මැරෙන්න කලින් මගේ තාත්තාගේ චරිතය රඟපාන්න ඕනෑ

ජුනි 27, 2019

සුදු පැහැති උඩුරැවුල ඔහුගේ මුහුණේ රැඳුණු ප්‍රතාපවත් බවට ගෙනාවේ ආලෝකයකි. වරෙක ඔහුගේ මුහුණ බැලූව ද තවත් වරෙක නොබලනා තරමට මුහුණේ ඉරියව් වෙනස් කිරීමට ඔහුට ගත වන්නේ ස්වල්ප වේලාවකි. එසැණින්ම ඔහුගේ මුවඟට නඟන සෙනෙහබර සිනහව අපට පවසන්නේ ළෙන්ගතු බවේ කතාවයි. ඒ ළෙන්ගතු බවටම සරිලන සිනහවකින් මුව සරසා ගත් මම ඔහුගේ නිවෙසෙට පැමිණියේ කලකට පසුව සුවදුක් සෙවීමේ අදිටනෙනි.

“ආ... ඔය ළමයා ආවා ද?”

ඔහුගේ ආරාධනයෙන් මම ඉස්තෝප්පුවේ ඔහු අසලම පිහිටි අසුනකට බර වීමි.

ජී.ආර්. පෙරේරා හෙවත් ගල්හේනගේ රත්නපාල පෙරේරා.

ඔහු සුදු පැහැති රැවුල තරමටම සුදු පැහැති දිගුවන් කෙස් කලඹ ද පිට දිගට විදහා හාන්සි පුටුවේ හරිබරි ගැහුණේ දිගු කතාබහකට මුල පුරන්නට ය. සුපුරුදු ලෙස කා සමඟත් පවසන කහටගස්දිගිලියේ හේරත් හාමිගේ කතා රාශියක් මා සමඟ පැවසූ ඔහු අපේ සංස්කෘතියේ සැඟවුණු අතීත රහස් රැසක් හෙළි කළේ වරෙක මා පුදුමයට පත් කරමිනි. ඒ කතා කියන විට උගත් යැයි කියා ගන්නා සමහර අය ගැන ඔහුගේ කට කොණට නැඟෙන සෝපහාසය මුසු සිනහව හඬ නඟා පිට වූයේ මගේ මුවඟට ද සිනහවක් නංවමිනි.

“සැත්කමෙන් පස්සේ බොහොම සතුටින් වගේ”

පසුගිය දිනවල ජී.ආර්. පෙරේරා මුහුණ දුන් හදිසි සැත්කම පිළිබඳ මට සිහිපත් වූයේ ඔහුගේ සතුටු සිනා රැඳී මුහුණ දුටු විට ය. ඒ සිනහව කියාපෑවේ හදිසි සැත්කමේ සාර්ථකත්වය නොවේ ද?

“මම දියණිය යමුනා එරන්දතීව බලන්නයි ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වලට ගියේ. ඇගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙන්නයි, ගේ පදිංචියට සහභාගි වෙන්නයි. ඒකට ගිහින් සුමානයයි වුණේ. මගේ පපුවේ කැක්කුමක් ආවා. ඉස්පිරිතාලෙට ඇතුළත් කළා. එතකොටයි දැන ගත්තේ හදවතේ ප්‍රශ්නයක් කියලා. එහෙදි සැත්කම කරන්න කිව්වත් ලක්ෂ 50කට වඩා යන නිසා ලංකාවට ආවා. මෙහේ ඇවිත් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වුණා. සැත්කම කළා. සාර්ථක වුණා. මේ වන විට සැත්කම කරලා මාස දෙකක්. තව මාස එකහමාරක් පමණ විවේක ගත යුතු බවයි වෛද්‍යවරුන් පැවසුවේ.”

“සැත්කම ගැන වෛද්‍යවරුන් පැවසුවාට පස්සේ ඔබගේ සිතේ මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?”

“ජීවිතේ හොඳම කාලයේ ලෙඩ වෙන්න වුණා නේද කියලා පුංචි දුකක් හිතේ ඇති වුණා. ඒ වුණාට දොස්තරවරුන් පැවසුවේ තවත් අවුරුදු දහයක් ආයුෂ දුන්නා කියලයි. එතකොට නම් පොඩි සන්තෝෂයක් සිතේ ඇති වුණා. ඒත් ජීවිතයේ ස්වභාවය අපි තේරුම් ගත යුතුයි.”

සැත්කමෙන් සුවය ලබා සිටින ජී.ආර්. පෙරේරාට මේ නිසාම ඒ කාලයේ නිර්මාණ රැසකම රඟපෑම අහිමි විය. ඔහු වෘත්තිය රංගන ශිල්පියෙකි. මේ වන විට නිර්මාණ හත්සියයකට පමණ අධික සංඛ්‍යාවක රංගනයේ නිරත වූ ශිල්පියෙකි.

“සැත්කමෙන් පස්සේ රංගනයෙන් ඉවත් වීමට ද සිතා ගෙන ඉන්නේ?”

“විවේක ගත යුතු කාලය අවසන් වුණාට පස්සේ මා සුපුරුදු ලෙස රංගනයට පිවිසීමටයි හිතාගෙන ඉන්නේ. නැත්නම් මට ආදායමක් නැහැ. මොකද ආණ්ඩුව දෙන්නේ නැහැ නේ.”

ඔහු පවසන්නේ සැත්කමෙන් නව පණ ලද්දකු ලෙස ය. අද සෑම කලාකරුවකුගේ ම ඉරණම වී ඇත්තේ මෙයම නොවේ ද? 1960 වසරේ වේදිකාවේදී ධර්මසිරි වික්‍රමරත්නගේ ‘රන් තෝඩු’ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ගමන ඇරැඹි ජී.ආර්. පෙරේරා රඟපෑ මේ නාට්‍යය අපේ කට්ටියගේ වැඩකි.

“මේ වේදිකා නාට්‍යවලින් තමයි වික්‍රම බෝගොඩ, ටෝනි රණසිංහ, ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර ඇතුළු රංගන ශිල්පීන් රැසක් කරළියට ආවේ. ඒක බොහොම කීර්තිමත් කාලයක්.”

අතීතයේ දවසක් ගැන සිහිපත් කළ ජී.ආර්. පෙරේරා කියන්නේ කුඩා අවධියේ දඟම දඟ කොලු ගැටයෙකි. ඔහුගේ දඟ බව කොතරම් ද කිව්වොත් ගමේ කවුරුන් හෝ කොල්ලකුට ගසා චෝදනාවක් එල්ල වුණු දවසක් ඔහුට නැති තරම් ය. ඒ නිසා ම ජී.ආර්.ගේ නිවෙසින් වැඩිපුරම දඬුවම් වින්දේ ජී.ආර්. ය. ජී.ආර්ට තාත්තා දුන්න දඬුවම් රැසකි. ඔහු ජී.ආර්ව ගස්බැන්දේ ය. එතැනින් නොනැවතී කහඹිලියා දැම්මේ ය. වේවැල් කසාය නම් නොවැරදිනි. ටික දිනකට පසුව මේ දඬුවම්වලින් මිදීමට ජී.ආර්.ට අලුත් උපායක් කල්පනාවට නැඟිණි. ඒ ඔහු වැරැදි කර සැඟවිය හැකි එකම තැන උඩ ගෙදර බව ය. එකල එහි සිටි බාප්පා සමඟ තාත්තාගේ තිබුණු ආරෝව නිසා ජී.ආර්.ව සොයාගෙන තාත්තා එහි පැමිණියේ නැත. දිගින් දිගටම සිදු වන මේ සෙල්ලම දෙස බලාගෙන සිටි ජී.ආර්.ගේ මව මෝදර වසන සිය ලොකු මල්ලී කැඳවා ජී. ආර්. ව ඔහුට බාර කළේ මේ අතර ය.

“එදා ඉඳලා මම පාසල් ගියේ කොටහේනේ කුමාර විද්‍යාලයට. ජී.ඩී.එල්. පෙරේරා, අමිත මල්ලවාරච්චි කියන්නේ මට වඩා ජ්‍යෙෂ්ඨ සිසුන්. ඒ කාලයේ නන්දා මාලිනී අපේ පාසල ආසන්නයේ තිබුණු ගුණානන්ද විද්‍යාලයට ගියේ. ඈ සාහිත්‍ය සංගමයේ කවි කියනවා අපට ඇ‍හෙනවා. ජී.ඩී.එල්. පෙරේරාගේ ‘සාමා’ නාට්‍යය මුලින්ම රඟ දැක්වුවෙත් කුමාර විද්‍යාලයේ.”

ජී.ආර්.ට සිටියේ සොහොයුරන් දෙන්නෙක් සහ සහෝදරියකි. ඔවුන් හදාවඩා ගැනීමට ජී.ආර්.ගේ මව නොවිඳීනා දුක් වින්ඳාය. ඈ ආප්ප පිච්චුවාය. කැවුම් ඉව්වාය. හැලප තැම්බුවා ය. එගොඩවත්තේ පදිංචිව සිටි ඈ උයන ආප්ප හා ඉදි ආප්ප ටික කඩයට අරගෙන ගියේ ජී.ආර්. ය. දිනක් ඔහුට ඒ යන පාරේදී පිජාමා සූට් එකක් ඇඳගෙන සිටි කොල්ලකුව මුණ ගැසිණි. ඔහු සිතුවේ මේ සිටින්නේ ලන්සිකොල්ලකු බවයි. මේ කොල්ලා ජී.ආර්.ගෙන් විමසුවේ රැගෙන යන්නේ කුමක්ද යන වග ය. ‘කඩයප්පන්’ ජී.ආර්. ඔහුට පිළිතුරු බැන්දේ හැරෙන තැපෑලෙනි.

“ඒ මට මුණ ගැසුණු ලන්සි කොල්ලා වෙන කවුරුවත් නොවෙයි. මියයන තුරුම මගේ යහළුවා වුණු තිස්ස අබේසේකර. ඔහුගේ හමුවීමෙන් පස්සේ මම කොටහේනට යනවා. නිවාඩු කාලයේ ගෙදර ආවාට පස්සේ අපේ වත්තේ පහළ තිබෙන ළිඳට තමයි තිස්ස නාන්න එන්නේ. එයින් මෙයින් අපි දෙන්නා හොඳම යහළුවෝ බවට පත් වෙනවා. තිස්ස හමුනොවන්නට මගේ ජීවිතය කොතනින් අවසන් වේවිද දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයට මා යොමුවන්නේත් තිස්ස නිසා.”

ජී.ආර්. පෙරේරාගේ පළමු චිත්‍රපටය ඩී.බී. නිහාල්සිංහගේ ‘වැලිකතර‘ ය. එය ඔහුට ලැබෙන්නේ ද තිස්සගේ මාර්ගයෙනි. එහි රඟපෑ ටාසන් කුමාරගේ චරිතය ඔහුගේ රංගන ජීවිතයේ නොමැකෙන චරිතයකි. මන්ද යත් සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ටාසන්ගේ කනෙන් අල්ලා හයියෙන් හොලවන දර්ශනය රූගත කිරීමේදී සිදු වුණු අකරතැබ්බ සිහියට නැඟෙන හෙයිනි.

“ගාමිණි මාව අල්ලලා හොල්ලපු හෙල්ලිල්ලට මගේ කනේ මවිල් ගුලියක් ගැලවිලා ආවා. ලේ යන්න පටන් ගත්තා. අල්ලපු ගෙදරකින් අයිස් තිබ්බට පස්සේයි ලේ යෑම නැවතුණේ. ඔහු හැදුවේ එදා දවසේ චිත්‍රපටයේ වැඩ නවත්වන්නයි. ඒත් යළිත් චිත්‍රපට‍යේ රූගත කිරීම් පටන් ගම්මු යැයි පවසමින් මා ඒ අදහස වෙනස් කළා. ඒ සිදු වීමෙන් පස්සේ ඔහු මාත් සමඟ හොඳටම යහළු වුණා.”

කොටහේනේ පාසලට ගිය ගමන නතර වීමට ගිය විට ජී.ආර්. පෙරේරාගේ පිහිටට එන්නේ තිස්ස ය. ඒ සඳහා අපූරු උපක්‍රමයක් ජී.ආර්.ට ඉගැන්වූයේ ද ඔහු ය. මේ නිසා එච්.එස්.සී., එස්.එස්.සී. දක්වා උගැන්මට දෙදෙනාටම හැකි විය. විශ්වවිද්‍යාලයට යන්නට නොහැකි වුවද ඔවුන් ඒ වන විටත් ජීවිතයේ විභාගය පාස්ව තිබිණි. ඒ විභාගයේදී ජී.ආර්.ගේ පවුලේ කතාව අලළා ‘පිටගම්කාරයෝ’ ටෙලි නාට්‍යය පිටපත ලියන ලද්දේ ද තිස්ස ය.

“අපේ පවුලේ සිදුවීම් එකට ගොනු කරලයි තිස්ස ‘පිටගම්කාරයෝ’ ලියන්නේ. ඒකේ සයිමන් කියන්නේ අපේ තාත්තාගේ චරිතය. අර්නෝලිස් මගේ තාත්තාගේ මල්ලි. ඒත් නාට්‍යයේදි මට තාත්තාගේ චරිතය නම් රඟපාන්න බැරි වුණා.”

කාලයකදි හපුතලේ ගොස් වත්තක් ගත් ජී.ආර්. එහි එළවළු වැව්වේය. ලොකු දුව සරෝජනී නයනතාරාත්, පුතා සහන් සුමේධත් පාසල් ගියේ ඒ ආසන්නයේ ප්‍රදේශවල බැවින් ඔහු මේ හැමතැනම ගියේ දැනට නිවෙසේ පැත්තකට දමා අබලන්ව තිබෙන යතුරු පැදියෙනි. ඒ සියලු කටයුතු අවසන් කරන ඔහු රැකියාව කිරීමට කොළඹට ද පැමිණේ. යකඩයෙක් මෙන් වැඩ කළ ඒ අතීතය සිහියට නැඟෙත්ම,

“දැන් ඒවා ගැන මතක් වෙනකොටත් දුකයි”

ජී.ආර්. පෙරේරා පවසන්නේ සැබෑවටම දුක්මුසු පෙනුමක් මුහුණට නඟා ගනිමිනි.

මේ කුමන දුකක් පැමිණිය ද ජී.ආර්. පෙරේරා සමඟ දුක සැප බෙදා ගනිමින් තවමත් ඔහුගේ සෙවණැල්ල මෙන් සිටින ඈ ෆ්ලෝරිඩා ය. ඈව ඔහුට මුණ ගැසෙන්නේ ජී.ආර්. පසුකලෙක ස්ථිර රැකියාව ලෙස තෝරාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර නිසා ය. ඒ තනතුරේ සම්මුඛ පරීක්ෂණයෙන් පසුව ලබා ගත යුතු වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට ගිය කළුබෝවිල රෝහල් පරිශ්‍රයේදී ය. එතැනින් ඇරැඹුණු ඔවුන් දෙදෙනාගේ ආදර කතාව මල්පළ දරන්නට වසර හතක කාලයක් ගියේය. ඒ පළ දැරීම සිදුවන්නේ ද අපූරු ලිපියකින් හා තෑග්ගකිනි. තෑග්ග සුදු සාරියකි.

“මෙහි අන්තර්ගතය සුදු ය. සුදු වනාහී පිරිසුදු බවේ සංකේතයයි. අප දෙදෙනා හමු වී දැනට සත්වසක් ගෙවී ඇත. අපේ සම්බන්ධය මෙහි අන්තර්ගතය මෙන් පිරිසුදු ය. එහි අන්තර්ගතය වැලඳගෙන, ඇඳගෙන ඔබට මා ඉදිරියේ පෙනී සිටිය හැකිය. එවිට ඔබට මගේ සිනහ මුහුණ දැකීමට ඔබ වාසනාවන්ත විය හැකිය. තවත් අවස්ථාවක මා දකින විට ඔබට මා දැකිය හැකි වුවත් මට ඔබ කවුදැයි හඳුනා ගැනීමට නොහැකි වනු ඇත. මෙයින් කැමැති දෙයක් තෝරා ගැනීම ඔබට බාර ය.”

මෙය දුටු විගස ෆ්ලොරිඩා ජී.ආර්.ට බහ දුන්නේ ඈව කැන්දන් එන්නට ය.

ජී.ආර්. පෙරේරාගේ රංගන ජීවිතයේ අමතක නොවන චරිතයකි. ඒ ‘දොළොස්මහේ ගංගාව’ ටෙලි නාට්‍යයේ කළ දිඹුලාගල හාමුදුරුවන්ගේ චරිතයයි. ඒ චරිතය රඟපාද්දී ඔහුට දිඹුලාගල හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව දින කිහිපයක් මහණ දම් පුරන්නට ද සිදු විය.

“මට ආසාවක් තිබෙන්නේ මැරෙන්න කලින් මගේ තාත්තාගේ චරිතය රඟපාන්න. මීගොන් බානකින් හාලා, නියම ගැමි චරිතය රඟපාන්න. මට ඒත් රඟපාන්න වෙන්නේ වයසට ගිය කාලය. මගේ තරුණ කාලයට නළුවකු සොයා ගැනීමත් ලෙහෙසි නැහැ. ඒ නිසා ඒ අදහස ගැන මම දැන් ළතැවෙන්නේ නැහැ.”

ඔහු සිය සිතැඟි හෙළි කළේ ය. එමෙන්ම එකල ටෙලි නාට්‍ය පිටපතක් නළුවකු හෝ නිළියක අතට පත් වූ පසුව අනුගමනය කරන තොරතුරු ජී.ආර්. පෙරේරා පවසන ලද්දේ අද ටෙලි නාට්‍යවල සිදු වන සිදුවීම් ද මතකයට පිවිසවමිනි.

“ඒ කාලයේ පිටපත් සාකච්ඡාව කියලා දවස් කිහිපයක් නළු නිළියන් සමඟ සාකච්ඡා කරනවා. ඒ ඒ චරිත තෝරා ගන්නේත් ඒ ප්‍රදේශවලට මූලිකත්වය දීලා. එතැනදි ඕනෑම කෙනකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ අනුවයි අවසාන පිටපත සකස් කරන්නේ. තිස්ස මේක හරියටම කළ කෙනෙක්. අපේ චරිතය ගැන කතා කරන්න අධ්‍යක්ෂවරයාට වගේම පිටපත් රචකයා සමඟත් කතා කරන්න අපට පුළුවන් වුණා. අද වගේ නොවෙයි. සමහර නිර්මාණවල අද රඟපාන පිටපත එවන්නේ එවේලෙම ෆැක්ස් එකකින්. ඒ ෆැක්ස් එකේ එන දෙය කිව්ව කියලා චරිතයට අනුගත වෙන්න බැහැ. ඒ චරිතය හොඳට රඟපාන්න නම් චරිතය ඇතුළට කිඳා බැසිය යුතුයි.”

මේ වර්මානයේ ටෙලි නාට්‍යවල සිදු වන එක් සිදු වීමක් පමණි. ඔවුන් කරන තවත් වැරැදි බොහෝ ය. ජී.ආර්. පෙරේරා ඒ පිළිබඳ කතාබහ කළේ සියුම් දුකක් හදවත රදවමිනි.

වසර හැටක කාලයක් සපිරීමිට නියමිත ජී.ආර්.ගේ කලා ජීවිතය ගලා යන්නේ බොහොම සෙමිනි. ඒ සෙමෙන් ගමනේදී ඔහු සිය හදවත බඳු රංගනයට එදා මෙන්ම අදත් පෙම් බඳීයි. ඉදිරිපස ඇති හාන්සි පුටුවේ දිගඇදෙමින් ඒ පෙම් බැඳී අතීතය සිතින් අතපත ගාමින්, යළි යළිත් සිහිපත් කරන්නේ සොම්නසිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.