය. දම්මිත් ෆොන්සේකාගේ ඒ කතාව අපට පුදුමයක් ගෙන ආවේය.

"ඉන්දියාවේත් සිනමා සංරක්ෂණය කියන්නේ අන්තිම ව්‍යාකූල දෙයක්. පී.කේ නායර් මහත්මයා තමයි මේ කලාපයේ මුලින්ම සංරක්ෂණය ගැන කියන්නෙ. ශිවෙන්ද්‍රසිං දුංගාපූර් කියන්නේ ඔහුගේ ගෝලයා. 2014 මම මේ ගැන සොයන්න ගන්නේ ඔහුගෙන්. ඒ කොහොම වුණත් ඉන්දියාවේ පළමුවෙනි නිහඬ චිත්‍රපටය පවා සුරැකිව තිබෙනවා. ටකරන් මඩුවකයි ඔහු සංරක්ෂණාගාරය පටන්ගෙන තිබෙන්නේ. ඉන්දියාවේ සමහර අය මැටියෙන් ශාලා හදලා පොල් අතු යටින් පොලිතින් දාලා තමයි චිත්‍රපට පෙන්නලා තිබෙන්නේ. අපේ රටේ සංරක්ෂණාගාරයක් හදන්න කියලා මුලින්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ 1956දි. කිසිම ආණ්ඩුවක් කණකටවත් ගන්නේ නැහැ. අදටත් එයට කවුරුත් එකඟ වුණාට කැපවීමට ලේසියෙන් කෙනෙක් එන්නේ නැහැ. මේ වෙනුවෙන් කැපවුණු පිරිසක් හදන්න අවශ්‍ය ඒ නිසයි. මේවායේ ප්‍රතිඵල දකිනවා ඇත්තේ අපේ පරම්පරාව නෙවෙයි. ලෝකය පුරාම සංරක්ෂණාගාරවලට මූල්‍ය අර්බුදයක් තිබෙනවා. ඒකට ව්‍යාපෘතියක් හදලා ෆියාෆ් ආයතනයට ඉදිරිපත් කළාම මුදල් දෙනවා. ඒත් ඒ ව්‍යාපෘති වාර්තාව අරගෙන අස්සන් ගන්න අපට වට කීපයක් යන්න වෙනවා. මට හමුවුණු සභාපතිවරුන් සහ වත්මන් සභාපතිනියත් සහයෝගය උපරිමයෙන් ලබා දෙනවා. ඒත් සමහර නිලධාරීන්ට තවමත් මේ ගැන අවබෝධයක් නැහැ. චිත්‍රපට රීල් මාස තුනකට වරක් රීවයින් විය යුතුයි. ඒකට විශ්‍රාම ගිය එක්කෙනෙක් විතරක් ඉඳලා මදි. නේපාලය වගේ රටවල දේශගුණය නිසා චිත්‍රපට නිකම්ම රැකෙනවා. අපේ එහෙම බැහැ. මුලින්ම මම වැඩමුළුවට සහභාගී වුණාම මගේ ඔළුවත් අවුල් වුණා කොතනින් පටන්ගන්නද කියලා. ඒත් පස්සේ පටන් ගත් දේ දැන් අවුරුදු දෙකහමාරක් පුරා සාර්ථකව කරගෙන එනවා. තිස්ස නාගොඩවිතාන සහ කණ්ඩම්බි වගේ අය අපි අගය කළ යුතුයි පෞද්ගලිකව කරගෙන යන සේවයටත්."

කතාබහ අතරතුර අපි සංරක්ෂණාගාරය නිරීක්ෂණය කළෙමු. එහි වැරදීමකින් හෝ බිම චිත්‍රපට කැනයක් දුටුවහොත් දමිත් ෆොන්සේකාගේ වචනවල ආවේගශීලිබව දැඩි වේ. එනිසා හැකිතාක් පිළිවෙල එහි පවත්වා ගැනීමට සමන් කුමාර, ජයන්ත ධර්මසිරි, සුනෙත් සංජීව, චමින්ද සම්පත් සහ කැළුම් ප්‍රසාද් උනන්දුවන අයුරු කැමරා ඇසටද හසු විය. ඒ අතර මගේ අවසන් පැනයට දමිත් ෆොන්සේකාගෙන් ලැබුණේ මෙවන් ඉල්ලීමකි.

"චිත්‍රපටවලට අදාළ පෝස්ටර්ස්, පින්තූර, පොත් ආදිය තිබෙනවා නම් යම් කෙනෙක් ළඟ අප සමඟ එකතු වෙලා සංරක්ෂණය කරන්න ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍රපට සංස්ථාවේ සංරක්ෂණ ඒකකයට බාර දෙන්නත් පුළුවන්. තවම ඒ ගොඩනැඟිලි කටයුතු කරගෙන යනවා. ලැබෙන ආධාර නිසි විදිහට පරිහරණය කරලා ඉක්මනින් ඒ කටයුතු ඉටුවෙනවා නම් හොඳයි. නැත්නම් මම පොල්කට්ටක් අරගෙන ජනාධිපති අරමුදලට හරි මේ වෙනුවෙන් යන්න ලැස්තියි"

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.