ලංකා TV අන්දරය

කබඩ් මායිමේ රබර් මේස
ජුනි 27, 2019

ජාතික රූපවාහිනිය ආරම්භයේදී එහි න්‍යෂ්ටිය වූයේ වැඩසටහන් අංශයයි. මේ අංශය යටතේ නාට්‍ය, සංගීත, වාර්තා, ක්‍රීඩා, යෞවන, විචිත්‍රාංග සහ දෙමළ යන ඒකකයන් සක්‍රීය වී තමන් හමුවේ තිබූ අභියෝගයන් ජය ගැනීමේ ක්‍රියාන්විතයකට අවතීර්ණ වී සිටියේය. මේ සෑම ඒකකයකම අභිමාර්ථය වූයේ නව මාධ්‍යය භාවිතා කරමින් ජාතික සංස්කෘතියට, සභ්‍යත්වයට ගැළපෙන අයුරින් වැඩසටහන් නිර්මාණය කර ඒවා ජනතාවට සම්ප්‍රේෂණය කිරීම තුළින් ඔවුන්ගේ රස වින්නය ඉහළ තලයකට ඔසවා තැබීම වේ. මෙම අත්‍යුදාර පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම පිණිස සෑම ඒකකයේම සුක්කානම හසුරුවාලීමේ භාරදූර වගකීම තම සුරතට ගෙන සිටියේ ඒ වනවිට ද විවිධ කලා ක්ෂේත්‍රයන්හි දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් සිටි ප්‍රවීණයන් පිරිසක් විසිනි.

එක යායට තබා තිබූ රබර් ලෑලිවලින් නිර්මිත මේස සහ පුටුවල වපසරියට අදාළ භුමි භාගය වෙන් කළ පසු ඉඩකඩ මදිකමින්, වැඩසටහන් අංශයේ සෑම ඒකකයක්ම බොහෝ විට බෙදා වෙන් කළ මායිම වූයේ ස්ටීල් කබඩ් එකකි. ඒ හේතුවෙන්ම ඒකකයන් අතරේ උසුළු විසුළු කිරීම්, සිනා හඬවල් පැතිර ගියේ එක අරමුණක් ඇති සුසැදි පවුලක සහෝදර කැලක් අතරේ ඇති සුහදතාවය තවදුරටත් තීව්ර කරමිනි. සෑම දිනකම පාහේ සැන්දෑවේ රාජකාරි නිමා වී රූපවාහිනී පරිශ්‍රයෙන් එළියට යාමට පෙර අසන්නට ලැබුණේ වැඩසටහන් අංශයේ එහා මායිමේ පිහිටා තිබූ සංගීත ඒකකයට අනුයුක්තව සිටි සුනිල් සිරිවර්ධනයන්ගේ ශාස්ත්‍රීය ගායනයකි. එසේ් නැතිනම් එම ඒකකයේම සේවය කළ මහා කලාකරු ජෝර්ජ් කීට්ගේ පුත්‍ර රත්නය වූ සචින් දත් කීට් විසින් වාදනය කරන ලද සිතාර් වාදනයකි. සමහර නිමේෂයන්හිදී එයට මුසු වූ ධම්මගේ නාඩගම් ගීතය මෙහා කෙළවරෙන් ඇසෙයි. මෙම ගීතමය විරාමය සෙසු ඒකකවලට අනුයුක්තව සේවය කළ නිර්මාණකරුවන්ගේ මනසට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. ඒකක ඒකක අතර? ඉඟිබිඟි පෑම් ද, අංග චලනයෙන් යම් යම් සන්නිවේදනයන් හුවමාරු වූ අවස්ථාවන් ද විය. එවැනි සමහර සන්නිවේදනයන් කෙළවර වූයේ මංගල පෝරුව මතදීය.

නාට්‍ය ඒකකයේ ප්‍රධානියා වූයේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ උනන්තිය සඳහා ඒ වන විට ද අනුපමේය සේවයක් ඉටු කරමින් සිටි ධම්ම ජාගොඩයන් විසිනි. (මොහුගේ මෙම ඓතිහාසික මෙහෙවර සහ රූපවාහිනී මාධ්‍යය සඳහා වූ දායකත්වය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි) නාට්‍ය ඒකකයේ කෙළවර බිත්තියට ආසන්නව තබා තිබූ මේසය අසල පුටුවේ ආසනාරූඪව සිටි ධම්මගේ ඉදිරිපස තබා තිබූ මේස අසල වාඩිගෙන සිටියේ ද කලා ක්ෂේත්‍රයේ ඒ වන විට නමක් දිනා සිටි දැවැන්තයන් පිරිසකි. ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, පරාක්‍රම නිරිඇල්ල, තිලක් ගුණවර්ධන, යූ. ආරියවිමල් යන කලාකරුවන්ට ගුරුහරකම් දෙමින් කලා කෙත අස්වැද්දීම සඳහා නව මාධ්‍යය යොදා ගත හැකි වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමට ධම්ම නිරතුරුම පේවී සිටියේය.

ලූෂන්, බන්දුල, තිලක්, ආරි නාට්‍ය ඒකකයට අනුයුක්ත වූ පළමු නිෂ්පාදන කණ්ඩායමට අයත් වුව ද, නාට්‍ය ඒකකයේ ලිපි ලේඛන කටයුතු භාර ලේකම් ධූර තනතුරේ පිහිටුවා හෝ පරාක්‍රමව රූපවාහිනියට බඳවා ගැනීමට ධම්මට අවශ්‍ය වන්නේ ඔහු සතු වූ නිසඟ කලා හැකියාවන් ධම්ම හඳුනාගෙන සිටි බැවිනි. කලක් ගාමිණී හත්තොට්ටුවයන්ගේ වීදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වී එහි ක්‍රියාකාරීව සිටි පරාක්‍රම ඉන් මුදවා ගෙන හතරැස් වේදිකාවට ඔහුව නතු කර ගැනීමට ධම්ම නොයෙක් වර උත්සාහ ගෙන තිබුණි. සමහර විටක තමන් වේදිකාවට හඳුන්වාදීමට බලාපොරොත්තු වූ විශ්ව නාට්‍ය නිර්මාණ කෘතීන් හි ඉංග්‍රීසි පිටපත් පරාක්‍රම අතට පත් කර තිබුණේ වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු වශයෙන් පරාක්‍රමව අබිසෙස් ගැන්වීමට ධම්ම තුළ තිබුණු නොතිත් ආශාව හේතුවෙනි. පරාක්‍රමගේ ‘විනිශ්චය’ වේදිකා නාට්‍ය නිර්මාණය ධම්මගේ එම බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමකි. මේ දෙදෙනා අතර තිබුණු මෙම නිර්මාණාත්මක සහ සම්බන්ධතාවය හේතුවෙන්ම ජාතික රූපවාහිනියේදී ධම්ම යටතේ රාජකාරි කටයුතු භාර ගැනීම සඳහා පරාක්‍රම වාසනාවන්ත විය. ඔහු රූපවාහිනියට පැමිණීමට පෙර ‘පළවෙනියා සහ අන්තිමයා’ යනුවෙන් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබුණද, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක තනතුරට සුදුසුකම් ලබන්නේ මැදිරි නිෂ්පාදනයක් වශයෙන් ඔහු විසින් නිර්මාණය කර ලද ‘මහත් හොරා’ යන ටෙලි නාට්‍යය සභාපති ඇම්. ජේ. පෙරේරා මහතා නැරඹීමෙන් පසුවය. ජාතික රූපවාහිනිය ආරම්භ වී නිෂ්පාදනය කරන ලද පළමු ටෙලි නාට්‍යය වශයෙන් මෙය රූපවාහිනී ඉතිහාසයට එක් වෙයි.

අනුර මාධව ජයසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.