සංසාර සෙක්කුවේදී හමුවෙයිද?

මැයි 30, 2019

‘සෙක්කුව’ අපේ කට්ටියෙන් තවත් එක් කෙනෙක් අඩු වුණා. අම්මා එසේ කීවේ මගේ දුරකථන පණිවිඩයට සංවේදී වූ හඬිනි. ‘සෙක්කුව’ යනු 1970 අග භාගයේ බිහි වූ වේදිකා නාට්‍ය අතරින් අදටත් රසිකයන්ගේ මතකයෙන් ගිලිහී නොගිය නාට්‍යයකැයි කීවොත් කිසිවකු එරෙහි නොවනු ඇත. 1976 රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය රචනයට පරාක්‍රම නිරිඇල්ල ද, හොඳම සංගීත නිර්මාණයට සැම්සන් සිල්වා ද, හොඳම අංග රචනය සහ ඇඳුම් නිර්මාණයට හීනටිගල ප්‍රේමදාස ද, විශිෂ්ට රඟපෑම් කුසලතා සඳහා ගාමිණී චන්ද්‍ර කීර්ති හෙට්ටිආරච්චි ද, රඟපැම් කුසලතා සඳහා සැනට් දික්කුඹුර සහ ලින්ටන් සේමගේ ද සම්මාන හිමිකර දුන් සෙක්කුවේ ගීත තවමත් රියැලිටි වේදිකාවල පවා අසන්නට ලැබීම එයට හොඳම සාක්ෂියයි.

සෙක්කුවේ කණ්ඩායමේ රසකතා අපේ ගෙදර නිතර අසන්නට ලැබෙන්නේ එහි සංගීතය මගේ තාත්තාගේ වීමත්, අම්මා ද (පෙම්සිරි) එහි ගායන වෘන්දයේ සිටීමත් නිසාය. එමෙන්ම එදා අත දරුවකු වූ මට සෙක්කුව ශිල්පීන් සියලු දෙනා මාමලා සහ නැන්දලාය. ඒ නිසා ගාමිණී හෙට්ටිආරච්චි ප්‍රවීණ රංගන ශිල්පියා ද මට ගාමිණී මාමා විය.

ඒ නිසා මම සරසවියට ආ කනගටුදායක ආරංචිය අම්මාට කීවේ ‘ගාමිණී මාමා නැති වෙලා’ යනුවෙනි. අම්මාගේ පිළිතුරට හේතුව අප අතරින් වියෝ වූ ග්‍රැන්විල් රොද්‍රිගු, එච්. ඒ. පෙරේරා, සරත් අමරවංශ, සිරිසේන සූරිආරච්චි සහ මගේ පියාණන් වන සැම්සන් සිල්වා යන සෙක්කුවේ පළමු නිෂ්පාදනයේ පිරිස සහ එහි දෙවැනි නිෂ්පාදනයේ රංගනයෙන් දායක වූ ඇන්ටන් ජූඩ් යන නම් අතරට ගාමිණී හෙට්ටිආරච්චි නම ද මෙතැන් සිට එක්වීමේ තිගැස්ම නිසාය.

ගාමිණී මාමා වේදිකාවේ, සිනමාවේ මෙන්ම පුංචි තිරයෙන් ද ජනප්‍රිය නළුවකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. ‘මීපුර වැසියෝ’ නාට්‍යයේ ‘ගොටු තුළ ලා, ලා, ලා, ලා, ලා යනුවෙන් තාලයට කියන්නට යළි ඔහු වේදිකාවට ගොඩ නොවන බව අපි දන්නෙමු. සිඳුගේ සීයාට දැන් කුමක් වනවා ඇත්දැයි කියන්නට දන්නේ කවුද? එහෙත් යශෝරාවයේ සුනිමල්, ඔහුට උණ්ඩා සම්මාන හිමිකර දුන් දඩබිමේ මන්දබුද්ධික චරිතය, සිල්ලර සමනල්ලු, අපේ ආදරේ, සුද්දිලාගේ කතාව, බහුබූතයෝ, අයෝමා, සිංහාවලෝකනය, බෙකට් හොඳම නළුවා වූ අපරාධය හා දඬුවම වැනි අති විශාල වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා කෘති ඔහුට අපෙන් සමු ගැනීමට ඉඩ නොදෙනු ඇත.

මා සෙක්කුවේ රාළගේ චරිතය ඔහුට හොඳින්ම ගැළපෙන බව කීවේ ඔහු සතු ජාතික හැඟීම පිළිබඳ දන්නා නිසාය. එයට හේතුව ගාමිණී මාමාගේ පියාණන් වූ ස්ටැන්ලි අලස් හෙට්ටිආරච්චි මහත්තයා නිරන්තර ඔවුන් සමඟ සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කළ කතා බවත් පියදාස සිරිසේනයන්ගේ පොතපත බවත් වරින්වර හිතමිතුරු නිවෙස්වල සාදවලදී පවසනු මම අසා ඇත්තෙමි. 1951 ජූලි 24 වැනිදා සෝමා හෙට්ටිආරච්චි මවගේ බඩපිස්සා ලෙසින් උපන් ගාමිණී මාමාට (ගාමිණී චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චිට) වැඩිමල් සොයුරියන් තිදෙනෙක් සහ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ පියා කෙතරම් අධිරාජ්‍ය විරෝධියකු ද යත් තාත්තාගේ කීමට පොපි මල් ව්‍යාපාරයට එරෙහි වීම නිසා ගාමිණී මාමලා ඉස්කෝලේ ගුරුවරුන්ගේ දෝෂාරෝපණයට සහ වේවැල් කසායට ද නතු වූ අවස්ථා පවා තිබිණි.වැඩිමහල් සොයුරියගේ වේදිකා නාට්‍ය පිස්සුවත්, ඊළඟ අක්කාගේ චිත්‍රපට පිස්සුවත් අවසානයේ පොඩි මල්ලී නළුවකු වන්නට මඟ පෑදුවේය. නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගාමිණී හෙට්ටිආරච්චිට සෝමලතා සුබසිංහ නම් ප්‍රවීණ නාට්‍යවේදිනිය මුණ ගැසෙන්නේ මේ අතරය. ඇයත් පාසලේ නාට්‍ය ගුරුතුමාත් එක්ව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එලොව ගිහින් මෙලොව ආවා සහ රත්තරන් නාට්‍යද්වය නව නිෂ්පාදන ලෙස නිර්මාණය කළෙන් එහි රඟපෑ ගාමිණී හෙට්ටිආරච්චි ශිෂ්‍යයාට ධම්ම ජාගොඩ නාට්‍යවේදියාගේ වෙස් මුහුණු වේදිකා නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබිණි. විදුහල්පතිතුමන්ගේ ද ආශිර්වාදයෙන් විමල් කුමාර ද කොස්තාගේ අභිරූපණ රංග ප්‍රසංගය පාසල් දර්ශනයක් මඟින් පාසලට යක් බෙරයක් ලබා ගන්නට ගාමිණී ශිෂ්‍යයා මුලික විය.

විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ පෙනී සිටිය ද ඔහු රුසියානු ගත්කරුවන්ගේ පොතපතට මහත් ඇල්මක් දැක්වීය. එහි ප්‍රතිඵලය ඔහු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය ගැනීම දක්වා මෙහෙය විය.

තාත්තා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ වූ ගාමිණී පුතාද නාලන්දා විදුහලේ 14 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ද එක් වී සිටියේය. කරාටේ ඉගෙන ගෙන තිබුණ ද ඔහු කිසිවකුටත් අත එස වූ බවට කිසිදු ආරංචියක් නැත.

අපේ අම්මා කියන ආකාරයට සෙක්කුව නාට්‍ය කණ්ඩායමේ සිටි කාන්තාවන් අතරින් කෙනකු වූයේ සුභාෂිණී හෙට්ටිආරච්චිය. ඒ ගාමිණී හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳයි. යමුනා හා අශෝකා අනෙක් ගායිකාවන් දෙදෙනායි. සුබා නැන්දාගේ මතකය මට ඇත්තේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා පාසලේ අපේ ගුරුවරියක ලෙසිනි. ගාමිණී සුබා විවාහය සිදු වූයේ 1983 දීය. ඔවුන්ට ශක්ති හෙට්ටිආරච්චි පුතුණුවන් සහ ප්‍රතිභා හෙට්ටිආරච්චි දියණිය දෑස බඳු විය. ප්‍රතිභා නංගි අධ්‍යාපනයට මෙන්ම රංගනයට ද උපන් හපනියක බව දැනගත්තේ සිග්නිස් සම්මාන උලෙළකදීය. එසේම ඇය ගාමිණී මාමා සීයා කෙනකු කළේ දෙතාධි පුතු සහ ස්වාරා දුව දායාද කරමිනි.

සම්පූර්ණ වූ මේ පවුලේ බර දරන්නට ගාමිණී මාමාට ඔහුගේ රැකියාව මහත් රුකුලක් වූ බව සැක නැත. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි නිලධාරි තනතුර හෙබවීය.

කලාකරුවකු වීම පිළිබඳ ගාමිණී මාමා සිටියේ අභිමානයෙනි. එයට හොඳම සාක්කිය දිනක් මගේ නෑනණ්ඩිය විශ්වවිද්‍යාලයේ නාට්‍යයක් කිරීම සඳහා කැට එකතු කිරීමට දුම්රියට ගොඩ වූ විට කලාකරුවන් හිඟන්නන් කරන්න එපා යැයි කියමින් සැරවීමය.

සේකකුවට 40 ක් පිරුණු 2017 වසරේ ජනකරළියෙන් පිදූ සම්මානය අතැතිව වේදිකාවේ ගාමිණී මාමා ද සිටි අයුරු අදත් මැවී පෙනේ. ඉන් දෙවසරකට පසු ඔබ මෙසේ සමු ගනු ඇතැයි තවමත් අපට විශ්වාස කළ නොහැකිය. සෙක්කුවක් මෙන් කැරකෙන මේ සංසාර චක්‍රයේ යළි අප හමුවේදැයි කියන්නට දන්නේ කවුද ගාමිණී මාමේ . . .

අද (30 බ්‍රහස්පතින්දා) සවස 4.00 ට ඔබ උපන් නාවල ගමේදීම එහි පොදු සුසාන භුමියේ ඉඩක් සොයාගෙන ඔබ අපෙන් සමු ගනු ඇති. එහෙත් ඔබේ රංගනය අප තනි නොකරනු ඇති!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.