චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක්ද?

ඉගෙන ගන්න ජැක්සන් ඇන්තනිගෙන්
ජුනි 6, 2019

පසුගිය දශක කිහිපය පුරා මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට පෙර හා චිත්‍රපටයක මංගල දර්ශනයකට (Premiere) පෙර අතීතයේ පුවත්පත් සඳහා පැවැත්වුණු (Press Shows) චිත්‍රපට ප්‍රදර්ශන රාශියක් සඳහා සහභාගි වී ඇත්තෙමි. පෙරදා පුවත්පත් සඳහා තිරගත වු අලුත් චිත්‍රපට අද තිරගත වන්නේ මාධ්‍ය සඳහා විශේෂිත වූ මාධ්‍ය දර්ශන (Media Shows) ලෙසය. මුද්‍රිත මාධ්‍යයේ සිට විද්‍යුත් මාධ්‍ය දක්වා මෙන්ම ඉතා ආසන්න කාලයක සිට මාධ්‍ය ජාලයට එක් වි ඇති සමාජ මාධ්‍ය (Social Media) ද මාධ්‍යයේම කොටසක් බවට පත් වී ඇති බැවින් මංගල දර්ශනය හා පිළිසඳර, සංවාදය යනුවෙන් මෙකල හැඳින්වෙනු පෙනේ. සිනමාව ද ප්‍රමුඛ කොට ගත්, ප්‍රාසාංගික කලා රැසක විශිෂ්ට ලකුණට හිමිකම් පානා නිර්මාණකරුවා වන ජැක්සන් ඇන්තනිගෙන් අපට ඇරැයුමක් ලද්දේ ඔහුගේ එක ගෙයි සොකරි නම් නවතම සිනමා කෘතියේ ජැක්සන්ගේ බසින් පවසනවා නම්, ඔහුගේ ‘සිනමා සොකරියේ මාධ්‍ය හෙළිදරව්ව’ට සහභාගිවීමට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයට පැමිණෙන්න කියායි.

ජැක්සන් ඇන්තනිගේ සිනමා සොකරිය හෙවත් එක ගෙයි සොකරි චිත්‍රපටය ඔහුගේ සිව් වැනි සිනමා කාර්යයයි. 1998 දී ‘ජුලියට්ගේ භූමිකාව’ සමඟ අධ්‍යක්ෂ භුමිකාවට ප්‍රවේශ වූ ජැක්සන්ගේ අවසාන චිත්‍රපට ද්විත්වයම අබා (2008) හා ඇඩ්‍රස් නෑ (2015) මෙරට සිනමාවේ විවාදාත්මක නිර්මාණ වූ බව අපගේ හැඟීමයි. පසුගිය විසි නව වනදා සවස් භාගයේ අපේ ගම පරිශ්‍රයට රැස්ව සිටි සියලු මාධ්‍ය මිත්‍ර සමාගමට අප ද එක් වූයේ ජැක්සන් ඇන්තනි තම නවතම නිර්මාණය තිරගත කිරීමෙන් අනතුරුව හෙළිදරවු කිරීමට යන්නේ කුමක් ද කියා දැන ගැනීමේ නොතිත් ආසාවෙනි.

වේදිකාවෙන් පටන් ගෙන සිනමාව, රූපවාහිනිය ඔස්සේ අප අත් විඳ ඇත්තා වූ ජැක්සන්ගේ රංගන භූමිකා, අධ්‍යක්ෂ භූමිකා, සංනිවේදක භූමිකා සියල්ල තුළම ජැක්සන් ඇන්තනි මුද්‍රාව, සන්නාමය සටහන් කර ගන්නට සමත් වූ නිර්මාණකරුවකු ලෙස ඔහුගේ සිනමා සොකරිය මඟින් ද පෙර නොවූ විරූ ආකාරයේ සිනමා අත්දැකීමකට අප කැඳවා ගෙන යාවි යන විශ්වාසයෙන් අපි සැදී පැහැදී සිටියෙමු. එහෙත් චිත්‍රපටයක් ප්‍රදර්ශනයට අවශ්‍ය ආවරණය කළ ශාලාවක් අපි නොදිටිමු. ඒ වෙනුවට ගොක් කොළ සැරසිලි, පුන් කලස්, අලුත් පොතක් ජනගත කිරීමේ උලෙළකදී මෙන් සාම්ප්‍රදායික වේදිකාවක් එහි තබා තිබූ හිස් පුටු පේළියක් එළිමහන් ප්‍රේක්ෂකාගාරයක්, මලින් සැරසුණු පෝඩියමක් එහි තිබුණි. අප පැමිණ සිටියේ එකගෙයි සොකරියේ සිනමා කාර්යය නැරැඹීමට නොවන වග ඒත්තු ගියේ මොහොතකිකි.

මාධ්‍ය සගයන්ට අමතරව අප නෙත ගැටුණු සෘජුවම මාධ්‍යයට සම්බන්ධ නොවූ ප්‍රධානම චරිතය වූයේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න පමණි. ඔහු සමඟ සිනමාවට සම්බන්ධ ජැක්සන්ගේ මිත්‍ර සුනිල් ෆොන්සේකා සහෘදයා ද සිටිනු දිටිමි. මේ නම් කිනම් මාධ්‍ය දැක්මක්ද? චිත්‍රපටය තිරගත නොකොට මාධ්‍ය සගයන් විශාල පිරිසක් කැඳවා ජැක්සන් නටන්නට සැරසෙන නාඩගම කුමක්දැයි අපි සියල්ලන්ම මවිතයට පත්ව බලා සිටියෙමු. සොකරියේ කල එළි දැක්මට මුල පුරන ලද්දී දිනූෂා රාජපතිරණයි. ඈ එකගෙයි සොකරිගේ නිෂ්පාදන විධායිකාවයි. ජැක්සන්ගේ පර්යේෂණ සහායිකාවයි. මාධ්‍ය දැක්මක හුරු පුරුදු සිනමා කෘතිය තිරගත වනු වෙනුවට දිනූෂා අප අමතන්නීය. එකගෙයි සොකරිගේ පසුබිම් කතාවට පෙර මාධ්‍ය හෙළිදරව්වට පැමිණි පිරිස පිළිත්තීය.

දින 21 න් රූගත කිරීම අවසන් කළා යැයි පැවසෙන නිර්මාණයට පසුබිම් වූ බිබිළ, ඇකිරියං කුඹුර, නිල්ගල, කොටගල ගම් පියස් හි සුන්දරත්වය කැමරාවට හසු කර ගත්තා වූ චන්න දේශප්‍රියගේ රූපාවලිය මාධ්‍ය සගයනට දකින්නට සැලැස් වූවාය. එකගෙයි සොකරියේ අයිතිකරුවාට තම නිර්මාණය පිළිබඳ මාධ්‍ය සගයන් දැනුවත් කරන්නැයි ඉල්ලා සිටිය පසු අප සිතූයේ සුපුරුදු අධ්‍යක්ෂ ආමන්ත්‍රණයකින් විනාඩි තුන හතරක කෙටි හැඳින්වීමකින් පසු සිනමා කාර්යය නරඹන්නට ලැබේය කියායි. එහෙත් එවැන්නක් සිදු නොවිණ.

ජැක්සන් සුපුරුදු දීර්ඝ දේශන ශෛලියෙන් බැහැරව සොකරියගේ පුරා වෘත්තියට පැමිණෙන්නට පෙර සිංහල සිනමා වංශ කතාවේ ජාතිකත්වය හඳුනා ගත් අධ්‍යක්ෂවරයා ලෙස සිරිසේන විමලවීර හැඳින් වීය. ඔහුගේ නවජීවන චිත්‍රාගාරයේ නිෂ්පාදනය වූ කෘති ඔස්සේ සිංහල සිනමාවේ ජාතික ලකුණ සටහන් කළ වග පැවසූයේ ඒ කර්තව්‍යයෙහි අද දවසේ සක්‍රීයව නිරතව සිටින්නා හඳුන්ව දෙමිනි. පොතපතක් දොරට වැඩුමකදී එකී නිර්මාණය විශේෂිත ආරාධිතයෙකුට පුදනු ලැබීම අපට ආගන්තුක නොවේ. එහෙත් මාධ්‍ය හමුවකදී චිත්‍රපටයක් පුදනු ලැබීමක් මා මීට පෙර අසා නැත. දැක නැත. එහෙත් එවැන්නක් ජැක්සන්ගේ මාධ්‍ය හෙළිදරව්වේදී අත්විඳින්නට අපට ඉඩ ලැබිණ. එය අපූර්ව අත්දැකීමකි. එකගෙයි සොකරිය සමාගමයක් හමුවේ පුදනු ලැබූයේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හටය. සිනමාකාර විමලවීරයන් ගත් මඟෙහිම ගමන් ගනිමින් ජාතික සිනමාවේ සක්‍රීය චරිතයක් වන අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නටය. ජැක්සන්ගේ නිහතමානී ගුණ ගරුකත්වය, ගුරු බැතිය එහිදී අපි දුටුවෙමු. නිරතුරුවම ශාස්ත්‍රීය ගවේෂණයෙහි හා පර්යේෂණයෙහි නිරත සුනිල් ආරියරත්න වැනි විද්වතෙකුගේ කාර්යභාරය ගමන් මඟ පිළිබඳ පර්යේෂණයක් නොවීමේ අඩුව ජැක්සන් සිහිපත් කළේය.

මේ අතරතුර අප නොසිතූ විරූ සිදුවීමකි. අනූෂාගේ ඇරැයුමෙන් සොකරිගේ ප්‍රාණවායුව බඳු ප්‍රධාන භූමිකා ඩුංගුරා, ඩිංගිරා, කුංකුනා ආදීන් භේරි වාදන මධ්‍යයේ වේදිකාවේ අසුන් ගන්නවා දිටිමි. චිත්‍රපටයේ ඔවුනට හිමි වස්ත්‍රයෙන්ම (භික්ෂූන් හැර) නළු නිළි පිරිසත් මාධ්‍ය දර්ශනයකට සහභාගි වනු දැකීමම අසිරිමත් දැකුමක් විය.

සේදර මැණිකේ, මොණරා, බාලයා, දළුමලී, කුංකුනා, චුංගුරා ඩිංගිරා ආදී ප්‍රධාන භූමිකා මාධ්‍ය අමතත්දී මාධ්‍ය හමුවේ රඟපාද්දී ඔවුනගේ රූපාවලින් පසුබිම් තිරය මත දිස්වනු දිටිමි. එකී රූ පෙළ ගැස්ම හා සජීවී ඇමතුම් තුළින් මාධ්‍ය සමාගම එකගෙයි සොකරිය පිළිබඳ අපූරු වින්දනක් ලද බව නොකියාම බැරිය. සැබෑ සොකරිය කවදා දකින්නට ලැබේදෝ ද යන ආසාවෙන් ප්‍රේක්ෂකාගාරය මඬනා ලද බව අපට දැනිණ.

මාධ්‍ය හෙළිදරව්වේ අධ්‍යක්ෂක අරමුණ, චිත්‍රපටය ප්‍රදර්ශනය නොකොටම ලබාගන්නට ජැක්සන් සමත් වන්නේ ඔහුගේ සංකල්පයෙහි නැවුම් බව විචිත්‍රත්වය පෙළ ගැස්මෙහි වූ සංයමය කාල කළමනාකරණය හා ප්‍රධාන වශයෙන් ප්‍රසංගයක් නොවූ මාධ්‍ය හෙළිදරව්වෙහි පිටපතෙහි ගුණාත්මක බව නිසාය. ජැක්සන් පැවසූ ලෙස ඔහුගේ කිසිදු සහභාගීත්වයකින් තොරව පිටපත ලියූ දිනූෂා රාජපතිරණට එහි සියලු ගෞරව හිමි විය යුතු වේ.

නවතම සිනමා කෘතියක් සඳහා පැවැත්වෙන මාධ්‍ය හමුවක ඉතිහාසයේ ප්‍රථම වරට චිත්‍රපටය ප්‍රදර්ශනය නොකොට ජැක්සන්ගේ නවතම සංකල්පය අනුව ඔහු අපට ප්‍රදානය කරන්නේ කෙබඳ නිර්මාණයක්ද? ඔහුගේම වචන මෙසේය. සොකරි රජ කතාවක් නොවේ. ළමා කතාවක්, ඉස්කෝලෙ කතාවක් නොවේ. ඉන්දීය අනුකරණයක් හෝ රීමේක් එකක් ද නොවේ. ගමේ දුප්පත්කම අසාධාරණය, පීඩනය පිළිබඳ කිලිටි චිත්‍රයක් නොවේ. ගමේ පොහොසත්කම, සදාචාරය, සංස්කෘතිය පිළිබඳ පම්පෝරියකුත් නොවේ.

ඉංග්‍රීසින් අත්හැර දැමූ ගම කෙළවරක ජීවත් වූ නිර්ව්‍යාජ ගැමියන්ගේ ඇත්ත කතාව. එනම් බහු පුරුෂ විවාහයෙන් ඒක පත්නී වෘතය රැක ගත් කුලවමියකගේ කතාවයි සොකරි.

මාධ්‍ය හමුවේදී දුටු රූපාවලියේදී අප සිත දැල් වූ අපේක්ෂාව විශාලය. නොදුටු සිනමාවක් පිළිබඳ පේන කීම උගහට වුවත් ජැක්සන් පළමු වතාවට මාධ්‍ය පිළිසඳරක් සඳහා හඳුන්වා දුන් අපූරු සංකල්පය ලෙසම ඔහුගේ සොකරිය ද ඔහුගේ සිනමාවේ මෙන්ම අපගේ සිංහල සිනමාවේද හරස්කඩක් සටහන් කරනු ඒකාන්තය. එය එසේම වේවායි යනු අපගේ පැතුමයි.

මාධ්‍ය හමුව අවසන නිෂ්පාදනයට දායක වූ ටී බෝයිගේ සිට සියල්ලන් මාධ්‍ය හමුවට කැඳවමින් ඔවුනට දැක් වූ ආචාරය අගය කරමි. දෙහෝරාවක් වැනි කාලයක් තුළ ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටයක් පිළිබඳ ජැක්සන්ගේ නව ඉසව් සංකල්පය ආස්වාදජනකය. හමාර තීරයෙන් කළ සුබපැතුම මෙන්ම එකගෙයි සොකරි චමත්කාර ජනක සුන්දර චිත්‍රපටයක් මඟින් ජීවිතයට නව අරුතක් එක් කරන නිර්මාණයක් වේය යන්න ද අපගේ ඒකායන විශ්වාසයයි. පැතුමයි.

චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක්ද?

ජැක්සන්ගෙන් ඉගෙන ගන්න.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.