ප්‍රථම ප්‍රේමයේ අත්දැකීමෙන් ගීත රචකයකු ඉපදුණා

විදුර ඩයස් අබේගුණවර්ධන
මැයි 9, 2019

තාත්තෙකුයි දුවෙකුයි අතර තිබෙන සෙනෙහස් බැම්ම කොයි තරම් ද කියල ලියල කියල ඉවර කරන්න අසීරුයි. කුලුඳුලේම උපන් තම ආදරබර දියණියට මහාචාර්ය සනත් නන්දසිරි මෙහෙම කියනවා.

දූ අනුරාධා දූ අනුරාධා
කෝමල අත්පා සෙමින් සැලේ - හිනැහී යළි මව් තුරුළෙ වෙලී
හදවත රැඳි දුක් සෙමින් මැකී - ජීවිතයම සොම්නසින් පිරේ . . .'

එදා මේ ගී පදවැල් ඇමිණුවේ කවියෙකු, ගීත රචකයෙකු වූ බුද්ධදාස ගලප්පත්ති. ඒ කෝමල අත් පා සෙමෙන් සෙමෙන් ලොකු මහත් වූ අනුරාධා අද ලොකු ගැහැනියක්. හැබැයි මේ තාත්තගෙයි දුවගෙයි ආදරණීය හුරතලය නම් තාමත් පෙර පරිදිමයි. අනුරාධාගේ සියලු සංවේදනා, දුක, සතුට, කඳුළු, සිනා මේ සියල්ලක්ම සිය පියාගේ සොඳුරු සිප ගැනීමකින් කෙළවර වෙනවා. මේ ආදරය මුල් කොට ගනිමින් දූ අනුරාධා ගීතයට නව අරුතක් එකතු කරන්නට පසුගිය වසරේ පැවති දූ අනුරාධා ප්‍රසංගයේදී හැකි වුණා. අද අපි හමු වන්නේ ඒ නව අර්ථකථනයේ හිමිකරුවාව. ඔහු විදුර ඩයස් අබේගුණවර්ධන. විදුරගේ නව අරුත් පබැඳුම හරි අපූරුයි.

ඉමියුරු ගීයක් වෙද කුමන
මා ඇමැතුම මිසැ ඔබ නදින
මා ඇමැතුම මිසැ ඔබ නදින
ඉමියුරු ගීයක් වෙද කුමන

දූ අනුරාධා . . . දූ අනුරාධා

ඔබා සවන ළය ලය අසන
ඔබේ මිහිරි තරවටු පතන
ඔබ ඉඹැ ඔබැ සුවඳින් පිපෙන
ඔබමැ මිස ලොව අන් කවුරුද

දූ අනුරාධා . . . දූ අනුරාධා . . .

ඔබේ නදින් සුසරව නිතින
සදානන්ද ඉසියුම් තතින
ගැයෙන ඔබේ අස වෙණ ලෙසින
මටමැ මිස ලොව අන් කවුරුද

දූ අනුරාධා . . . දූ අනුරාධා . . .

විදුර අනුරාධාගේත් පියා සනත් නන්දසිරිගේත් ආදර හුරතලය හොඳින් දකින කෙනෙක්. නිතර දෙවේලේ නන්දසිරි පවුලේ ආශ්‍රය ලබන ඔහු අනුරාධා සිය පියා වෙනුවෙන් දක්වන ආදර සැලකිලි දෙස නිහඬව බලා සිටියා. අනුරාධා දුකක් ආ විටත් සිය පියා වැලඳ සිප ගන්නවා. පියා තරවටු කලත් සිප ගන්නවා. පියා හොඳක් කීවත් සිප ගන්නවා. නරකක් කීවත් සිප ගන්නවා. විදුරට මේක අලුත් අමුතු දෙයක්. ඔහුගේ කවි සිත මේ වෙනුවෙන් අකුරු අමුණනවා.

'ඔබ ඉඹැ ඔබැ සුවඳින් පිපෙන ඔබ මැ මිස ලොව අන් කවුරුද? . . . යනුවෙන් ඔහු අනුරාධාට දුරකථන පණිවිඩයක් යවනවා. ඒ පණිවිඩේ දුර ගිය තරම කොතරම් ද කිව්වොත් දූ අනුරාධා ප්‍රසංගයට ගීතයක් ලෙසින් නිර්මාණය වෙන්නේ ඒ පණිවිඩය.

'ආනන්ද විද්‍යාලයේ ඉන්න කාලේ කලා උලෙළක් කළා. ඒකට තේමා ගීිතය ලිව්වේ මම. එදා ඒකට ගී තනු නිර්මාණය කරලා සංගීතවත් කළේ කළිඳු වීරසිංහ. ආචාර්ය රෝහණ වීරසිංහගේ පුතා. ඔහුත් මාත් එවකට එකම පන්තියේ ඉගෙන ගත්ත සිසුන්. තේමා ගීතයට අමතරව තවත් ගීතයක් කළොත් හොඳයි කියලා අපිට හිතුණා. ඒ ගීතය ලීවෙත් මම. සංගීත නිර්මාණය කරන්න මට පහළ පංතියක හිටපු පුංචි මල්ලි කෙනෙකුට දුන්නා. ඔහු ගීතය බලලා මේක අමුතු පද ටිකක් කියලා බාර ගත්තා. එයාගේ නම කසුන්. එතකොට මම දැනගෙන හිටියේ නෑ ඒ මාලිනී බුලත්සිංහලගේ පුතා කසුන් කල්හාර කියලා. දවස් ගාණක් ගියත් කසුන් සින්දුව කරල තිබුණෙ නැති නිසා කසුන්ව මුණ ගැහිලා ඇහුවම කීව පදවල වෙනසක් කරන්න ඕන. අපි ගෙදර යමු කියලා. මමත් කසුනුත් 175 බස් එකක නැගලා ගියා. රාජගිරියෙන් බැහැලා යනකොට වෑන් එකක් ඇවිත් නැවැත්තුවා අපි ළඟ. වෑන් එක drive කළේ දැකල පුරුදු කාන්තාවක්. නගින්න කිව්වම කසුනුත් නැග්ගා. මමත් නැග්ගා. එතකොට තමයි දන්නේ ඒ කසුන්ගේ අම්මා මාලිනී බුලත්සිංහල බව. අපි කසුන්ගේ ගෙදර 'සංගීත් භවන්' වලට වෙලා රෑ එළිවෙනකම් ගීතය හැදුවා.

මාලිනී බුලත්සිංහල ද සිය පුතුගේ පාසැල් මිතුරා වූ විදුරගේ ගීපද රචනාවට කැමැත්තක් දැක්වූවා. ඉන් පසු ඇගෙන් ද විදුරට යෝජනාවක් එනවා ඈට ගීතයක් ලියන්න කියලා. මාලිනී බුලත්සිංහල කවුද? මම කවුද? මේක විහිළුවක් වෙන්නැති' විදුර එහෙම හිතනවා. ඒ වුණාට නිතර නිතර සවස් වරුවට කසුන් සමඟ සංගීත් භවන් හි ඇසුරට විදුර යොමු වෙනවා. විදුරගේ හිත යන්නේ මේ නිවෙසේ පහළ මාලයට එකතු වන මහා සම්ප්‍රදායට. එතැනට එක්වෙන්නේ ගුණදාස කපුගේ, රත්න ශ්‍රී විජේසිංංහ, ලූෂන් බුලත්සිංහල, එච්. එම්. ජයවර්ධන, ලාල් ආනන්ද අබේධීර වැන්නෝ. ඔවුන්ගේ හරබර ලොකු ලොකු කතා අහන්න විදුර ආස වෙනවා. ඒ අතර කසුන් ඉන්ද්‍රචාපා ඇතුළු පරපුරක් දෙවෙනි මහලේ එක් රැස් වෙනවා.

'මාලිනී ඇන්ටි හමුවෙන ගාණෙම අහනවා සින්දුවක් ලිව්වද කියලා. මම 'ඔව්' ලියනවා කිය කියා හිටියා. ඔය අතරේ අපේ ගෙදර අය පදිංචිය වෙනස් කරනවා. තාත්තා වරායේ වැඩ කරන නිසා බ්ලූමැන්ඩල්වල වරාය නිවාසවලට එන්න වෙනවා. ඒ වෙනකොටත් මම ප්‍රේමයක පැටලිලා හිටිය නිසා මේ දුරස්වීම මට හොඳට දැනෙනවා. නිතර හමුවුණ එක නැති වෙනවා. ටෙලිෆෝන් තිබුණෙත් නැති නිසා ලියුම්වලින් විතරයි ගනුදෙනුව. මගේ ප්‍රේමවන්තිය දිග ලියුම් එවනවා මල් පෙති එහෙම දාලා. මම ලියුම් ලිව්වට දාන්න මට සල්ලි නෑ. ඒවා මගේ සාක්කුවෙම තියෙනවා. ඒ නිසා සිත් තැවුල් තිබුණා. ඔය කාලේ තමයි මාලනී ඇන්ටි සින්දුව ඉල්ලන්නේ. එයාට දෙන්න හිතාගෙන මම බර වචන දාලා සින්දුවක් ලියනවා.

මේ දළු ලෑ ඝනදුරට හොරෙන්
සඳ සුවඳ දැනේ නම්
නොමියේ මැයි සඳ සිසිල සිතින්
ගනදුරට බියයි මං . . .

මේක යුග ගීයක්. නමුත් මාලිනී ඇන්ටිගේ CD එකට ඒ වෙනකොටත් යුග ගී 2 ක් තිබුණ නිසා මට වෙන ගීතයක් ලියන්න වුණා. ඒක ලිව්වේ කසුන් කරපු melody එකට. කසුන් ගිටාර් එක play කරත්දි ඒ melody එකට මට ආව වචන ටික තමයි 'ගී පද කීමට මාල ගිරා' කියන වචන ටික. ගීතය ඉවර කරන්න මාසයක් විතර ගියා. කසුන් වරින් වර හදන melody එක මට දුරකථනයෙන් කියනවා. මම ඒක අහගෙන පද ලියනවා. ඒ කාලේ දුරකථන පහසුකම් නැති නිසා අල්ලපු ගෙදර දුරකථනයට තමයි කසුන් ජචතත දෙන්නේ.

දුරකථනයෙන් ගලා ආපු කසුන්ගේ melody එක විදුර ලිව්ව පද පේළි සුන්දර ගීතයක් නිර්මාණය කළා. මාලිනී බුලත්සිංහල කළ අවසන් සංයුක්ත තැටිය වුණ 'මොනාලිසා'ට එය ඇතුළත් වුණා.

'වස්සානේ සිනා සලයි - සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ - අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා

ගී පද කීමට මාල ගිරා . . .

ගීතය පටිගත කළ දවසේ මාලිනී බුලත්සිංහල විදුරට ද ආරාධනා කළා. අහම්බයකින් ඒ දිනය විදුරගේ උපන් දිනය වුණා.

'ඒ කාලේ ගීත රචකයෙකුට සින්දුවක් ලිව්වම රුපියල් 2000/- ක් දුන්නා. මාලිනී ඇන්ටි මට ඇඩ්වාන්ස් එකක් විදියට රුපියල් 1000/- ක් දුන්නා. ඒ ආසන්නයේම දිනක ඈ විදේශ සංචාරයකට පිටත්ව ගියා. ඒත් ඈ ආපසු ආවේ නෑ. ඊට පස්සේ මම කසුන්ට 'සොඳුරු සිතුවම්' ගීතය ලිව්වා. ඔහු ඒක ගායනා කළේ නිරංජලා මංජරීත් එක්ක.'

විදුර මේ රටේ ජනතාව වෙත ළං වෙන්නේ ගීත රචකයෙක් විදියට පමණක්ම නොවෙයි. ඔහු කාලයක් පුරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙසට කටයුතු කළා. ඒ පමණක් නොව අලෙවි විධායක නිලධාරියෙකු වශයෙන් ද පුරා අවුරුදු ගණනාවක් සිය දක්ෂතා හා හැකියාවන් ප්‍රකට කළා.

ප්‍රසංග වේදිකාවේ අලුත් දෙයක් කරන්නට 'දු අනුරාධා' හරහා විදුරට හැකි වුණා. එතැන් පටන් ඔහු ඔහුගේ අනන්‍යතාවයෙන් අදටත් එය කරගෙන යනවා. ඉන්දියාවත් සමඟ එක් වී කරනු ලබන තරගකාරී අවස්ථාවක් සඳහා පසුගිය දිනක ඔහුගේ 'සීහෙළ time and space ආයතනයට 'අබ්දුල් කලාම්' සම්මානය ද පසුගිය දිනක පිරිනැමුණා.

මාලිනී බුලත්සිංහලට සින්දු ලියන කොට ප්‍රේමයේ සිත් තැවුල් මැද සිටි විදුර සිය ප්‍රථම ප්‍රේමයම වූ ඇය අද ඔහුගේ ප්‍රිය බිරිය කරගෙන සිටී. ඇය සමිතාය. එසේම 'සිහෙල තෙසරණ' පුතුය. ඔවුන් සමඟ ආදරණීය ජීවිතයක් ගෙවමින් වර්තමානයේ බොහෝ පොත් දොරට වැඩීම්, ගී දොරට වැඩීම් ඔහුටම ආවේණික ගැඹුරු හඬ පෞරුෂයකින් ඉදිරිපත් කරමින් කලා ලොව දිගු ගමනක නියුතු වෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.