තරු පලඳා මුතු පලඳා

ජූලි 4, 2019

කොළඹ සිට, ඈත සිද්ධාස්ථාන ගම් පියසකට තරුණ තරුණියන් කණ්ඩායමක් එන්නේ කොළඹ ජීවිතයෙන් හෙම්බත් වී, කිසියම් අස්වැසිල්ලක් ලබන්නටය. මෙහී තරුණයන් තිදෙනෙකුත්,තරුණියන් තිදෙනෙකුත් සිටියහ.

"රන්මාල රන්තෝඩු රන්දා තබා 
රන්වන් සිනාවේ මෙ ජීව්තේ 
පින්සාර, සීදේවි මල් මාවතේ 
පාවෙ ලා යතේ 
ආදරේ, පවන් සැලේ මේ වන පෙතේ 
ජීවිතේ නිසංසලේ පාවී යතේ යතේ"

මොවුන් මෙහී නටබුන් ඇති පෙදෙසක කුඩාරම් ගැසීය. එච්.එම්. ජී. ප්‍රනාන්දුගෙ තිරනාටකයට සැකසුණු, සේන සමරසිංහගේ "ඈතින් ඈතට" චිත්‍රපටය ආරම්භ වූයේ එසේ ශ්‍යාමි ෆොන්සේකා ගයන ගීයකින්ය. "සදහටම ඔබ මගේ" චිත්‍රපටයෙන් පටන් ගත් සේන සමරසිංහගේ චිත්‍රපට චාරිකාව, 'කස්තුරි සුවඳ' 'නිල්ල සොයා', 'ආශා දෑසින්', 'චංචල රේඛා', 'මල් කැකුළු' තෙක් ගාමිණී ෆොන්සේකා සමඟ පැමිණ පසුව ගාමිණීව අතහැර සේන විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටයය මේ "ඈතින් ඈතට".

නෙළුම් මෙහි කථා නායිකාවය. ඇයව මේ කණ්ඩායමට හමුවන්නේ මෙම ගම්මානයේදීය.

නෙළුම් චිත්‍රපටයට එකතු වන්නේ නීලා වික්‍රමසිංහ ගැයූ ඒ ගී කණ්ඩය හරහාය.

නෙළුම් ජීවත් වූයේ ඇඟේ මව සමඟය. කුඩා කල සිටම ඇයව සිරිමල් නම් ඔවුනගේ නෑදෑයෙකුට තීන්දු කර තිබුණි. සිරිමල් යනු මැරයෙකි. සල්ලාලයෙකි. නෙළුම් වැඩිවියට පත්ව යමක් කමක් තේරුම් යන වයසට පැමිණු පසු ඇය සිරිමල්ට කැමති වූයේ නැත. එහෙත් ගෙදරින් එය තීන්දු කර ඇති හෙයින් ඇයට කිසිවක් කර කියා ගැන්මට නො හැකි විය.

විමලේ රැකියාවක් වශයෙන් කරන්නේ මොනවාදැයි නම් හරි නිනව්වක් නැත. පාරුවක් අරන් ගඟේ එහා මෙහා යන හෙයින් ඔහු ඔරු කාරයෙක් යැයි සිතිය හැකිය. ගඟේ මාළු අල්ලා විකුණන්නෙක් යයිද සිතිය හැකිය. විමලේ නෙළුම් ගැන මහමෙර තරමට බලාපොරොත්තු තබාගෙන සිටියේය. ඔහු නෙළුම්ගෙන් කීප වතාවක්ම ඒ ගැන ඇසුවද, ඇය කීවේ තමන්ට එවැනි දෙයක් ගැන සිතීමට දැන්ම නොහැකි බවය. කවදා හෝ හි⁣තන දවසකට තමා ගැන සිතන ලෙස විමලේ ඇයට කීය.

සේන සමරසිංහ තම චිත්‍රපටය තුළින් වැඩි ඉඩකඩක් දෙන්නට උත්සහා කළේ විමලෙ ගේ චරිතයටය. එච්.එම්.ජී. ප්‍රනාන්දුගේ තිර නාටකය තුළින් විමලෙ නෙළුම් වෙත දක්වන අව්‍යජ්‍ය ආදරය හැම විටම උලුප්පා පෙන්විය.

නෙළුම් ගේ චරිතය පුරාවටම නැගුණු මේ කථාව තුළ සියුම් මෙන්ම රළු පැතිද, විටින් විට ස්පර්ශ විය. නෙළුම්ට ලොකු 'ඩිමාන්ඩ්' එකක් ආවේ නම් අර කොළඹින් තරුණ තරුණියන් පැමිණුණාට පසුවය.

චන්දන හා පාලිත එහී සිටි කඩවසම් තරුණයන් දෙදෙනාය. ඔවුන් වෙන් වෙන් වශයෙන් නෙළුම්ට ඇල්මක් දක්වන්නට විය. කොළඹ ජීවිතයෙන් මිදී අස්වැසිල්ලක් ලබන්නට පැමිණි ඔවුනට, පිණි ඉහිරුණු පිච්ච මලක් බඳු නෙළුම් ගේ රුව හා ඇයගේ හුරතල් දඟකාර කම ඉමහත් අස්වැසිල්ලක්ම විය.

ගාමිණීල, මාලනීල, ෆරිනලා, බන්ධුල දමාගෙන තමාගේ චිත්‍රපටවලට හොඳ ගැම්මක් ගත් සේන සමරසිංහ කොස්තා,හඟවත්ත,හරිස්, රසාදරී, අනුෂ්කා, චන්දි රසිකා වැනි ජනප්‍රිය තලයේ නොමැති නළු නිළි රෑනක් සමඟින් චිත්‍රපටයක් කිරීම එක්තරා අන්දමක විශාල අභියෝගයකි.

අනෝමා මෙම කණ්ඩායම සොයා පැමිණියේ නෙළුම් තරුණයන් තිදෙනෙකුගේ ආදරයට මැදි වී සිටින අතෙර්ය. අනෝමාද මෙම කන්ඩායමේ සිටි කෙනෙක් වුවද, ඇය හා පාලිත අතර තිබූ ඇසුර තුළ පැන නැගුණු විරසකයක් නිසා ඇය මුලින් මෙයට එකතු වූයේ නැත. එහෙත් පසුව ඇය ඔවුන් සොයා පැමිණියාය. මොවුන් නවාතැන් ගෙන සිටි ගල්ලෙනවල් සොයා ගිය ඇයට මුලින්ම හමුවූ ගල් ලෙනක සිටියේ තාපසයෙකි. එය චිත්‍රපටයේ අතුරු චරිතයකි. ඇත්තටම ඒ තාපස චරිතයෙන් චිත්‍රපටයෙ කථාවට එතරම් බලපෑමක් සිදුවූයේ නැත. එහෙත් තිර කථා රචක එච්.එම්.ජී විසින් චිත්‍රපටයට තවත් පුංචි කථාවක් එකතු කර තිබුණී. ඒ මේ තාපසයාත්, ඔහුව බලන්නට කාර් රථයකින් එන ඔහුගේ බිරිඳ හා දරුවා සමඟින්ය. තාපසයාගේ බිරිඳ එකල ඔවුන් පවුලක්ව සිටි සමයේ , වෙනත් අයෙක් සමඟ අනියම් සම්බන්ධ කමක් ඇති කර ගෙන තිබුණි. මෙය ඔහුට අසුවී ,ඇතිවූ කලකිරීම නිසා ඔහු බිරිඳත්, දරුවාත් අතහැර මේ ගල්ලෙනට පැමිණ ජිවිතයේ සත්‍ය සොයා තපස්දම් පුරවන්නට විය. බිරිඳට තමා කළ වරද අවබෝධ වී සතියකට වරක් තම දරුවාත් සමඟ තාපසයාව බලන්නට එන්නේ කෑම බීමද රැගෙනය. ඒ ඔහුගෙන් සමාව බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු ඇය සමඟ වචනයක් වත් දොඩවන්නේ නැත. මෙය එදා ගල්ලෙනට පැමිණී අනෝමා දකී.

සේනගේ 'ඈතින් ඈතට' තුළින් සේන තරමක් අතරමං වූ බවක් ඇතැම් විට පෙනුනි. එහෙත් ඔහු තමන්ට කියන්නට උවමනා වී තිබු දෙය තුළට අර ඔහුගේ චිරාගත සම්ප්‍රදාය ඇතුළත් කෙරීය. එහෙයින් අර අතරමං වීම දැඩිව ප්‍රේක්ෂකයාට දැණුනේ නැත.

විමලෙ, චන්දන, පාලිත, තිදෙනාම නෙළුම්ව ලබා ගැනීමේ උත්සහයක නිරත විය. නෙළුම්ද ඔවුන් සමග කුලුපඟව සිටියද, තමාව සිරිමල්ට තීන්දු කර ඇති බවක් ඇය ඔවුනට ඇඟවිය. එය ඇගේ මවද එදා පන්සලේදී විමලේ ඇගේ පස්සෙන් දැවටෙන විට එය තහවුරු කළාය. එදා පන්සලට විමලෙ පමණක් නොව, පාලිතත්, චන්දනත්, අනෝමත්, ඔවුන්ගේ කණ්ඩායමත් පැමිණ සිටියහ.

'බෝධියේ විහාරයේ 
පිදූ පියුම් වැනි වූ 
බාලිකා ලොව මැලවුණුදා 
මුළු ලොවටම රෑ වෙනවා 
ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳීනා 
ඒ සිනා මා බොළද නෙතේ 
උණු කඳුලක් කරනු එපා"

සිරිමල්ගේ චරිතය කථාව තුළට කඩා වැටෙන්නේ ඔය අතරෙදීය. කොළඹින් ආ මහත්වරුන් නෙළුම්ට බැල්ම දාන බව දැන ගත් සිරිමල් ,චන්දන හා පාලිත ළඟ චැලෙන්ජ් කරන්නට ගොස් ඔවුන්ගෙන් අම්බානෙකට ගුටි කයි. සිරිමල්, පාලිත හා චන්දන⁣ ඇතුළු ඔවුනගේ කණ්ඩායම හා වෛර බඳීන්නේ එතනින් පසුවය. නෙළුම්ද කෙළින්ම සිරිමල්ට කියන්නේ ඇය ඔහුට කැමති නැති බවය. මේ සියල්ලන්ගෙන්ම පළිගත යුතුයැයි සිරිමල් තීරණය කරන්නේ ඉන්පසුවය.

ගමේ සිටින මැර කණ්ඩායමේ සගයෙකි සිරිමල්. මොවුන් සියල්ලන්ගෙන්ම පළිගන්නට ඔහු මැර කණ්ඩායමේ උදව් ඉල්ලයි. සිරිමල් ඇතුළු කණ්ඩායම මීට පෙර ගමේ ගැහැණු ළමයෙක්ව දූෂණය කරා මරා දමා වැවේ පාකර හැර 'පාවෙනවෝ පාවෙනවෝ' කියා කෑ ගසමින් ගම්මුන්ව එතැනට ගෙන්වා ගෙන මෙහෙම දේවල් සිද්ධ වන්නේ කොළඹ අය පැමිණ කුඩාරම් ගසා ගත් පසුව යැයි අඟවන්නට උත්සහා කළහ. එහෙත් ඒ කිසිවකට ගම්මු කලබල වූ වගක් නම් පෙනෙන්ට නොතිබුණි.

නෙළුම් ගේ මව අසනීප ⁣වෙන්නේ මේ අතරේදීය. චන්දන නෙළුම්ගේ මවගේ අසනීපය බලන්නට නිවසට පැමිණේ. තමාගේ කුඩාරමේ බෙහෙත් පෙති තිබෙන බවත්, අවශ්‍ය නම් ඒවා ගෙනත් දෙන්නට හැකි බවත් චන්දන කියයි. එහෙත් නෙළුම්ගේ මව කීවේ ඇය වෙනිවැල් ගැට, කොත්තමල්ලී බී පසු, මෙම ලෙඩ ගතිය මග හැරෙන බවකි. බෙහෙත් පෙති කථාව එවේලේ,යට ගියද,එම බෙහෙත් පෙතිම පසුව විශාල විනාසයකට තුඩුවන බවක් කිසිවෙක් දැන සිටියේ නැත.

එක් මධ්‍යම රාත්‍රියක නෙළුම්ගේ මවගේ අසනීපය උග්‍ර අතට හැරුණි. නෙළුම්ට හදිසියේම චන්දන කියූ පෙති මතක් විය. ඇය ඒ මහ රෑම චන්දනලා කුඩාරම් ගසා සිටි ලෙන වෙතට ගියාය. ඒ වන විට එහී මත් පැන් සාදයකි. නෙළුම් රාත්‍රියේ ගඟ අයිනින් එන විට එම රාත්‍රියේ ගඟ අසබඩ සිරිමල් හා ඔහුගේ සහචරයෝ සිටියහ. ඔවුන් නෙළුම් යනවා දුටුවද, නෙළුම් ඔවුන්ව දුටුවේ නැත. නෙළුම් යන්නේ කොළඹ මහත්වරුන් සොයා බව සිරිමල් නිගමනය කළේය. ගිය කෙනා නැවත ආ යුතුය. නෙළුම්ගෙන් පළි ගැනීමට හොඳම අවස්ථාව මෙය යයි සිරිමල්ට සිතුණි. ඔහු එතැන සිටි ඔහුගේ මැරකල්ලියටද මේ බව කීය. ඔවුන් සියල්ලම නෙළුම් නැවත ගඟ අසලින් එන තෙක් සැඟවී බලා සිටියහ.

සේනගේ 'ඈතින් ඈතට' චිත්‍රපටයේ උච්චතම අවස්ථාව මෙය විය. නෙළුම් බෙහෙත් පෙති ඉල්ලාගෙන නැවත යන්නට සැරසෙන විට, එතැන සිටි, චන්දන, පාලිත, විමලේ ඒ සියල්ලම වෙන් වෙන්ව නෙළුම්ව හැරලන්නට උත්සහ ගත්තද, නෙළුම් අකමැති වූයේ ඒ වන විටත් ඔවුන් සියල්ලම මත්පැන් ගෙන සිටි නිසාය. නෙළුම් ඔවුන් සියල්ලෙන්ගෙන්ම මිදී බෙහෙත් පෙතිත් ගෙන නැවත ගඟ පෙදෙසින් තනිවම නිවස බලා පිටත් විය.

සහචරයෝ ටික ගඟ ළඟ සැඟවී සිටි බව ප්‍රේක්ෂකයන් දනී. පුදුම වැඩේ යනු චන්දන, පාලිත, විමලේ, තිදෙනාම නෙළුම්ට පන මෙන් ආදරය කළද,නෙළුම් ඒඅවස්ථාවේ ඔවුන් ඇය සමඟ යෑම ප්‍රතික්ෂේප කළද, ඔවුන් තිදෙනා ඇය කැටුව බලෙන් හෝ නොගිය එකය. එච්.එම්.ජී. ප්‍රනාන්දු තම තිරනාටකය තුළ 'ත්‍රිල්', එකක් ඇති කිරීමට ඇතැම් විට එසේ කරන්නට ඇත. එය යථාර්ථයට වඩා 'ත්‍රිලින් ෆැන්ටැසියට' තැනක් දෙන්නට ගත් වෑයමක්ද විය හැකිය.

මුව පැටියා, සිංහ රෑනකට අසුවූවාක් මෙන් නෙළුම්ව ,මැරයන් රෑනකට අසුවිය. සිරිමල්ට උවමනා වූයේ ඇයව දුෂණය කිරීමටය. එහෙයින් ඇයව මුලින්ම අල්ලාගත්තේ, සිරිමල්ය. සිරිමල්ට හැකි වුයේ ඇයව පෙරළාගැන්මට පමණි. සිරිමල්ගේම සහචරයෙක් සිරිමල්ට වෙඩි තැබීය. ඒ වෙඩි පහරින් සිරිමල් මිය ගියේය. සහචරයා මීට පෙරත් ගමේ කෙල්ලන්ව අතවර කර මරා ගඟට දමා 'පාවෙනවෝ, පාවෙනවෝ' කියා කෑ ගැසූ එකාය.

නෙළුම්ට සිහි නැතිවී නැවත ඇස් අරින විට එළිය වැටී තිබුණි. ඈ වහා නිවසට දුව ගියාය. ඒ වන විට ඇගේ මව මිය ගොස් තිබුණි. 'ඈතින් ඈතට' ඛේදවාචකයකට හැරුණේ මෙතැන් සිටය.

ටික කලෙකින් නෙළුම්ගෙ කුසේ දරුවෙක් පිළිසිදී ඇති බව සියල්ලෝම දැන ගති. නෙළුම් හිතුවේ සියල්ලෝම ඇයව පිළිකුල් කෙරෙනු ඇතැයි කියාය. එහෙත් සියල්ලෝම ඇයට අනුකම්පා කළෝය.

නෙළුම්ගේ කුසට දරුවෙක් පිළිසිදුනේ චන්දන නිසා යැයි අනෙක් අය සිතුහ. ඇතැම් අය පාලිතව සැකකළහ. විමලෙවද සැක කළහ. මේ හේතුව නිසා ඔවුනොවුන් අතර ගුටිබැට,ඇනගන්නට විය. අවසානයේදී එම සිදුවීම සිදුවුයේ කාගෙන්ද, හා සිදුවූ ආකාරය ඇය ඔවුන් සියල්ලටම කීවාය. පසුව සිදුවූයේ මැරයන් සමඟ චන්දන ඇතුළු කැලගේ ගුටි හුවමාරුවය. නෙළුම් ද අතට අහුවුණු හබල් ගහන පිත්තකින් ඇයව දූෂණය කළ මැරයාට හොඳ හැටි ගසා ඔහුව නොමරා මැරු⁣වාය. ගුටි බැට හුවමාරුවෙන් මැරයෝ සම්පූර්ණයෙන්ම අඩ පන ⁣විය. වෙන චිත්‍රපටවල මෙන් පොලීසිය නම් අවසන් මොහොතේ පැමිණියේ නැත. චන්දනල, නෙළුම්ල, විමලෙල ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්න ඒ ගොල්ලොම විසඳා ගන්නා බවකි පෙනුණේ.

නෙළුම් ව අසරණ කරන්නට කව්රුත් කැමති වූයේ නැත. කුසේ දරා සිටින දරුවා සමඟින්ම තිදෙනාම ඇයව භාර ගන්නට කැමති විය.

"කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා 
පායනා තරුවේ 
තරු පලදා, මුතු පලදා, තරු මුතු වැල් පලදා 
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා 
පායනා තරුවේ"

අවසානයේ ගමේ වරකා අයිති ගමේ කපුටන්ට කීවාක් මෙන් නෙළුම් නැවතුනේ විමලෙ ලඟය. චන්දන,පාලිත, අනෝමා ඇතුළු පිරිස කොළඹ බලා පිටත් විය. නෙළුම්ට අනුකම්පා කර තිදෙනෙක්ම නෙළුම්ව භාර ගන්නට ඉදිරිපත් වූවා නම් තමාට තමාගේ බිරිඳට සමාව දී බිරිඳව හා දරුවාව භාර ගැන්මට නොහැකි ඇයිදැයි කල්පනා කළ තාපසයාද තමාගේ තවුස්දම් අත හැර තම බිරිඳ සමඟ එක්විය. ඒ සේන සමරසිංහගේ චිරාගත සම්ප්‍රදායයි. ඕවට අපට කිසි දෙයක් කීමට නොහැකිය.

රසාදරි ෆොන්සේකා නෙළුම් ලෙසත්, කරුණාරත්න හඟවත්ත, චන්දන ලෙසත් ,විමල් කුමාර ද කොස්තා, විමලෙ ලෙසත් "ඈතින් ඈතට" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ දුනි. පාලිත වූයේ හරිස් ජයරත්නය. අනුෂ්කා මැදිවක අනෝමා වූ අතර, සිරිමල් වූයේ රිචඩ් වීරක්කොඩිය. අනෝමාගේ චරිතය චිත්‍රපටයට එක් කළේ කුමකටදැයි මා අදත් කල්පනා කරමි. අනුෂ්කා මැදිවක එකල ලද නැවුම් ජනප්‍රියතාවය නිසා චරිතයක් මවා දී ඇයව එක් කර ගැන්මට උවමනා නිසා, සේන සමරසිංහ විසින් අනෝමාගේ චරිතය බලෙන් ඈදා ගත් බවය දැනුණේ.

සේනක පෙරේරා, ශාන්ති ලේඛා, සීතා කුමාරි, චන්දි රසිකා, රොනී ලීච්, යැස්මින් ෆොන්සේකා, මර්සියා ෆොන්සේකා, සිසිර කුමාරතුංග, ජී.ගුණවර්ධන, සෙසු චරිත රඟපෑහ. තාපසයාගේ චරිතය රඟපෑවේ වේහැල්ලේ පියතිලකය. සියල්ලෝම ඔහේ රඟපෑවෝය. අපිත් ඔහේ බලා සිටියෙමු. මීට වඩා හොඳට සාමාන්‍ය ජීවිතයේදී අපි රඟපානවා යයි නිකමට මෙන් අපිට සිතුණි.

සරත් දසනායකගේ සංගීතයට ,නීලා වික්‍රමසිංහ, මිල්ටන් මල්ලවආරච්චි ,ප්‍රියා සුරියසේන, ෂ්‍යාමි ෆොන්සේකා, එම්.එස්.මිස්කින්, ලස්සන ගීත කීපයක් ගායනා කළහ.

"ඈතින් ඈතට" 1984 වර්ෂයේ සරසවිය සම්මාන වලටද පාත්‍ර විය. ඒ 'හොඳම ගායකයා ලෙස 'කැන්දන් යන්නම් රන් මල් මාලා' ගීතය ගැයූ මිල්ටන් මල්ලවආරච්චිට හා හොඳම ගායිකාව ලෙස 'බෝධියේ විහාරයේ' ගීතය ගැයූ නීලා වික්‍රමසිංහමටය.

1983 මැයි 6 වෙනි දින තිරගත කිරීම ආරම්භ කෙරූ 'ඈතින් ඈතට' චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය චිත්‍රපටයක් විය. පියසේනද සිල්වා සමඟ සේන සමරසිංහ හවුල්ව මෙය නිෂ්පාදනය කළහ. සුපුරුදු ලෙස ගාමිණි ෆොන්සේකාගේ රංගනයෙන් මෙවර බැහැරවු සේන සමරසිංහ තම චිත්‍රපට රටාව, වෙනස් කර වානිජ්‍ය ධාරාවේ නොමැති නළු නිළියන් සමඟින් 'ඈතින් ඈතට' වැනි චිත්‍රපටයක් ජනප්‍රිය කරවන්නට ගත් අභියෝගය, ඔහු විසින් සාර්ථකව ජය ගැනීම මෙහී විශේෂත්වය විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.