අසමසම නිධානය

ජුනි 27, 2019

අයිරින්, විලී අබේනායක වැනි රළු මිනිසෙකු සමඟ විවාහ වන්නට තීරණය කිරීම පසු පස හේතු ගණනාවක් තිබුණි. අයිරින්ගේ වචනයෙන්ම කිවහොත් විලී අබේනායක තරමක් වයස කොන්ඩය තැනින් තැන පැහුණු කෙනෙක් ය. එහෙයින් පැහැදිලිවම හැඟෙනුයේ තාරුණ්‍ය පියමං කර ගොස් ඇති විලීට අයිරින් කැමති නැති බවයි.

අයිරින් ට හිටියේ තම මව පමණි. ඇයගේ පියා මිය ගොසිනි. ඔවුන් ජීවත් වූ නිවසද අයිතිව තිබුණේ ඇයගේ මවගේ සොහොයුරෙකුටය. බැලූ බැල්මට ඔවුනට ජීවත් වීමට ආදායමක් ලැබෙන බවක් නම් නැත. එතැන දරිද්‍රතාවය තිබුණි. නිවැරදි හේතුව එයයි.

විලී අබේනායක ප්‍රභූවරයෙකි. ඔහු ට විශාල ධනස්කන්දයක් ඇත. ඇතැම් විට අයිරින් විලීට කැමතිවෙන්නට ඇත්තේ ඔවුනගේ ජීවිත විලීගේ ධනස්කන්දයෙන්, ගොඩ ඒමක් ඇති වන නිසා වන්නට ඇත. විලී විශාල ණය ගොඩකට පැටලී ඇති බවක් නම් අයිරින් දැනගෙන සිටියේ නැත. අන් අතකට අයිරින්ව විලී විවාහ කරගන්නට යන්නේ වෙනයම් කරුණක් නිසා බවද අයිරින් දැන සිටියේ නැත. දෙදෙනාම ,දෙදෙනා රවටා ගෙන ඇති බවක් නම් පෙනුනි.

ජී.බී.සේනානායක තම කෙටිකථාව ලීවේ එය මතුයම් දිනයක චිත්‍රපටයක් කරාවි යැයි, සිහිනෙකින්වත් සිතා නම් නොවේ. ඔහුට අවශ්‍ය වූයේ විලී අබේනායකගේ ආත්ම කථනය විලී ට දැනෙන ලෙස විලී හරහාම පැවසීමටය.

ජී.බී.සේනානායක විලී ගැන කියන්නට උත්සහා ගත්තද,ලෙස්ටර් ජේම්ස්ගේ චිත්‍රපටය තුළින් විලී අබේනායක ගේ චරිතය අබිබවා නැගී සිටියේ විලී නොව අයිරින් හා අයිරින්ගේ සිත තුළ ඇතිවෙන නොසන්සුන්තාවයයි.

ජී.බී.සේනානායකගේ කෙටි කථාව කියවන පාඨකයාත්, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාත් විලී ගැන දන්නා තරමවත්, අයිරින් දැනගෙන සිටියේ නැත. අවම වශයෙන් එම පාඨක හා ප්‍රේක්ෂකයා, අයිරින් ගැන දන්නා තරම්වත් අයිරින් දැනගෙන සිටියේ නැත. තමා විශාල රැවටීමකට අසුවී ඇති බවක් වත් අයිරින් දැනගෙන සිටියේ නැත.

තාන්න, මාන්න, සැප සම්පත් බලාපොරොත්තුවෙන් පැමිණුනු අයිරින්ට සිදුවූයේ පැටලෙන නූල් බෝලයක් තුල පැටලී යන්නටය.

මේ කෙටි කථාව තුළ ගැබ්වූ ඉතාම සුළු සිදුවීම , වෘත්තාන්ත චිත්‍රපටයකට නැංවීම නම් එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙයින් ලෙස්ටර් මෙහී තිරනාටකය ලිවීමට භාර කළේ තිස්ස අබේසේකරටය. තිස්ස ලෙස්ටර්ව පහසු කෙරුවා පමණක් නොව, එය තිස්ස අතින් ලියවුණු විශිෂ්ටතම තිර නාටකයද විය.

තිස්ස අතින් නැවත ඉපදුණු අයිරින් එතරම්ම ප්‍රබල වූයේ අයිරින්ගේ අධ්‍යාත්මය තිස්ස හොඳ හැටි හඳුනා ගෙන තිබූ නිසාය. යස ඉසුරින් පිරුණු ජීවිතයක් බලාපොරොත්තු වී පැමණුනු අයිරින්ට සිදුවූයේ, ඇය කිසිසේත් නොසිතූ දෙයකි. තමා ආ ගෙයද සින්න වෙන්නට යන බවක් දැනුණු පසු ඇයගෙ චින්ත වේගය කෙතරම් වේද?

ජී.බී.සේනානායක ගේ කෙටිකථාව පුරාවටම අයිරින් යනු ඉතාමත් සානුකම්පිත චරිතයකි. ඇය කිසිවක් නොදැන විලී හා පැමිණියාය. කිසිවක් නොදැන විලී හා ජීවත් වූවාය. එලෙසම කිසිවක් නොදැන විලී අතින් මියගියාය.

'මේ ගෙදර අයිරින් ඉන්නෙ හරියට පෝරකයට නියම වුණු ගැහැනියක් වගේ" වරක් විලී කියන්නේ අයිරින්ට මෙම විශාල පරණ වලව්ව තුළ ජිවත් වෙන්න⁣ට සිදුවූ ආකාරය ගැන සිතාය. නමුත් අයිරින්ව එලෙස පෝරකයට නියම කර තිබෙන්නේ විලී විසින්මය. සියලු අසාධාරණකම් සිදුවූයේද අයිරින්ටය. විවාහ වූවද කිසිදු කායික සම්බන්ධ කමක් ගෙන යාමට විලී උත්සුක නොවීමද අයිරින්ට විශාල ගැටලුවක් විය. අන් අතකට, ඔහු හා කිසිවක් ඇසීමට , කථා කිරීමට නොහැකිය. කිසිදු අනුකම්පාවක් නොදක්වා ඔහු අයිරින්ට සැර පරුෂ ලෙස කථා කරයි. විවාහ වී පැමිණිය දා, නිවසේ වැඩ කරන වයසක ජුවානිස් දැක අයිරින් කීවේ ඔහු ව දකින ව්ට තමාගේ පියාව මතක් වෙන බවය. එහෙත් විලී ඇයට තරවටු කළේ එවන් දෙයක් ඔහුට නොකියන ලෙසය. මේ මිනිහා මොන තරම් මාන්නක්කාරයෙක් දැයි අයිරින්ට සිතුණේ එවෙලේය. මේ මිනිසා සමඟ ජීවත් වීම එතරම් පහසු වෙන්නේ නැති බව අයිරින්ට වැටහුණි.

"මොනරගේ නියම ස්වභාවය තියෙන්නෙ මොණර පිල් වල නෙමෙයි. උගේ මූසල කට හඩේ. ඒ හඩට නයින්ගෙ බිත්තර පවා පිපිරෙනවා"

විලීගේ මොනර කූඩුවේ සිටින මොණරාට තම අතින් කෑම දෙන්නට උත්සහ කරන අයිරින් ළඟට ගොස් විලී එසේ කීවේ ඇයගේ සිත සලිත කිරීමට විය හැකිය.

"මේ මොණරා බොහොම නපුරු සතෙක්. ඌ උගේ කූඩුවේම ඉන්න උගේ ගෑනු සතාව බෙල්ලට කොටලම මරලා දැම්මා. තමන්ගෙම ගැනු සතාව මරලා දාන්න ඌ මොන තරම් දරුණු සතෙක් වෙන්න ඕනද? " විලී මොනර කූඩුව ලඟ සිටින අයිරින්ට කීවේ එවැනි කථාමය.

අයිරින් සිතුවේ මොනරා ගැනය. එහෙත් විලී කිව්වෙ ඉදිරියට සිද්ධ වෙන්න යන දේ ගැනය. "නිධානය" තිර නාටකය තුළ තිබූ ප්‍රබලත්වයද එය විය. නිතරම මස් මරන, මස් කන තැනක අයිරින් වැනි නිර්මාංශ එමෙන්ම සතුන් මැරීමට අකමැති කෙනෙකුට ඒ තැන ගැළපෙන්නේ නැත. විලී එළියට යන විට යන්නේ කොහෙදැයි ඇසුවිට පිරිමියෙක් එළියට බහින විට ගැහැනිය යන්නේ කොහේදැයි අසනඑක මූසල කමක් යැයි කියා විලී ඇයට තරවටු කළේය. විලී ගිය පසු මේ සියල්ලම දමා ගසා අයිරින් තම නිවෙස බලා ගියේ ඒ හෙයිනි.

අයිරින්ට විලීව ගුප්ත බව පෙනුණට, ප්‍රේක්ෂකයන්ට පෙනෙන්නේ අයිරිනුත් ගුප්තයි කියාය. එයට සාධාරණ හේතු තිබුණි. තමා විලීගේ විවාහක බිරිඳ වුවද ඇය විලී ළඟ සිටිනුයේ, තව මොහොතකින් මරන්නට යන කිකිළියක් ගානටය. බිරිඳක් ලෙස, එම වලව්වේ ස්වාමිදූ සේ, එහී ඇයට ජීවත් වීමට නොහැකි විය.

තිස්ස අබේසේකර තම තිරනාටකය තුළ වැඩි බරක් දුන්නේ අයිරින්ටය. කථාව විලී වටා ගියද, බලපෑම වූයේ අයිරින්ටය. බැලූ බැල්මට ඇයට චරිතය තුළ නැගී සිටින්නට නොහැකි වූවද, ඇය තිස්ස අබේසේකර හරහා නැගී සිටින්නට වෙර දැරීය. තිස්ස මැවූ අයිරින්ට ගැහැනියක් ලෙස එඩිතරව නැගී සිටීමට නොහැකි වුවද, විලී ගේ ඇතැම් වචන ඇයට දරා ගත නොහැකි විය. එහී ප්‍රතිපලයකි, විලීට ඕන කුදයක් ගසාගන්න කියා මවගේ ගෙදර යෑම. නමුත් අයිරිනුත් ගුප්තයි යනුවෙන් හැදින්වෙන්නෙ, විලී පැමිණ අඩගැසූ සැනින්ම ආපහු විලී සමඟ නැවත යෑමය.

එහෙත් හිටි අඩියේම විලීව අතහැර අයිලින් තම නිවසට යෑම ගැන විලී අයිලින්ගෙන් විමසන විට ඇය එයට දැක්වූ ප්‍රබලම හේතුව නම් විවාහ වී දින කීපයක් ගත වුනද විලී ඇය හා අඹු සැමියන් සේ එක් නොවීමය. අයිරින්ට කුකුසක් වූ මෙම ප්‍රශ්නයේ පූර්ණ පිළිතුර වීලී ළඟ තිබුණි. ඒ විලී මතු කර ගන්නට දඟලන නිධානයයි. නිධානය ගැනීමට අයිලින්ව බිලිදිය යුතුය. එතෙක් ඇය කන්‍යාවක් වී සිටිය යුතුය. විලී ගේ නිධානය අයිරින්ට යනුයේ භාරයක් විදියටය. එවිට මේ අඹු සැමියන් සේ එක් නොවෙන ප්‍රශ්නයට තිබෙන පිළිතුර නම් භාරය ඔප්පු කර ගන්නා තෙක් ඇය කන්‍යාවක් වී සිටිය යුතු බවය. දැන් අයිරින්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇත.

තිස්ස අබේසේකර තම තිර නාටකය විශිෂ්ට ලෙස ගොඩනංවමින් ප්‍රබල ලෙස උඩු අතට හරවන්නේ එතැන් සිටය.

එතැනට ඒමට ප්‍රථම,ජී.බී.

සේනානායක තම පෑන් තුඩින් මෙම චරිත දෙක ගැන සියුම් විශ්ලේෂණයක් කර තිබුණි. එලෙසම ලෙස්ටර් ජේම්ස් පීරිස්ද විලී මෙම තත්වයට පත්වන්නට හේතු කාරණා තම චිත්‍රපටය තුළින්, ඉතාමත් විශ්වාසනීය ලෙස ගොඩනගා තිබුණි.

චිත්‍රපටය පටන් ගැනුණේ විලී අබේනායකගේ ආත්ම කථනයකිනි. ඔහු ඔහුට සිදුවුණු හැම සිදුවීමක්ම ලිපියකට ලියනුයේ, ඔහු සිය දිවි නසා ගන්නා හේතුව සවිස්තරව දක්වන්නටය. මේ සියල්ලටම හේතු වූයේ තම පියා ඔහුට ඉතිරි කර ගිය ණය තුරුස්ය. පියා ණය වී තිබුණේ මෙම විශාල ඉඩම හා නිවස උගසට තබමිනි. එලෙසම ඔහු විටින් විට හීනෙන් ඇවිත් කියන්නේ පරම්පරා ගත මේ ඉඩම හා නිවස නොවිකුණනු ලෙසටය. උගසට තැබූ නිවස බේරාගැන්මට විශාල මුදලක් අවශ්‍ය වේ. එය විලී කරනා කොන්ත්‍රාත්තු වෘත්තියෙන් පියවන්නට බැරිය. මේ උභතෝකෝටික ප්‍රශ්නය විසඳීමට තිබූ එකම මඟ නම් අහම්බෙන් ඔහුට හමු වූ පුස්කොල පොතය. ඒ පුස්කොල පොතේ නිධානයක් ගැනත්,එය ගන්නා ආකාරය ගැනත් සවිස්තරව තිබුණි. විලී අබේනායක වැනි උගත්, වැදගත්, ප්‍රභූවරයෙකු, මේ පුස්කොල පොතක තිබෙන නිධානයක් පසු පස එළවා යෑමට තරම් පිස්සෙක් නොවුනද, ගිලෙන්නට යන මිනිසෙකුට තුත්තිරි ගසක හෝ එල්ලෙන්නට උත්සහා කිරීම සාමාන්‍ය දෙයක් විය. තම පියාට වු පොරොන්දුව පරිදී නිවස බේරා ගැන්මට කෙසේ හෝ මුදල් සොයා ගත යුතුය.

එහෙත් මුදල් සොයා ගැනීමේ අන් මඟක් නැත.ඇත්තේ මේ පුස්කොල පොතේ සඳහන් වී ඇති නිධානයයි. ඒවා ගැන විශ්වාසයක් තබා ගැන්මට විලී පෙලඹුනේ, අර නිවස බේරා ගැනීමට මතුවී ඇති ප්‍රශ්නයයි. එහෙයින්, මෙය මිථ්‍යාවක්ද,සත්‍යක්ද, යනු සොය සොයා සිටිනවාට වඩා, එය ලබාගැන්මට උත්සහ කළ යුතු යැයි විලීට සිතුණේ මෙම ප්‍රශ්නයට විලීට තිබූ එකම විකල්පය මෙය නිසාය.

ලෙස්ටර් ජේම්ස්, ප්‍රේක්ෂකයාව ඉතිහාස කථාවකට රැගෙන යන්නේ මෙතැනදීය. ඒ එකල ප්‍රචලිතව තිබූ බිලි පූජා කථා වලටය. අප කුඩා කළ වුවද බිලි පුජා කථා අනන්තවත් කියවා ඇත. ඒ නිධානයක් ගැනීමට නම් භෛරවයාට බිලි පූජාවක් කර යුතුය. මෙතැනදීද මෙම හීතලුව පැන නැගුණි. එනම් මෙම නිධානය තැන්පත් කර ඇති ගල් ලෙනේ දොර ඇර ගැන්මට නම් කන්‍යාවක් බිලි දිය යුතුය. ඒවා හරි සුරංගනා කථාය. එහෙත් විලීගේ ප්‍රශ්නයට ඇති විසඳුම ලෙස විලීට පෙනුණේ නම් මෙම විකල්පයම පමණී. ඒවා සුරංගනා කථාද, සත්‍ය කථාද කියා සෙවීමට මෙය කළ යුතුම වේ.

මෙම බිලිපූජාවට දිය යුතු කන්‍යාවගේ නිකටේ ලප දෙකකුත්, බෙල්ලේ ලප දෙකකුත් තිබිය යුතුමය. එහෙයින් විලීට එය දැඩි අභියෝගයක් විය.

විලී අබේනායක යනු මැදිවියට එළඹී යන පුද්ගලයෙකි. ප්‍රභූ පැලැන්තියට අයත් වූ මෙම පුද්ගලයා එතෙක් කලක් විවාහ නොවුයේ ඇයි කියන ප්‍රශ්නය මෙතැනදී පැන නගියි. ඔහු තමාව හඳුන්වන්නේ ගුප්ත මිනිසෙක් ලෙසය. පැරණි වලව්වල තනිව ජීවත් වීමට කැමති, රළු, මාන්නක්කාරි පුද්ගලයෙක් ලෙසය විලී තමාව හඳුන්වා දෙන්නේ. එහෙත් තිස්සගේ තිර නාටකය තුළ විලී යනු ලිංගීක බෙලහීනත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු යයි විටෙක සිතේ. ඔහු තුළ කිසිදු ලිංගීක ආශාවක් අප දකින්නේ නැත. කුමක්දෝ ⁣ ලොකු මානසීක ව්‍යවසනයකින් පෙළෙන්නෙක් ලෙසය විලීව අප දකින්නේ.

එතැන් පටන් විලී එලෙව්වේ ලප හතර ඇති කාන්තාවන් සොයාය. හැම ප්‍රභූ මෙන්ම සාමාන්‍ය කාන්තාවන් අතර සෙව්වද ලප හතරක් ඇති කාන්තාවක් සිතූ තරම් පහසුවෙන් හමුවූයේ නැත. එහෙත් දිනක් තොටුපලදී විලී අයිරින්ව

දුටුවේය. ඇයගේ එකී ලප ඒ අයුරින්ම පිහිටා තිබුණි. ඔහුගේ ප්‍රභූ පැලැන්තියත්, ඔහුගේ කාන්තා ආකර්ෂණයත්, අයිරින්ගේ කැමැත්ත පහසුවෙන් ගැනීමට ඉවහල් විය. ඔහු අයිරින් හා විවාහ විය. එතැන් සිට ඔහු ඔහුගේ සැලැස්ම ක්‍රියා කිරීමට උත්සුක විය.

එහෙත් එය ඉටු කිරීමට දිනයකට ප්‍රථම විලී දරුණු ලෙස අසනීප විය. ඒ අසනීපයේදී අයිරින් තමා ළඟම සිට දිවා රෑ නිදි මරා කළ සාත්තුව නිසා විලීගේ ජීවිතය බේරුණි. දොස්තර කීවේද විලී ගොඩ ආවේ වෙද කමට වඩා අයිරින්ගේ හෙද කමට කියාය.

මෙතෙක් රළු අන්දමට ජීවත් වූ විලී වෙනස් වන්නට විය. ඔහුගේ සැඟවී තිබූ මනුස්ස කම ඉස්මතු විය. නිධානයකට, අයිරින් වැනි යහපත් කාන්තාවක් බිලි දීමට නොහැකි යැයි විලී තීරණය කළේය.

ඇය බාරය ගැන ඇසූ විට ඔහු කීවේ අසනීපයෙන් පසු ඔහුට දෙවියන් ගැන තිබූ විශ්වාසය නැතිවූ නිසා, බාරය ඔප්පු කිරීම අවශ්‍ය නොවෙන බවය.

එවකට පැවතී ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් ඔහුගේ නියෝජිතයන් හරහා විලීගේ නිවස තව සති දෙකකික් වෙන්දේසියේ විකුණා රජයට හිඟ නය මුදල අය කරන වග දන්වා දැන්වීමක් විලීගේ නිවසේ කනුවක අලවන තෙක් විලී හා අයිරින් සතුටින් විනෝදයෙන් පවුල් කෑහ. නමුත් එම දැන්වීම් පත්‍රිකාව යළි ඔවුහු පෙර තත්වයට පත් කළෝය. අවසානයේ විලි නිධානය ගැනීමට සිත යොමු කළේය. අයිරින්ගේ පෙරැත්තයද එයට බලපෑවේය. අයිරින් පෙරැත්ත කළේ බාරය ඔප්පු කිරීමටය.

අවසානයේ අසරණ අයිරින් බිලි විය. එය හරියට විලීගේ නිවසේ කූඩු කර සිටි මොනරා තම ගැහැනු සතාව බෙල්ලට කොටා මරා දැමුවා සේය. නමුත් පුස්කොල පොතේ තිබූ පරිදි නිධානය ගැනීමට ගල්ලෙනේ දොර ඇරුනේ නැත. ලැබුණු නිධානයක්ද නැත. අවසානයට සිද්ධ වූයේ අහිංසක අයිරින් මිය යෑමත්, විලී මිනිමරුවෙක් වීමත් පමණි.

චිත්‍රපටයේ තිර නාටකය ඉතාමත් ප්‍රබල විය. කෙටි කථාවකින් මෙතරම් විශ්මයක් කිරීමට හැක්කේ තිස්ස අබේසේකරටම පමණි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටතම අධ්‍යක්ෂණය මෙය විය. අදටත් ලාංකේය සිනමාවෙ හොඳම චිත්‍රපටය ලෙස සලකන්නේ "නිධානය" යි. එය ලාංකේය සිනමාවට නිධානයක්ම බදුය.

චිත්‍රපටය තුළ විශිෂ්ටතම රංගනය ඉදිරිපත් කළේ අයිරින් ලෙස රඟපෑ මාලනී ෆොන්සේකාය. අයිරින්ගේ චරිතය තුළ ⁣බොහෝ සියුම් තැන් හඳුනා ගත යුතුව තිබුණි. ඇසිපිල්ලක් ගසන නිමේශයකින් හැඟිම් දස දහස් ගණනක් මාරු වේ. එසේ ක්ෂණිකව හැගීම් මාරු කරමින් ප්‍රේක්ෂකයාට දනවන්නට හැකි නිළියන් සිටින්නේ ලෝකයේ බොහෝ අඩු සංඛ්‍යාවකි. මෙරිල් ස්ට්‍රිප් එසේ එක් නිළියකි. මාලනී ෆොන්සේකා තවත් නිළියකි. විලී ගේ ගුප්ත බවට ඇති තිගැස්ම, අයිරින් වූ තමාගේ ගුප්ත බවට ඇති තිගැස්ම, මාලනී ෆොන්සේකා මනා ලෙස අවබෝධ කර ගෙන තිබුණි. පෙර කිව් සේ අයිලින් ගේ චරිතය වටා සියුම් තැන් රාශියකි. එලෙසම ක්ෂණිකව පෙරලෙන ශෝකය,දොම්නස,සතුට,

සොම්නස, සමඟ මාලනී ෆොන්සේකාද ගැටෙන්නට විය. විලී අබේනායක වු ගාමිණි ෆොන්සේකා වටා කථාව ගෙතුණද, මාලනී ෆොන්සේකා ගාමිණීවත් අබිබවා ගිය බොහෝ තැන් නිධානයේ තිබුණි.

විලී අබේනායකගේ ආධිපත්‍යය මුළු චිත්‍රපටය පුරාවටම ලැව් ගින්නක් සේ පැතිර ගොස් තිබුණි. ගාමිණී ෆොන්සේකාට තම ප්‍රතිරූපය රැක ගැන්මට හැකි වූ තවත් චරිතයකි මේ විලී අබේනායක. එහී ජීවත් වීමට ඔහුට අමුතු ආයාසයක් දැරීමට උවමනාවක් නොවීය. ගාමිණි එහි ගාමිණී ම විය. එලෙසම විලීද විය. විලී ගෙ රූපණය හා චින්තනය, ගාමිණි ළඟද, ගාමිණීගේ රූපනය හා චින්තනය විලී ළඟද තිබූ හෙයින් ජී.බී.සේනානායකගේ විලීද, තිස්ස අබේසේකර ගේ විලීද,ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විලීද එකම පුද්ගලයෙක් ලෙස ගාමිණී ෆොන්සේකා හරහා ප්‍රේක්ෂකයා දුටුවේය.

තවත් අද්විතිය රංගනයක් ජුවානිස් ලෙස රඟපෑ ප්‍රැන්සිස් පෙරේරාගෙන් දක්නට ලැබුණි. ගාමිණි හා මාලනී සමඟ කරට කර රඟපෑ ප්‍රැන්සිස් ගාමිණී හා මාලනී මෙන්ම විශිෂ්ට විය.

සමන් බොකලවල, ජී.බී.එල් ගුණසේකර, ට්‍රිලිෂියා ගුණවර්ධන, ශාන්ති ලේඛා, මාපා ගුණරත්න, විජේරත්න වරකාගොඩ,තිලකසිරි ප්‍රනාන්දු, තලතා ගුණසේකර, දේවිකා කරුණාරත්න සෙසු චරිත රඟපෑහ.

එම්.එස්.ආනන්දන් ගේ කැමරාකරණයත්, ප්‍රේමසිරි කේමදාසගෙ සංගීතයත් 'නිධානය' චිත්‍රපටයේ විශිෂ්ටත්වයට මනා පිටුවහලක් විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ "නිධානය" චිත්‍රපටය, ලොව හොඳම චිත්‍රපට ලැයිස්තුවේ ඇති චිත්‍රපටයක් ලෙස සැලකිය හැක. 1972, පෙබරවාරි මස 3වන දා තිරගත කිරීම ආරම්භ කළේය. "නිධානය" වැනි චිත්‍රපටයකට නිෂ්පාදනයෙන් හවුල් වීමේ ගෞරවය හිමි විය යුත්තේ ආර්.ඇන්තනීපිල්ලේටය. එනම් සිලෝන් ස්ටුඩියෝවට.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.