සංස්කරණය කියන්නේ නිර්මාණාත්මක ශල්‍ය කර්මයක්

ප්‍රවීණ සංස්කරණශිල්පී රවීන්ද්‍ර ගුරුගේ
මැයි 9, 2019

පුවත්පත් බොහෝ විට ඉඩ දෙන්නේ දැක පුරුදු අයටයි. ඒ නිසා කලාකරුවන් අතරින් වඩාත් මතක සිටින්නේ නළු නිළියන්, ගායක ගායිකාවන් හැරුණාම ඇතැම් අධ්‍යක්ෂවරුන්. සමහර විට සම්මානයක් ලැබුණොත් නම් වෙනත් ශිල්පියෙකු හෝ ශිල්පිනියක පිළිබඳ සුළු කතාබහක යෙදෙනවා. ඒත් සිනමා හෝ ටෙලි නිර්මාණයක නළුනිළියන් ගෙනෙන චරිතවල හැඩරුව, පසුබිම, පරිසරය ඒවා ගොනුකර ගන්නා රූප රාමු, ශබ්ද මේ සියල්ල ඒ චරිත අපට අමතක නොවන තැනට කටයුතු කරනවා. තිරයේ පිටුපස සිට තිරයේ මේ චරිත හැඩකරන, ඔවුන්ගේ වැරැදි අඩුපාඩු සකසා අපට ආකර්ෂණය කරන පිරිස බොහෝ දෙනකුට මතක් වන්නේ ඉඳහිටයි. එහෙත් සරසවිය අපි ඔවුන්ගේ මෙහෙය අගය කරන්නටයි මේ සූදානම. තිරයට මුවා වූ පිරිස තිරය ඉදිරියට කැඳවන්නයි තිරය පිටුපස අරඹන්නේ.

මම ඉපදුණේ මාතර කොටවිල. මුලින් ගමේ ඉස්කෝලෙට ගියේ. පස්සේ මොරටු විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන පෙම්බෲක් ඇකඩමියට ඇතුළත් වුණා. මම දැන් රේණුකා මගේ බිරිඳ සහ දුව රවින්දි සමඟ කැස්බැවේ පදිංචි වෙලා ඉන්නේ.

මම උසස් පෙළට කළේ විද්‍යා විෂය ධාරාව. තාත්තලාට ඕන වුණේ මාව දොස්තර කෙනෙක් කරන්න. මගේ වි‍නෝදාංශය වුණේ ෆොටොග්‍රැෆි. චාල්ස් ගුරුගේ මගේ ලොකු තාත්තා විදුහල්පති කෙනෙක්. ඕ ලෙවල් කරලා එහේ ගියාම නිවාඩු කාලේ මාව යුනෙස්කෝ එකට දැම්මා ඡායාරූපශිල්පී පාඨමාලාවකට. මගේ ගමන වෙනස් වුණේ එතැනින්. ඒ ලෙවල් කරන කාලේ '79 තමයි රූපවාහිනිය පටන් ගන්නේ. අපි කොල්ලෝ සෙට් එකම ඒ අලුත් තාක්ෂණය පස්සේ දුවන්න ගත්තා. ඒ වෙද්දි තේවිස් ගුරුගේ මගේ බාප්පා තමයි රූපවාහිනිය බාරව කටයුතු කළේ. ඒත් ඔහු වැඩිය කැමති වුණේ නැහැ මම ඒ පැත්තට යොමුවෙනවට. ඒත් බාප්පගේ පුතා වසන්ත ගුරුගේ එවකට මේ තාක්ෂණය පිළිබඳ විශිෂ්ට දැනුමක් තිබුණු ඉංජිනේරුවෙක්. ඔහු මට උදව් කළා මේ විෂයය පිළිබඳ ඉගෙන ගන්න. ඔහු තමයි ලංකාවේ මුලින්ම සැටලයිට් ඩිෂ් එක හරහා රුසියාවේ ඔලිම්පික් උලෙළ දකින්න සැලැස්සුවේ. ඒ කටයුත්තෙ එල්ලිලා මමත් යද්දි මුල් කාලේ කටයුතු කළේ කැමරා ශිල්පියෙකු විදිහට. 1982 මාර්තුවල සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයෙන් සැලසිනේ ආරම්භ කරද්දි සහාය කැමරා ශිල්පියකු ලෙස මට සම්බන්ධ වෙන්න ලැබුණා.

ඒ් කාලේ තිබුණු රූපවාහිනී කැමරා තාක්ෂණය හරි සරලයි කියන දේ වැටහුණාම කැමරා ශිල්පී හීනය මැකී යන්න ගත්තා. ඒත් ප්‍රවීණ අධ්‍යක්ෂ විජය ධර්මශ්‍රී මහත්මයාගේ දෙවැනි වාර්තා වැඩසටහනට සහාය කැමරා ශිල්පියකු හැටියට සම්බන්ධ වුණා. ඔහු මට යෝජනා කළා ඒ ඩොකියුමන්ට්‍රිය එඩිට් කරමු කියලා. මම කිව්වා මම දන්නෙ නම් නැහැ ඒත් කරලා බලමු කියලා. වැඩේ ඉවර වුණාට පස්සේ ඔහු මට කීවා 'රවී ඔයාට රිදම් එක තිබෙනවා. ලංකාවේ අඩුවෙලා තිබෙන්නෙත් සංස්කරණ ශිල්පීන්. තාක්ෂණය දන්න අය හිටියත් හරියට කරන අය නැහැ. ඒ නිසා ඔයා මේ වැඩේ දිගටම කරලා ඔයාගේ ඇඟේ හැංගිලා ඉන්න සංස්කරණ ශිල්පියාව එළියට ගන්න' කියලා.

රූපවාහිනී තාක්ෂණය ඉගෙනගන්නත් මේක හොඳ අවස්ථාවක් නිසා මම එඩිටර් කෙනෙක් වෙන්න උනන්දු වෙලා නෙදර්ලන්තයේ රාඩියෝ නෙදර්ලන්ඩ් පුහුණු ආයතනයෙන් විෂයය හදාරලා දිගටම සංස්කරණ ශිල්පියකු හැටියට කටයුතු කරන්න ගත්තා. පස්සේ ඉන්දියාවේ සහ ජපානයේත් ඉගෙන ගත්තා. ඒ අතර මාව හොයාගෙන විවිධ අය එනවා. මුලින්ම ටයිටස් තොටවත්තගේ මුල්ම වාර්තා වැඩසටහන 'විදුලිය බලය වේ' කියලා. ඒකේ ශබ්ද පටිගත කිරීම් පවා කරන්න වුණේ මට. මාස තුනක් විතර ටයි මහත්තයා එක්ක වැඩ කළාම මම කැඩෙටින් කරපු ශිෂ්‍යයෙක් වගේ හොඳ පුහුණුවක් සහ විනයක් එක්ක පදම් වෙලා ආවේ. 84 විතර වෙද්දි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වගේ අපට පෙර පරම්පරාවේ සියලුම දෙනා සමඟ ටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. බොහෝ වෙලාවට ඔවුන්ගේ ප්‍රථම රූපවාහිනී වැඩසටහන්වලට දායක වන්න මට හැකි වුණා. එයින් විශ්වවිද්‍යාලයක හැදැරුවා වගේ විවිධ ශෛලීන්, රූප සමඟ ගනුදෙනු කිරීම් හඳුනා ගන්න අවස්ථාව ලැබුණා.

ඉන්පස්සේ පරාක්‍රම නිරිඇල්ල, සුදත් දේවප්‍රිය, සුදත් මහදිවුල්වැව, ජයන්ත චන්ද්‍රසිරි, අසෝක හඳගම, ජැක්සන් ඇන්තනි, ආනන්ද අබේනායක, වගේ අපේ පරම්පරාවේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කළා. ප්‍රසන්න ජයකොඩි, සුදත් රෝහණ, ඉනෝකා සත්‍යාංගනි, සත්‍යජිත් මාඉටිපේ වගේ ඊළඟ පරපුර සහ මේ වනවිට ක්ෂේත්‍රයේ ඉන්න තරුණ නවක පරපුර සමඟ කටයුතු කරන්න මට වාසනාව ලැබී තිබෙනවා.

ගිරය, අකාල සන්ධ්‍යා, දුන්හිඳ අද්දර, දොළොස්මහේ ගංගාව, ගංගාව තරණය, යශෝරවය දෙක, රන්දොරටුව වගේ මුල් පරම්පරා දෙකේම මුල්ම නිර්මාණවලට දායක වුණා.

ඇත්තෙන්ම ලංකාවේ මුල්ම අර්ධ වෘත්තාන්ත ටෙලිනාට්‍යය කළෙත් සැලසිනේ අපි. ජයග්‍රහණය කියලා කොටස් හයකින් යුතුව මෛත්‍රී රත්නායක කළ එකක්. පුෂ්පා රංජනී රත්නායක, රින්ස්ලි වීරරත්න, නෙතලි නානායක්කාර, ගාමිණී සමරකෝන්, ධර්මශ්‍රී මුණසිංහ රඟපැවා. ඒත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අනුමත වෙලා එද්දි එය විකාශනය වුණේ දිමුතුමුතුවලට පස්සේ.

ඔහු එකවරම යමක් මතක් වුණා සේ මා පිටුපා සිටි බිත්තිය දෙස බැලුවා. මමත් හැරී බැලුවා.

'ඕක තමයි ලංකාවේ සිනමාව ඩිජිටල් තාක්ෂණයට වෙනස් කරපු මෙෂින් එක. ඒතකොට ඔයා මෙහෙ නේද?'

ඇපල් ට්3 කම්පියුටර් හාඩ්වෙයාර් එක. එය ගෙනා දවස මටද මතකයි. 99 වසරේ. බොහොම පරෙස්සමින් ඇසුරුම ගලවන්නට මෙන්ම එයටම සැකසූ මේසය මත සෙමින් තබන්නට ඔහු උපදෙස් දෙන අයුරු. පරාක්‍රම නිරිඇල්ලයන් ප්‍රමුඛව සුභාණි සෙනරත්යාපා, අජිත් රාමනායක, ජගත් වසන්ත, චානක සිල්වා, අරුණ ඩයස්, නිලාන්, ගයාන්, ජානක, රසික, චමින්ද, මිස්ටර් නීල් සහ මම වට වී පුදුමයෙන් මේ අමුතු මෙෂිම දෙස බලා සිටි අයුරු සිනමා පටයක් මෙන් මොහොතකට මැවී ගියා. අපි ඒ කතාවත් කියමු.

'ඔව් ටීවීටී එක පරාක්‍රම නිරිඇල්ල, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න එක්ක එකතුවෙලා අනූ තුනේ පටන්ගන්නකොට ලංකාවෙ බොහෝ කතාබහට ලක්වුණු ටෙලිනාට්‍ය තුන්සියයකට වඩා මගේ අතින් සංස්කරණය වෙලා තිබුණේ. පෞද්ගලික නාළිකා පටන්ගන්න කලින් රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී නාළිකා දෙකේ එකම වෙලාවේ මගේ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. චිත්‍රපට සියයක් විතර තමයි මගේ අතින් සංස්කරණය වෙලා තිබෙන්නේ.

අපේ පරම්පරාවේ අධ්‍යක්ෂවරුන් අතරින් හඳයා (අසෝක හඳගම) තමයි මට මුලින්ම බය නැතුව මේ මගේ සඳයි චිත්‍රපටය කපන්න දුන්නේ. ඒ වෙද්දි අපි ෆිල්ම්ලොජික් කියන සොෆ්ට්වෙයාර් එක අරගෙනත් නැහැ. ඉන්දියාවේ යද්දි අතින් ගණන් හදලා කට් ලිස්ට් එක ගෙනිච්චේ. ඒක මෘදුකාංග ලියන්න දන්න කෙනෙක් එක්ක කළානම් එඩිටින් සොෆ්ට්වෙයාර් එක ලියන්න තිබුණා. එතනින් තමයි අපි පටන් ගන්නේ. 2001 වෙද්දි නොන්ලීනියර් එඩිටින් ඒ කියන්නේ ඩිජිටල් සංස්කරණය සහ ටිජිටල් හඬපට ක්‍රමය ලංකාවේ ස්ථාපනය කරන්න මට පුළුවන් වුණා. හොලිවුඩ්වල එය පටන් ගත්තේ අනූතුනේ. බොලිවුඩ්වලට ආවේ අනූ අටේ. චෙන්නායිවල රියල් ඉමේජ් එකයි ප්‍රසාද් එකයි තමයි මුලින්ම ගෙන්වන්නේ. ඉතින් අපිට ඊළඟ අවුරුදු දෙකේදි ලංකාවට ඒ තාක්ෂණය ගේන්න පුළුවන් වෙච්ච එකට මට හරි සතුටුයි. ඒත් පරණ විදිහට සංස්කරණය කරන අය මුලින් විරුද්ධ වුණා මේ ක්‍රමය ගෙනාවට. ඒ නිසා තිස්ස අබේසේකර සභාපති වෙලා ඉද්දි චිත්‍රපට සංස්ථාවේ සාකච්ඡාවක් තිබ්බා මේ ක්‍රමය ගැන. මොකද ජයන්තයි ඉනෝකායි සංස්ථා ණය අරගෙනනේ චිත්‍රපට හැදුවේ. අපි තුන්දෙනා එක්ක හඳගමත් ආවා මේ ක්‍රමය විශ්වාසවන්ත බවට කරුණු දක්වන්න. මුළු ලෝකෙමත් මෙහෙම විරුද්ධවීම් වෙලා තිබෙනවා. මමත් මුලින් හිතුවේ පරණ විදිහට නෙගටිව් එක කප-කප ලීනියර් ක්‍රමයට යනවා නම් එඩිටින් කරන එකේ තේරුමක් නැහැ කියලා. මම මුලින්ම කළේ නොන් ලීනියර් එඩිටින්වලින් වෙන්න පුළුවන් වැරදි ගැන මුල ඉඳන් අගට තියෙන පොතක් හොයාගෙන ඒක කියවලා තේරුම් ගත්ත එක. ඒකෙ තියෙනවා ලැබ් එකේ නෙගටිව් එක ඩිවලොප් වෙලා ටෙලි- සිනේ ට්‍රාන්සර් එකේ ඉඳන් අන්තිම මොහොත වනතුරු විය හැකි වැරැදි මොනවාද කියලා. එක රාමුවක් වෙනස් වුණොත් ඔක්කොම විනාස වෙනවා. ඉන්දියාවෙදි මගේ ඉදිරියේම එහෙම වෙනවා මම දැක්කා. වාසනාවකට මගෙ චිත්‍රපට සියයෙම කිසිම වැරදීමක් නොවී කරන්න පුළුවන් වුණා. ඒකට මගේ සහායක අජිත් රාමනායකටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අලුත් තාක්ෂණික ප්‍රවණතාවට ලංකාවේ සංස්කරණය වුණු පළමු චිත්‍රපට දෙක ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නිදාහය සහ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලි.'

අග්නිදාහයේ නිෂ්පාදන කළමනාකාරිනිය වූ මට මේ වාර්තාගත සිදුවීම මගේ ලිපියකම මෙසේ සටහන් කිරීමට ලැබීමද දෛවෝපගත සිදුවීමක් සේ හැඟේ. ඒ සිතුවිල්ලෙන් මිදුණේ නිශ්ශංක ඒ හාඩ්වෙයාරය ඔසවමින් අම්මේ මේකේ බර යැයි කී විටයි. ඔහුගේ උත්සාහය ඒ ඓතිහාසික පරිගණකය ලඟ රවීන්ද්‍ර ගුරුගේ සිටුවා සේයාරුවක් ගැනීමටයි. සේයාරුවට පෙනී සිටින අතර ගුරුගේ මහතා කතාව කරගෙන යයි.

'රූපවාහිනී ක්ෂේත්‍රයේ වගේම සිනමා ක්ෂේත්‍රයේත් වෙනසක් කරන්න පුළුවන් වුණා. ටීවීටී එකෙන් තමයි සිලිකොන් ග්‍රැෆික්ස් කියන ග්‍රැෆික් මෙෂින්ස් ලංකාවට මුලින්ම ගෙනාවෙත් අපි. ටෙලි ක්ෂේත්‍රයේ නොන්ලීනියර් එඩිටින් අපි පටන් ගත්තේ 96 විතර. ලංකාවේ තිබුණු අලුත් ප්‍රවණතාවන් ටීවීටී ආයතනයෙන් දායක කරන්න කැපවීම, අවදානම බාරගන්න අපිට පුළුවන් වුණා.'

ගෝලපරම්පරාවකුත් බිහිකරන්න පුළුවන් වුණා නේද?

'ආ ඔව්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වගේම චිත්‍රපට ක්ෂේත්‍රයටත් ටීවීටී එකේ හිටිය රුක්මාල් නිරෝෂ්, ප්‍රියන්ත කළුආරච්චි, කාලිංග ගිහාන් පෙරේරා වගේ සම්මානලාභී ශිල්පීන්ගේ සැඟවුණු හැකියාවන් එළියට ගන්න පුළුවන් වුණා. සංස්කරණ ශිල්පය ගේ මැද සාලේ සාකච්ඡාවට බඳුන්වන විෂයයක් බවට පත් කරන්න මම දායක වුණා කියලා හිතෙනවා.

ලංකාව තාක්ෂණික පැත්තෙන් පසුබැමක ඉන්නේ. ටෙලිවිෂන් ක්ෂේත්‍රය පටන් ගත් දා ඉඳන් අදටත් විකාශය වන්නේ පෑල් 625 කියන ප්‍රාථමික රූපරාමු ක්‍රමයට. ඒත් ලෝකය අද 8ම්වලට ගිහින්. ජපානය ඔලිම්පික් විකාශය කරන්නේ එහෙම. ඒත් අපි පෞද්ගලික ආයතනයක් හැටියට අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහායද ඇතුව ලෝකේ නවීන තාක්ෂණය ලංකාවට හඳුන්වා දෙමින් ඒ ප්‍රවණතාවන්ට යන්න පුරෝගාමීවීමට හැකිවීම ගැන මට නිහතමානී සතුටක් තිබෙනවා. ඒ වගේම ආයතනයක් හැටියට ටීවීටී ආයතනය චිත්‍රපට 150ට අධිකව දායකවීම, තරුණ ශිල්පීන්ගේ මුල්ම චිත්‍රපට සඳහා සහාය වීම, නිෂ්පාදන කටයුතු කිරීම වගේම 7.1 ශබ්ද තාක්ෂණය සහිත ශබ්දාගාරයක් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව සකස්කිරීමට හැකිවීම ආදී දේ ගැන ලොකු සතුටක් හිතේ තිබෙනවා.'

මා ඉන් පසුව අසන්නේ ඔහුගේ විෂයය පිළිබඳ ඔහුට දැනෙන හැඟීමයි.

'සංස්කරණය කියන්නේ චිත්‍රපටයක හෝ ටෙලි නිෂ්පාදනයක අවසාන ක්‍රියාවලිය. සත්‍යජිත් රායි කියන විදිහට නම් චිත්‍රපටයක් ප්‍රතිනිර්මාණය වෙන්නේ සංස්කරණයෙන්. අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවෙන රූප පෙළ ප්‍රේක්ෂකයාට රසයක් ගේන ආකාරයට ඉදිරිපත් වන්නෙ සංස්කරණයෙන්. නිර්මාණයක් මැණිකක් නම් එය ඔපමට්ටම් කරලා ආකර්ෂණීයව එළියට දෙන්නේ සංස්කරණ ශිල්පියා. ඒ සඳහා ඔහුට තාක්ෂණික දැනුම, සෛද්ධාන්තික දැනුම, සිනමා භාෂාව, ඒ ව්‍යාකරණ, විවිධ ආකෘති පිළිබඳ අවබෝධය වගේම විවිධ අධ්‍යක්ෂවරුන් කියවා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. මොකද එක එක අධ්‍යක්ෂවරුන්ගේ රටාව, රිද්මය, ශෛලිය සියල්ල වෙනස්. අවුරුදු තිස්හයක අත්දැකීම් අනුව මට කියන්න පුළුවන් සංස්කරණ මැදිරිය කියන්නේ නිර්මාණයක් කිරීමේදී වැරැදුණු තැන්, අඩුපාඩු වුණු දේවල්, නළු නිළියන්ගේ, තාක්ෂණයේ අඩුලුහුඬුකම්වලට නිර්මාණාත්මක ප්‍රතිකර්ම යොදන ශල්‍යාගාරයක් වගේ තැනක් කියලායි.

ජීවිතය ගැන ඔබ දකින්නේ කොහොමද?

'මේ දවස්වල මම ත්‍රිපිටකය ඩවුන්ලෝඩ් කරගෙන කියවනවා. ඒක හරිම ලස්සනයි. මජ්ඣිම නිකායේ අරිය පරියේසන සූත්‍රය කියෙව්වොත් බෞද්ධ සාහිත්‍යයේ තිබෙන දේට වඩා සිදුහත් චරිතය පවා වෙනස්ව දකින්න පුළුවන්. බුදු දහම බොහොම විද්‍යාත්මක බව විද්‍යාව කළ නිසාදෝ අපට තේරෙනවා. අපි ඉන්ද්‍රියයන් හයකින් සතුට සොයාගෙන යන්න හදනවා. ඒ කිසිදෙයකින් අපට පරම සතුට ලැබෙනවාද? ජීවිතය කියන්නේ හරියට මොබයිල් ෆෝන් එකක් වගේ. මේ සියල්ල ප්‍රොසෙසර් එකක් වගේ. රවීන්ද්‍ර ගුරුගේ කියන ෆෝන් එකට නැත්නම් ‍භෞතික කයට සිම් එක දැම්මාම ඒ විදිහට වැඩ කරනවා. සිම් එක වෙන ෆොන් එකකට ගියොත් ඒකේ විදිහට වැඩ. මේ සියල්ල ප්‍රොසෙසර් එකක් වගේ. අපි කරන්න ඕනේ ඒ සිම් එක නැති කරලා දාන්න උත්සාහ කරන එකයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.