රංගනයට අභිමානයක් වූ ලැඩී රණසිංහ

මැයි 16, 2019

මට ලැඩී රණසිංහ විශිෂ්ට රංගවේදියා මුල්වරට හඳුන්වා දුන්නේ ජනප්‍රිය විකට නළුවකු වූ ඇන්තනි සී. පෙරේරා විසිනි. ජාඇල තුඩැල්ලේ ඇන්තනී පදිංචිව සිටි නිවසට යාබද මීගමු පාරේ රුක්මණී දේවිය අනතුරට පත් වී මියගිය ස්ථානයට ඔන්න මෙන්න මානයේය ලැඩීගේ නිවෙස වූයේ. ඔහු හඳුනා ගැනීමට පෙර ලැඩීගේ ප්‍රතාපවත් කටහඬ ගුවන් විදුලියේ වෙළඳ අංශයෙන් අසා තිබුණි.

‘ඔය කතා කරන්නේ ලැඩී රණසිංහ. එයා තමයි වැඩසටහන එනවුන්ස් කරන්නේ’ මගේ අම්මා කියා ඇත.

ඒ වන විට (1957) දස හැවිරිදි මා ‘සුකුමලී’ චිත්‍රපටයේ ඔහු එහි රඟපෑ වල් හාමුගේ දුෂ්ට චරිතය දැක තිබුණි. ලොකු කබායක් ඇඳ, තොප්පියක් හිස දාගෙන බස්තමක් අතින් ගත් මේ නපුරු මිනිසා ගැන මට බියක් තිබුණි. ගුවන් විදුලියෙන් ද ඇසුණේ ඒ ගොරෝසු හඬය.

ලැඩී එදා තුඩැල්ලේ ගෙදරදී හමු වන විට ඔහු ‘දෙවියනි ඔබ කොහිද’ චිත්‍රපටයේ බිෂොප්වරයකු ලෙස රඟපෑමට සූදානම්ව සිටියේය. මේ චිත්‍රපටයේ නිෂ්පාදක ජෝශප් වනිගරත්න අපේ සමීප හිතවතෙකු නිසා මට ඉඳහිට ඔහුගේ දඬු මෝටර් සයිකලයේ නැඟී ලැඩී හමුවීමට යාමට අවස්ථාව ලැබිණ. මේ 1973 වසරේ විය හැකිය.

රුක්මණී දේවි 1978 මියගිය අතර ඇය වෙනුවෙන් ‘උපහාර චිත්‍රපට උලෙළක්’ පැවැත්වීමට එවක අග්‍රාමාත්‍යව සිටි ප්‍රේමදාස මහතා ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතාට යෝජනා කළේය. බෝධිනාගොඩ මහතා එය ‘සරසවිය’ කර්තෘ ධර්මදාස බොතේජුට පැවරීය. කර්තෘ මහතා එහි සංවිධායක ලෙස මා පත් කළේය. මම රුක්මණී රඟපෑ චිත්‍රපට 14 ක් ඇතුළත් දෙසතියක චිත්‍රපට උලෙළක් ටවර් රඟහලේ පැවැත්වීමට කටයුතු (1979 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 7 දක්වා) කළෙමි. එය ප්‍රදර්ශනය වන 6.00 දර්ශනයට ඒ ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රධාන නළුවෙකු ප්‍රධාන අමුත්තා විය යුතු යයි මම යෝජනා කළෙමි. එය අනුමත වූ පසු අගෝස්තු 24 වෙනිදා තිරගත වූ ‘මංගලිකා’ චිත්‍රපටය දා ප්‍රධාන අමුත්තා වූයේ ලැඩීය. ඔහු ටවර් ශාලාවට ගෙන ඒම හා ගෙදරට යළි ඇරලවීම ද මට පැවරිණ. මට මෙයින් ලැබුණු වාසිය වූයේ ලැඩීගේ චිත්‍රපට ජීවිතය ගැන අපූරු තොරතුරු ටිකක් ලබා ගැනීමය. ජාඇල සිට මරදානටත්, මරදානේ සිට නැවත ජාඇලට යනතෙක්ම ඔහු මේ රසකතා තළු මර මරා විස්තර කළේය. චිත්‍රපටය නිමා වූ පසු සරසවිය කර්තෘ අප දෙදෙනාව බුහාරි හෝටලයට කැඳවාගෙන ගොස් සංග්‍රහයක් කළ අතර ඊට කලින් මෝටර් රියේම ලැඩී මධු විතකින් සංතර්පණය වී සිටියේය.

මම ලැඩී ගැන සරසවියට විශේෂාංග කිහිපයක්ම ලිවීමි. එඩී ජයමාන්න 1981 මිය ගිය දිනයේ එඩී ගැන ලැඩීගේ අදහස් කැටි කොට ලිපියක් සරසවිය (1981 – 08 – 14) දින ලීවෙමි. මේ ලිපිය ලිවීමට තුඩැල්ලට ගිය විට ලැඩීගේ දෑසින් කඳුළු කඩා වැටුණු හැටි මට තවමත් මතකය. එදා ඔහු මෙසේ පැවසීය.

‘මගේ ජීවිතයේ සමීපතම හිතවතා එඩී. අපි දෙන්නා එක කුස සහෝදරයන් හැටියට හැදී වැඩුණේ. ඔහු මට වඩා වසර දෙකකට බාලයි. මට ඔහු කතා කළේ ‘ලැඩී අයියා’ කියලා. ඒ දවස්වල එඩී සති අන්තයේ අපේ ගෙදර නතර වෙන්න එනවා. ඇතැම් විට මගේ බත් පිඟාන අපි දෙන්නා එකට කනවා. අපි දෙන්නම රඟපෑමට ආශාවක් දැක් වූ නිසා අපේ අධ්‍යාපනය ඇන හිටියා. අපි දෙන්නව ගෙදරිනුත් පැන්නුවා. කොහොම හරි අපි නාට්‍යවලට සම්බන්ධ වුණා කියමුකෝ. මුලදී එක දවසකට එඩී, රුක්මණීට හා මට වේදිකා නාට්‍යයක රඟපානවට ලැබුණේ සිලිං පහක් හෙවත් රුපියල් දෙකයි පනහයි. පස්සේ අපි ජනප්‍රිය වුණාම ඒක සියය වුණා.’

ලැඩී මුලින්ම මීගමුවේ හියුගෝ ප්‍රනාන්දු සමඟ එක්ව ‘යාඥාවේ මහිමය’ නමින් නාට්‍යයකින් කලා ලොවට පිවිසියා. මේ නාට්‍ය දුටු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තම මිනර්වා නාට්‍යවලට සම්බන්ධ කර ගත්තේය. මිනර්වා නාට්‍යවලින් ඉවත් වූ ලැඩී ‘ආකෝඩියන්ස්’ නාට්‍ය සමාගම පිහිටුවා ගත්තේය.

ලැඩී රණසිංහ වේදිකා නළුවකු, රචකයකු මෙන්ම නිෂ්පාදකවරයකු ලෙස කැපී පෙනුණේ හතළිහ දශකයේදීය. 1945 ලැඩී ශේක්ස්පියර්ගේ ‘හැම්ලට්’ නාට්‍යය වේදිකාවට ගෙන ආවේය. හැම්ලට් කුමරු ලෙස රඟපෑවේ ඔහුය. මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ ‘අලුත් ශ්‍රී ලංකාවේ ජාතික වංශ කතාව’ කෘතියේ ඒ පිළිබඳව මෙසේ සඳහන්ව ඇත.

‘1945 දෙසැම්බරයේ ශේක්ස්පියර් නළු ජෝන් ගිල්ගුඩ් රඟපෑ (හැම්ලට්) රීගල් දර්ශනය බොහෝ දෙනාට ළං විය නොහැකි අවස්ථාවක් විය. ඒ නොදැක්ම පාඩුවක් නොවන තත්ත්වයට පත් කළ හැකි නළුවා නම් ලැඩී රණසිංහය. ලැඩී රණසිංහගේ ‘හැම්ලට්’ නිෂ්පාදනය නැරඹූ විට ගිල්ගුඩ්ගේ අමුත්තක් නැතැයි ප්‍රේක්ෂකයන් වටහා ගනු ඇතැයි කියවිණ.’

පී. ද ඇස්. කුලරත්නට අයත් මරදානේ නැෂනල් නෘත්‍ය ශාලාවේ (පසුව එය ගාමිණී සිනමාහල විය) වේදිකා ගත වූ ලැඩී රණසිංහගේ නාට්‍යය තුඩැල්ලේ ආකෝඩියා නාට්‍ය කණ්ඩායම මඟින් නිෂ්පාදනය විය. 1945 වසරේ තම නාට්‍ය කණ්ඩායමේ නම ලැකෝනියන්ස් ලෙස නම වෙනස් කරගෙන ‘නිකං ආවා’ නම් නාට්‍යයක් වේදිකා ගත කොට ඇත. 1947 පෙබරවාරි මහා මැතිවරණ උණුසුමත් සමඟම ‘එම්. පී. 1950’ (1950 පාර්ලිමේන්තු මන්ත්‍රී) නාට්‍යයක් ලැඩී රණසිංහ නිෂ්පාදනය කළ බව මහාචාර්ය කාරියවසම් දක්වා ඇත. මේ නාට්‍ය කතුවරයා ඒ. එම්. ද සිල්වාය. ඔහු මොරටු විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයා වූ අතර මේ නාට්‍යය ලංකා සමසමාජ පක්ෂයට ලැදි වූ සෝමවීර චන්ද්‍රසිරි සහ සිල්වා මේ නාට්‍යයට එක් වූ බව ද එහි සංගීත අධ්‍යක්ෂවරයා බී. එස්. පෙරේරා බවත් කියවේ.

ලැඩී රණසිංහගේ නාට්‍යවලින් රඟපෑමට එක් වූ නළු නිළියන් ඉන්පසු කලා ලෝකයේ කැපී පෙනුණා.

කවුද මේ ලැඩී රණසිංහ?

1913 මාර්තු 23 වෙනිදා ජාඇල, තුඩැල්ලේ උපත ලැබූ ලැඩිස්ලෝස් පෙරේරා රණසිංහ හලාවත දේවස්ථානයේ ඉංග්‍රීසි පාසලින් ඉංග්‍රීසි උගෙන කතෝලික සභාවේ පරිවර්තකයකු ලෙස සිය ජීවන වෘත්තිය අරඹා ඇත. ඔහු මිනර්වා නාට්‍යවල රඟපෑමේදී ‘ලැඩිස්ලෝස්’ ‘ලැඩී’ නමින් කලා ලොව බෞතීස්ම කර ඇත්තේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසිනි. ලැඩී ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම රේඩියෝ නාට්‍ය ශිල්පියකු වූයේ විලී විජේමාන්න (පසු කලෙක ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු විය) නිසාය. වෙළඳ සේවයේ මා වැඩ සටහන් නිෂ්පාකවරයෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබිණ. ඒ අතරම ලැඩී ලියූ ඒකාංගික නාට්‍ය ඉරිදා පුවත්පත්වල පළ විය. ‘අන්දරේ’ ගැන ලියූ එක් නාට්‍යයක් පාඨකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

ලැඩී මුලින්ම රඟපෑ චිත්‍රපටය විදේශික චිත්‍රපටයක් වූ 1948 ලංකාවේ රූගත කළ කීර්තිමත් ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂ කැරල් රීඩ් අධ්‍යක්ෂණය කළ ඊඩඥ ර්‍ණභබජචඵබ ධට ඊඩඥ ධ්ඵතචදඤඵ චිත්‍රපටයයි. ‘දිවයින්වල කුලහීනයා’ නමින් සිංහලයෙන් හැඳින් වූ මේ චිත්‍රපටයේ රඟපෑමට කැරල් රීඩ් තමාව තෝරා ගත්තේ සහජ දක්ෂතාවකින් යුත් නළුවකු හඳුනා ගැනීමේ බුද්ධියක් අධ්‍යක්ෂවරයාට තිබූ නිසා යයි ලැඩී අප සමඟ පවසා තිබුණි.

කැරල් රීඩ් නිසා සිංහල වේදිකාවේ අස්සක සැඟ වී තිබූ මැණිකක් මතු විය.

ලැඩීගේ මුල්ම රඟපෑම් සහිත මුල්ම චිත්‍රපටය ‘ප්‍රේම තරඟය’ යි. එය තිරගත වූයේ 1953 වසරේදීය.

කැරල් රීඩ්ගේ චිත්‍රපටයෙහි ලැඩීගේ රැඟුම් නිසා එම චිත්‍රපටය ප්‍රදර්නය කළ විදේශයන්හිදී ලංකාවට ජගත් කීර්තියක් අත්කර දුන්නේය. රඟපෑම පිළිබඳ ප්‍රසිද්ධියකට හා ගෞරවයකට ලංකාව පත් කළ එකම නළුවා ලැඩී බව සිළුමිණ පුවත්පතේ සඳහන් කර තිබුණි.

‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේ ලැඩී රඟපෑවේ අහිංසක ලිපිකරුවෙකු, කාරුණික සැමියෙකු, සෙනෙහෙබර පියෙකුගේ චරිතයයි. ඔහුගේ බිරිඳ ලෙස නැන්සි ඩයස්, පුතා ලෙස අරුණ ශාන්තිත් රඟපෑහ. ‘ප්‍රේම තරඟය’ දුර්වල නිෂ්පාදනයක් බවත්, එහෙත් එය කම්මැලි නැතිව හුදු ජාතක ආඩම්බරයකින් බලා සිටිය හැක්කේ ලැඩී නිසා බව විචාරකයන් කියා තිබුණා. අමරදාස වීරසිංහ ‘සංස්කෘති’ සඟරාවෙන් ලැඩීට මල් කලඹක් පිළිගන්වා තිබුණි.

ඔහු දකුණු ඉන්දියානු චිත්‍රාගාරයක සිදු වූ අත්දැකීමක් අපට විස්තර කළේ මෙසේය.

‘වරක් මම ඉන්දියානු චිත්‍රාගාරයක රඟපාමින් සිටියා. කැමරාව එල්ල කර තිබුණු හැටියට මා නැඟී සිටියොත් මගේ හිස කොටස පින්තූරයට නොඑයි. කතාවේ හැටියට මා දුම්වැටියක් උරමින් සිටියදී මගේ පියා ලෙස රඟපාන නළුවා ආවා. අපේ රටේ හැටියට පියා එන විට පුතා උරමින් සිටින දුම්වැටිය සඟවමින් නැඟී සිටින සේ මම නියම සිංහල පුතකු සේ රඟපෑවා.

‘හා හා නැගිටින්න එපා. නැගිට්ටාම ඔබේ ඔළුව රූප රාමුවට එන්නේ නෑ.’

‘මට ඒකට කරන්න දෙයක් නෑ. මම හරියට රඟපාන්න ඕනෑ. ඔළුව පින්තූරයට ගැනීම ඔබට අයිති වැඩක්. මම කිව්වා.’

ලැඩී රණසිංහගේ චිත්‍රපට ගණන ප්‍රමාණයෙන් අඩුය. එයට හේතුවක් තිබිණි. වරක් ඔහුගෙන් අධ්‍යක්ෂවරයෙකු මෙසේ අසා ඇත.

‘ඔබ සෑහෙන රැකියාවක් කරන කෙනෙක්. චිත්‍රපටය සඳහා ඔබ කෙපමණ මුදලක් අය කරනවාද.’

ලැඩී ගණනක් කීවේය. ඔහු එය කීවේ රඟපෑමේ ගරුත්වය සලකාය.

‘මට නිකම් කලාන්තයක් වගේ දැනුණා’ අධ්‍යක්ෂවරයා ලැඩීට කියා ඇත.

එදා ඔහු සිතුවේ හිතට එකඟවය. ගාමිණී ෆොන්සේකාට පෙර චිත්‍රපටයක රඟපෑම උදෙසා වැඩිම මුදලක් අය කළ ලාංකික නළුවා ලැඩීය. මේ නිසා ඔහු චරිත ගණනාවක් ප්‍රතික්ෂේප කළේය. ලැඩී අත්හල චරිත අතර ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ ජුවානිස් (වින්සන්ට් වාස් රඟපෑ චරිතය) වනමෝහිනී’ හි පූසාරියා (පියදාස ගුණසේකර), අසෝක පොන්නම්පෙරුම ‘සුනීතා’ රඟපෑ චරිත ප්‍රධානය. ඒ නිසා ලැඩීගේ රංගනය චිත්‍රපට එකොළහකට සීමා විය.

ප්‍රේ්ම තරඟය (1953), වරද කාගේද?, රදල පිළිරුව (1954), දුප්පතාගේ දුක (1956), සූරයා, සුකුමලී, වීර විජය, මංගලිකා (1963), ළාදළු (1965), සැඟවුණු මැණික (1967), දෙවියනි ඔබ කොහිද (1977) ලැඩී රඟපෑ චරිතය. රදළ පිළිරුවේ රපියෙල් බාස්, දුප්පතාගේ දුක (බලදේව), ‘සූරයා’ (සුරඹා), සුකුමලී (වල්හාමු) ඔහුගේ හොඳම රඟපෑම්ය.

ලැඩී ප්‍රතිපත්ති ගරුක නළුවෙකි. නිහතමානී නළුවෙකි. කුහක ගති තුරන් කළ නළුවෙකි. එක උදාහරණයක් මට මතකය. 1956 වසරේ ලැඩී රඟ පෑ ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටය ඔහු හොඳම නළුවා ලෙස අභිෂේක ලැබීය. 1957 වසරේ දීපශිඛා සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිවීමම එයට සාක්ෂිය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන විට චිත්‍රපට නළුවෙකු ලෙස නිහතමානීව දිනමිණට මෙසේ තම අවංක අදහස් පළ කර තිබුණි.

‘රේඛාව චිත්‍රපටය හා අපේ අනෙක් සිංහල චිත්‍රපට සසඳන විට පෙනී යන එක් කරුණක් නම් මා ඇතුළු මගේ සමකාලීනයන් මෙතෙක් කල් කර ඇත්තේ යක් නැටුමක් බවය. මා වැන්නෙක් අවුරුදු දහයක් උත්සාහ දැරුවත් මෙවැනි චිත්‍රපටයක් තව අවුරුදු දහයකින්වත් නිපදවීමට නුපුළුවන.

(දිනමිණ 1957 පෙබරවාරි 13)

ලැඩී තම රඟපෑ චිත්‍රපට අතරින් වඩාත් අගය කර ඇත්තේ ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ බලදේව හා නගරාධිපතිගේ ද්විත්ව චරිත නිරූපණයයි.

‘මගේ ජීවිතයේ අසීරුම රඟපෑම ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ රඟපෑවේ. මේ චිත්‍රපටයට මුලින් යොදා තිබුණේ ‘කාලකණ්ණියා’ කියලා. මේ චිත්‍රපටයේ මගේ විරුද්ධවාදියා ලෙස රඟපෑවේ මාක් සමරනායක. ඔහු මගේ චිත්‍රපට ජීවිතයේ දුටු විශිෂ්ට රංගවේදියා. මාක්ගේ චිත්‍රපට ජීවිතයේත් විශිෂ්ටම රඟපෑම ඉදිරිපත් කළේ දුප්පතාගේ දුක’ චිත්‍රපටයෙන්. මට ඔහු සමඟ රඟපෑමට පහසු වුණා ඔහු මට රංගනයනේ ප්‍රබල අභියෝගයක් වුණ නිසා. මා රඟපෑ අසීරුම දර්ශනය මම සටන්කාමී විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව (ස්ටැන්ලි පෙරේරා) කරේ තියාගෙන කුණු ගඳ ගහන වතුරේ විශාල බෝක්කුවක් දිගේ මම ගමන් ගත්තා. පොලිස් ඉන්ස්පෙක්ටර් ජයසිංහ ලෙස රඟපෑ මාක් මාව ලුහුබඳිනවා. දකුණු ඉන්දියාවේදී රූගත කළ මේ දර්ශනයට කැමරා තුනකින් දින තුනක් ගත වුණා. වතුරේ සිටි නිසා සීතලය සෑදී ඇඟ කසන්න ගත්තා. එපමණක් නෙවෙයි මට සේලම් රෝහලේ දින තුනක් ගත කරන්න සිදු වුණා.

මම චිත්‍රපටයේ ධර්මවර්ධන නම් නගරාධිපති ලෙස රඟපාන දර්ශනයක ඉන්ස්පෙක්ටර් ලෙස රඟපාන මාක් මා අසලට එනවා.

‘එන්න එපා ඉන්ස්පෙක්ටර් මා ළඟට’

මම කියත්ම ඔහු තව තවත් ළං වුණා. මම අසල තියෙන පුටුුවක් අරගෙන මාක්ට ගහන්න තිබුණා.’

‘අනේ මචං මට හෙමින් ගහපන්’ මාක් දර්ශනය ගැනීමට පෙර මා අසලට ඇවිත් රහසින් කීවා.

ඒත් මම ඇත්තටම ගැහැව්වේ දර්ශනය තාත්විකව නිරූපණය කරන්න. එහෙම ගැහැව්වට පස්සෙයි මට බරපතළකම තේරුණේ. පුටුවේ තිබූ ඇණයක් මාක්ගේ පොලිස් කැප්එක පසාරු කරගෙන ගියා. මාක්ව එවලේම රෝහල් ගත කළා.

‘අනේ මචං මට සමාවෙයන්’ කියලා මම මාක්ව වැලඳ ගත්තා. ඔහු මට සමාව දුන්නා.’

ලැඩී හිනාවෙමින් එදා මට විස්තර කළේ ‘රදල පිළිරුව’ චිත්‍රපටයේ රපියල් බාස් නම් උපහාසාත්මක චරිතය ගැන. මේ චිත්‍රපටයේ රඟපෑම දැකලා මහ ගත්කරු ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාත් දෙබස් ලියූ ටී. බී. ඉලංගරත්න මහතාත් ප්‍රශංසා කළා. ‘ශූරයා’ චිත්‍රපටයේ මම රඟපෑවේ සුරඹාගේ චරිතය. ඔහු දාමරිකයෙක්.

‘සුරඹා අත එස වූ විට මුළු කොළඹම සෙල වෙයි’ නම් මගේ දෙබස මම බස් එකේ යන කොට මගේ රසිකයෝ කියලා සතුටු වුණා.

‘ශූරයා’ චිත්‍රපටයේ සූරයා ලෙස රඟපෑ ඇල්ප්‍රඩ් එදිරිමාන්න මා සමඟ කළ සටන ගැන එදා රසිකයන්ගේ විශේෂ ප්‍රසාදයට ලක් වුණා.

මාක් සමරනායක මට වරක් ලැඩී ගැන පවසමින් පවසා තිබුණේ මේ කතාවය.

‘මමත් ලැඩීත් මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගත්තා. මම ගිටාර් වාදනයෙන් ද ලැඩී නාට්‍ය රඟපෑමෙන් ද දක්ෂයන් වුණා. එක් කාලයක මාත් ලැඩීත් ශාන්ත ඇලෝෂියස් සෙමනේරියට බැඳී පූජකවරයකු වීමට ගියා. මාව නාට්‍ය රඟපෑමට මුලින්ම (1945) ලැඩී තෝරා ගත්තේ ඔහුගේ ‘මතභේදය’ නාට්‍ය සඳහා. ලැඩී, නෝන සුබෙයිදා, පියසීලි ෆොන්සේකා සමඟ මම පෙරකදෝරුවෙකු ලෙස රඟපෑවා.

ලැඩී දක්ෂයකු මෙන්ම නැඟී එන පරපුරට අත හිත දුන් එහෙත් ආඩම්බර චරිතයකි. මේ දක්ෂ ආඩම්බරකාර නළුවා 1983 මැයි 26 මිය ගියේය.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වරක් පැවසූ පරිදි මෙරට සිටි විශිෂ්ටතම නළුවා ලැඩී රණසිංහය.

ඒ.ඩී.රන්ජිත් කුමාර
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.