‘අසෝකා’ සමඟ චිත්‍රපට ජනප්‍රිය කළ පී.එල්.ඒ

මැයි 9, 2019

1955 මාර්තු 04 වෙනිදා තිරගත වූ ‘අසෝකා’ චිත්‍රපටයෙන් අලුත් සංගීත අධ්‍යක්ෂවරයෙක් බිහි විය. ඔහුගේ නම පී. එල්. ඒ. සෝමපාල හෙවත් පේරගස්වත්තේ ලියන ආචාරිගේ සෝමපාලය. සෝමපාල මේ චිත්‍රපටයට සංගීතය මෙහෙය වූ සියලුම ගීත අතිශයින්ම ජනප්‍රිය වූ අතර සියලු ගීත හින්දි හා දෙමළ චිත්‍රපටවලින් උපුටා ගෙන ඇත. මේ ගීත රචනා කර තිබුණේ කරුණාරත්න අබේසේකර, හර්බට් එම්. සෙනෙවිරත්න, පියසේන කොස්තා විසිනි. මෙහි එන ගීත මෙසේය.

1. පායන සඳ සේ - මෝරයි ආලේ - ධර්මදාස වල්පොල හා ජී. එස්. බී. රාණි

2. ලෝකෙ සිහිනයක් වගේය - මොහිදීන් බෙග් හා රාණි

3. තනිවයි උපන්නේ - බෙග්

4. සටනකි ජීවිතේහී දැන් – ධර්මදාස වල්පොල

5. කතරගමේ දෙවිගෙ බිමේ - සත්‍යවතී සහ වල්පොල

6. ආදරේ සාගරේ – රාණි

7. පෙම් සුවඳයි – ධර්මදාස හා චිත්‍රා

8. මේක තමා දෙවිනේ – ආනන්ද සමරකෝන්, ධර්මදාස, බෙග්

9. පෙම් පහන නිවී - බෙග් සහ රාණි

10. පෙම් ගීතේ සංගීතේ - සත්‍යවතී

11. සීයා මනමාලයා - ධර්මදාස සහ බෙග්

මේ ඇතැම් ගීත ‘අනර්කලී’,’දොස්ත්’ නම් හින්දි චිත්‍රපටවලින් ද ‘අවන්’ ද්‍රවිඩ චිත්‍රපටවලින් උපුටා ගත් බව පවසා ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතැම් ගීත ලංකාවේදීත් වෙළඳ තැටි සඳහා මදුරාසියේදිත් දෙවරක් ගී පටිගත කළ බව ‘සිංහල චිත්‍රපට ගීතාවලිය (1947 – 1956)’ කෘතියේ සඳහන් කරයි. උදාහරණ ලෙස ‘කතරගමේ’, ‘පෙම් ගීතේ’ වැනි ගීත චිත්‍රපටයට ගැයුවේ විනෝදිනීය. තැටි සඳහා ගැයුවේ ඉන්දීය ගායිකා සත්‍යවතී බවත් ‘සුමිහිරි පානේ’ ගීත චිත්‍රපටයට ගැයුවේ කරීම්, ලන්ත්‍රා බවත්, තැටි සඳහා ගැයුවේ ආනන්ද සමරකෝන්, වල්පොල සහ බෙග් බවත් ‘සීයා මනමාලයා’ ගීය චිත්‍රපටයට ගැයුවේ එඩී යාපා සහ ඒ. ජේ. කරීම් නමුත් තැටිවලට ගැයුවේ වල්පොල හා බෙග් බවත් මහාචාර්ය ආරියරත්නයෝ පවසති.

අනුකරණ ගීත සිය ප්‍රථම චිත්‍රපටයට ඇතුළත් කළත් සෝමපාලයන් 40 දශකයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ජනප්‍රිය ස්වතන්ත්‍ර ගීත නිර්මාණ කරමිනි. ඒ චිත්‍රා පෙරේරා වෙනුවෙන් කළ ගීත සුවිශේෂය. පී. එල්. ඒ. සෝමපාල සහ චිත්‍රා පණහ දශකයේ ගුවන් විදුලි තාරකා වූහ.

1921 සැප්තැම්බර් 13 වෙනිදා උපත ලැබූ පී. එල්. ඒ. සෝමපාල මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ක්ලිප්ටන් බාලිකා පාසලේදීය. ඔහු ද්විතීය අධ්‍යාපනය ලබා ඇත්තේ මරදානේ ලෝරන්ස් විද්‍යාලයෙනි. කලාව ගැන විශේෂයෙන් සංගීතය ගැන උනන්දුව ඇති වූයේ එහි විදුහල්පති ජේ. ඩී. පී. පෙරේරා මහතා නිසා බව ඔහු පවසා ඇත. මට සෝමපාලයන් හමු වූයේ හැත්තෑව දශකයේ මා ‘සරසවිය’ පුවත්පතට අනුයුක්ත වූ පසුය. කොළඹ තිඹිරිගස්යායේ ඉසිපතන මාවතේ සෝමපාලයන්ගේ නිවසේදී මට ඔහුගේ අතීත තොරතුරු රැසක් හෙළි කළේය. ඒවා ඇසුරෙන් මම ‘සරසවිය’ පත්‍රයේ මැද පිටුවට විශේෂාංගයක් ලිවීමි.

‘මම 1941 පාසැලෙන් අස් වී රබර් අපනයන ආයතනයක මැලිබන් වීදියේ කාර්යාලයක ලිපිකරුවකු ලෙස වැඩ කළා. මේ කාලයේමයි මම ටී. සන්දරසේකර සහ ලයනල් එදිරිසිංහ යන සංගීතඥයන්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. සිතාරය, වයලීන හොඳින් හැදෑරුවා. මේ කාලයේ මම වේදිකා නාට්‍යයක් වූ ‘කානිවල්’ කියන නාට්‍යයේ උප සංගීත අධ්‍යක්ෂක හැටියට කටයුතු කළා. ‘කානිවල්’ නාට්‍ය රචනය කළ ඒ. ඩී. ජේ. මාතුපාලත්, මාත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාත් සමඟ ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙන ගත්තා. අපි තුන් දෙනාම කලාවට ආදරය කළ ශිෂ්‍යයෝ. ‘කානිවල්’ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ පසු කලෙක කොළඹ නගරාධිපතිවරයකු හා ඇමතිවරයකු වූ එම්. වින්සන්ට් පෙරේරා. අපේ වාදක මණ්ඩලයේ සිටි අනික් අය තමයි ඒ. ඒ. සංඝදසා. ඩී. සාමි පෙරේරා, එන්. එම්. ඊ. පෙරේරා හා ජස්ටින් පෙරේරා. මෙය මුල්වරට වේදිකා ගත වූයේ 1941 අප්‍රේල් 19 වැනිදා කොටුවේ වයි. එම් සී. ඒ. ශාලාවේය. මේ නාට්‍යයේ ප්‍රේමදාස මහතා චරිතයක් රඟපෑවා.’ සෝමපාල මහතා අතීත තොරතුරු කීය.

‘කානිවල්’ නාට්‍යයේ නිෂ්පාදකවරයා වූයේ මගේ පියා වූ ඒ. ඩී. එඩ්මන්ඩ්ය. නාට්‍යය රචනා කළ මාතුපාල මගේ වැඩිමහලු බාප්පාය. මේ නට්‍යයේ ළමා චරිතයක් රඟපෑ මගේ පොඩි බාප්පා වූ පොලිස්පති කාර්යාලයේ රහස්‍ය අංශයේ සේවය කොට විශ්‍රාම සුවයෙන් සිටින අනූ හැවිරිදි ඒ. ඩී. පියසේන අයි. ඩී. එච්. හි කජුගහ වත්තේ පදිංචිව සිටී.

එදා සෝමපාලයන් මට අනගි තෑග්ගක් දුන්නේය.

‘ඔන්න ඔයාට ‘කානිවල්’ නාට්‍යයේ ‘හෑන්ඩ් බිලක්’ (අත් පත්‍රිකාවක්) දෙන්නම්. පරෙස්සම් කර තියා ගන්න.

සෝමපාලයන් යළිත් කතාව ඇරඹීය.

‘මම 1942 ගුවන් විදුලියේ ශිල්පියෙක් හැටියට සමත් වුණා. මේ කාලේ මගේ මුල්ම ගීතයක් තැටිගත කළේ සුනිල් සාන්ත හා සූර්ය සංකර් මොල්ලිගොඩ එක්ක.’

‘ඔබට සහකාරිය හම්බ වෙන්නේ කොහොමද?’ මම ඔහුට බාධා කළෙමි.

‘මේ අවුරුද්ද (1942) මා සුබ නිසා වෙන්න ඇති මට චිත්‍රා පෙරේරා හමු වුණේ. ඒ වන විට ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඉගෙනීමට යන දැරියක්. ඇය උපන්නේ 1932 මැයි 25. මට වඩා අවුරුදු 11 කට බාලයි. ඒ කාලේ චිත්‍රා හින්දි ගී අනුව සින්දු කියනවා. එතකොටයි මට ඇය මුණ ගැසුණේ. 1946 මම චිත්‍රා එක්ක මුල්වරට ගීතයක් ගැයුවා. 1947 ඇය ගුවන් විදුලි ගායිකාවක් හැටියට සමත්වෙනවා. ඊට පස්සේ ඇය 1948 යූ. ඩී. පෙරේරා මාස්ටර් යටතේ කොලොම්බියා තැටිවලට සින්දු කිව්වා. ඇයට මුලින්ම අත හිත දුන්නේ යූ. ඩී. මාස්ටරුයි, ලයනල් එදිරිසිංහ මාස්ටරුයි. ඊටත් පස්සේ මම චිත්‍රාට ගීත හදල දුන්නා. අපි දෙන්නම ගැයු යුග ගීයක් ඒ. මුල්ම ගීතය හුඟාක් ජනප්‍රිය වුණා. ගීතය රචනා කළේ ආතර් එම්. ද අල්විස්.

යමුනා යමුනා සෝබන ගංගා
සුනිමල ජලධාරා ගලන්නා
සුනිමල ජලධාරා

මේ ගීතය සඳහා මම ක්ලැරිනට්, සැක්ස්ෆෝන්, පියානෝ, ගිටාර්, ඩ්‍රම්පට්, ඩබල් බේස් මුල්වරට යොදා ගත්තා. එකල ගුවන් විදුලිය එයට රුකුලක් දුන්නා. ඒ මුල්ම ගීතය ලෝක ප්‍රකට වුණා. සොල්බරි අග්‍රාණ්ඩුකාරතුමාගේ දියණිය රැම්ස්බොතම් මේ ගීතය ඉල්ලා එය එච්. එම්. වී. තැටියට නංවා රට රටවලට යැව්වා. ‘1954 වසරේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිපද වූ ‘ඊස්ට් ඉන් ද වෙස්ට්’ නම් චිත්‍රපටයට ‘ඉසුරුමුනිය’ ගීතය ඇතුළත්වීමේ මුල්වරට සිංහල ගීතයක් විදේශීය චිත්‍රපටයකට සම්බන්ධ කිරීමේ භාග්‍යය ලැබුණා.’

සෝමපාලයන් විසින් චිත්‍රාට ගී තනු නිර්මාණය කර දුන් ගීත තවමත් මෙතෙර මෙන්ම එතෙර ද ජනප්‍රියය. මහාචාර්ය ආරියරත්න කියා ඇති පරිදි සෝමපාලගේ ගීත කලාව කවරක්දැයි චිත්‍රා ගැයූ මේ ගීතවලින් මොනවට පැහැදිලි වේ.

ලලිත කලා ඔප කරනා - සීගිරි ළඳුනේ ඇයි ඔබ තනි වී, දඹුලු ගලේ - දඹුලු ගලේ, දුන්හිඳ හැලෙනා - හැම තැන නැගෙනා, සුකොමල බඳ ලෙලවා - පය කිංකිණි සොලවා, උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ, සරසමු ලංකා නළවමු ලංකා, ඉසුරුමුණියෙහි පැතලි ගලෙක ඒ ආලය ලීලය පෑ, දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි, නුවර අලංකාරේ, නුවර වැවේ – නුවර වැවේ - සුනිල දියේ කුමුදු පිපේ, පෙම්බර මාතා - මා වැඩු මාතා - ගයමි ඔබේ මවු ගුණ සමරා, රට රට එක් කොට කලා ලොවක් කොට ආදි මේ ගීත මර්සලින් ජයකොඩි පියතුමා, පියසේන කොස්තා, ආටිගල සරච්චන්ද්‍ර, සුසිල් සේනාධීර, ආතර් ඇම්. ද අල්විස්, ආනන්ද සරත් විමලවීර, හර්බට් එම්. සෙනෙවිරත්න ආදීන් ගේය පද රචනා කර ඇත.

සෝමපාලයන්ගේ ස්වතන්ත්‍ර ගීත නිර්මාණ චිත්‍රාට පමණක් සීමා නොවීය. ලතා, තිලකසිරි ප්‍රනාන්දු, කාන්ති වක්වැල්ල, නොයෙල් පෙරේරා, සීතා වින්සර් ගැයු ගීත ද ඔහුගේ ඒ තනුවලින් සුපෝෂිතය විය. 1958 වසරේ ගුවන් විදුලියේ නිෂ්පාදක තනතුරක් ලැබූ සෝමපාලයන් එහි අතිරේක සංගීත පාලක තනතුරකට පත් වූ පසු මෙරට ජනප්‍රිය ගායිකාවන් රැසකට දොරට වැඩීමට මුල් අවස්ථාවේ අත හිත දුන් හැටි කෘතඥතාවයකින් ඔවුන් පවසා ඇත.

සෝමපාලයන් දෙවන වරට චිත්‍රපටයකට සම්බන්ධ වන්නේ 1956 වසරේ ‘ඩිංගිරි මැණිකා’ තුළින්ය. එහිදී ඉන්දීය ජාතික ඇස්. ඇස්. වේදා සමඟ සම සංගීත අධ්‍යක්ෂවරයකු වීම සිදු විය. එහි එන ‘පෙරදිග මුතු ඇටයයි මේ’ (ලතා) ගොවියාවේ රටක බලේ (ලතා) ගීතවල සංගීතය ඔහුගේ යයි අපට හැඟේ. එය අනුමානයක් පමණි. ලතා සහ වල්පොල ගැයූ පියදාස සිරිසේන මහතා නවකතාවට ලියා තිබූ ‘ලොව සෙට සතර’ ගීතය ඔහුගේ තනු නිර්මාණ යැයි මහාචාර්ය ආරියරත්න ඔහුට ගෞරවයක් ලෙස සටහන් කර ඇත. එහි අන් ගීතවල තනු හින්දි හා දෙමළ චිත්‍රපටවලින් නිසා ඒවා එස්. එස්. වේදාගේ ගිනුමට බැර විය හැකි බව අපට පෙනේ. එය ද අනුමානයක් පමණි.

එතැන් සිට සෝමපාලයන් සංගීතය සැපයූ චිත්‍රපට අසම්පූර්ණ ලේඛනයකි මේ. දෙයියන්නේ රටේ – දීපශිකා - හතර මහ නිධානය – කිංකිණි පාද - සුදු දුව - අක්ක නගෝ - ප්‍රවේසම් වෙන්න – දැන් මතකද – හතර දෙනාම සූරයෝ - ආදරේ හිතෙනව දැක්කම – අභිරහස - සුහද පැතුම – තුෂාරා - සූරයා සූරයාමයි – ලස්සන කෙල්ල – දමයන්ති - පෙම්බර මධූ – චණ්ඩි ශ්‍යාමා ඇතුළු චිත්‍රපට 51 ක සෝමපාලයන් සංගීතය අධ්‍යක්ෂණය කළ බව ‘පී. එල්. ඒ. සෝමපාල : ගී සළකුªණ’ සංග්‍රහයේ පළ වි ඇත. ඔහුගේ සියලු ගීත ජනප්‍රිය වූ ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයේ ‘හිම බිම පාලන සුරිදේ (බෙග්), සීත සුනිල් දිය දහරා (ජෝතිපාල), සීත ගඟුලේ සීත හිමේ (ඉන්ද්‍රානි, වල්පොල ඇතුළු පිරිස), සිරිපාද හිමේ දෙය්යන්නෙ රටේ (බෙග්), රැල්ලේ කිරි වැල්ලේ (බෙග් හා රාණි), අම්මාගේ කීම අහලා (රාණි) මොකටද කාසි බාගෙ (බෙග්), පෙර පෙර කඳුළු (ඉන්ද්‍රානි) හා සී. ටී. ප්‍රනාන්දු හා ඇන්ජලින් ගැයූ ‘හිමේ සමන් දෙවි’ නම් විරුදු පංතිය (මෙය සෝමපාලයන්ගේම ස්වතන්ත්‍ර තනුවක් බව මහාචාර්ය ආරියරත්න පවසා ඇත).

සෝමපාලයන් ‘දිපශිඛා’ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කරමින් නිර්මාණය කළ ගීත සියල්ලම ජනප්‍රිය වූ අතර ඒවා අනුකරණය. ‘මේ මෝසම් මඳ සුළඟ හමා’, ‘ප්‍රේමේ දීපශිඛා’ (ජෝතිපාල හා ඇන්ජලින්) මේ අතර ද ජනප්‍රිය ගීත වී ඇත. ‘ස්වීප් ටිකට්’ චිත්‍රපටයේ ‘ආවා පෙම්වතා’, ‘හොඳ සිරියාවයි ආකාසේ’ ‘සිනහ රැළි නැං වී ආ- වා-දෝ’ (ජෝතිපාල හා ඇන්ජලින්) ‘මේ ලෝකේ සියල්ලෝ’ (ජෝතිපාල) ගීතත්, ඇතුල්වීම තහනම්’ චිත්‍රපටයට නිර්මාණය කළ ‘තරුණ නෙත් ජය මංගලේ’ (ජෝතිපාල හා සුජාතා) ‘දුර දිග නොබලම යනවා (සුජාතා), ‘ලැසි ගමනින් යන ගමනේ’ (ජෝතිපාල), ‘කිංකිණිපාද’ චිත්‍රපටයට නිර්මාණය කළ ‘මල් සුගන්දේ දම් සුගන්දේ’ (බෙග් හා සුජාතා ගීතයත් හැටේ දශකයේ අතිශයින්ම ජනප්‍රිය වී ඇත. ඊට අමතරව ‘හතර දෙනාම සූරයෝ’ හි ‘පැතුම් මල්ලකි’ (ලතා), ’කල්‍යාණ ගංගා’ හි ‘පුතුනේ මේ අහගන්න’ (සුජාතා), ‘අභිරහසේ’ ‘සුසුදු රැල්ල’, ‘ආදරේ හිතෙනව දැක්කම’ චිත්‍රපටයේ ‘අඬන්නෙපා සුදු මැණිකේ’, ‘දෑසේ විමන් දොරින්’ (ජෝතිපාල), ‘ඔබට තියෙන ආදරේ’ (එම්. එස්.) ‘පෙම්බර මධු’ චිත්‍රපටයේ ‘පෙම්බර මධු මගේ’ (වික්ටර්) මේ ගීත අතර කැපී පෙනේ. ‘හතර මහා නිධානය’ට මිල්ටන් පෙරේරා ගැයූ ‘උම්බෑ කිය කියා මරණ බයේ’ සෝමපාලයන්ගේ ගීතය. මේ ගීතය ඇසූ බොහෝ දෙනා ගව මස් අනුභවය අත්හළ බව වාර්තා වේ. එවැනි ගීත රැසක් ඔහු සිංහල සිනමාවට දායාද කර ඇත.

1966 වසරේ ජනප්‍රිය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ලෙස ‘ස්වර්ණ සංඛ’ සම්මානය දිනූ සෝමපාල හා චිත්‍රා ලන්ඩන්, පැරිස්, වේල්ස්, කැලිෆෝනියා, ජිනීවා විදේශීය නගරවල ප්‍රසංග පවත්වා ඇත.

ඉතා මියුරු ජනප්‍රිය ස්වතන්ත්‍ර ගී රැසක්ම නිර්මාණය කළ සෝමපාලයන් හින්දි තනු චිත්‍රපට ගීත සඳහා පාදක කර ගත්තේ මන්දැයි විමතියකැයි පත්‍ර සාකච්ඡාවලින් මතු වී තිබුණි.

පොදු ජන රුචිය අනුව සංගීතයක් අවශ්‍ය බව සෝමපාලයන් 1983 අප්‍රේල් 25 වෙනි බදාදා ‘දීපශිඛා’ පුවත්පතට කියා තිබුණි.

‘ස්වාධින සිංහල සංගීතයක් තවම (1983) බිහි වෙලා නැහැ. දැනට තිබෙන සංගීතය හින්දුස්ථානි සංගීතයේ ස්වර වෙනස් කිරීමෙන් ඇති වූ හඬක් පමණයි. හින්දි තනු කොපි කරනවාය කියලා මට බොහෝ දෙනෙක් චෝදනා කරනවා. හින්දි තනුවකට දේශීය පද මාලාවක් දමා රසික හදවතට තුරුලු වන නාද රූප මාලාවක් තුළින් ඉදිරිපත් කිරීමයි මං කරන්නේ. හින්දි තනුව යැයි කියන්නේ හින්දුස්ථානි ස්වර මාලාව අනුව සකස් කර ගත් නිර්මාණයක්. අපේ සිනමා රසිකයන් වැඩි හරියක් හින්දි ගීතවලට ආශා කරනවා. ඔවුන්ගේ හද බැඳ ගත් ගීත සිංහල චිත්‍රපටයක් තුළින් දේශීය පද මාලාවක් අනුව යෙදෙන කොට එහි වඩාත් කර්ණරසායන බවක් මතු වෙනවා.’

1952 මැයි 18 වෙනිදා ඉරිදා ලංකාදීපයට සෝමපාලයන් ‘මා සංකර සංගීතය කරන්නේ ඇයි?’ නම් ලිපියක් ලියා තිබුණි.

සෝමපාලයන් එදා සංගීතය සංකර කරනවා යන චේදනාව ආවේ තමාගේ ගීත ජනප්‍රිය කරවිම සඳහා බටහිර තූර්ය භාණ්ඩ වූ පියාමෝ, ක්ලැරිනට්, සෙක්සෆෝන්, ගිටාර්, ඩබල් බේස්, ට්රම්පට් ආදිය සමඟ පෙරදිග භාණ්ඩ යොදා බටහිර දිග නැටුම් තාලවල් වන රම්බා, සම්බා යනාදිය වහල් කොට ගෙන මවිසින් ගීත රචනා කොට ගායනය හා වාදනය කරන නිසාය.

‘මේ සංකර සංගීතය මා නම් අනුගමනය කරන්නේ මහජනයා සතුටු කිරීම සඳහාය. මම නම් කිසි කලෙකත් අපේ සිංහල සංස්කෘතියට අගෞරවයක් නොකරන්නේ කෙසේදැයි මම නොදනිමි.’

සෝමපාලයන්ට පනහ දශකයේ මෙන්ම හැත්තෑව දශකයේ ද චෝදනා එල්ල කර ඇති අන්දම මින් අපට පෙනී යයි. කෙසේ වෙතත් පී. එල්. ඒ. සෝමපාලයන්ගේ සංගීත යුග මෙහෙවර වෙනමම ලිය වී හමාරය. ඔහු ඒ අතින් සංගීත ක්ෂේත්‍රයේ යුග පුරුෂයෙකි. ඔහුගේ චිත්‍රපට ගීත වැඩි හරියක් ලියුවේ කරුණාරත්න අබේසේකරයන්ය. කරු ලියූ ගී සියයට සියයක්ම ජනප්‍රිය වී ඇත.

චිත්‍රා පෙරේරා සමඟ සෝමපාල විවාහ වන්නේ 1952 සැප්තැම්බර් 27 වෙනිදාය. වැඩිමහල් පුතු ප්‍රසන්න මහවැලි අමාත්‍යාංශයේ දක්ෂ කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කොට විශ්‍රාම සුවයෙන් පිටකෝට්ටේ පදිංචිව සිටී. ඒ අසලම නිවෙසක නූතන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රසන්නගේ සොහොයුරු චිත්‍රාල් පදිංචිව සිටී. සම්මානලාභී ගායන තරුවකි. ඔහු Dambulugale : Chitral ‘Chity’ Somapala නම් සංයුක්ත තැටියක් නිකුත් කර ඇත. එය The Spirit Goes On In Memory Of My Parents P. L. A. and Chitra Somapala උපහාර පිණිස එළි දක්වා ඇත. සෝමපාල යුවළගේ සෙසු දරුවන් වූයේ රොහාන්, නලින් හා පියුමීය. 1991 වසරේ අක්ෂි ශල්‍ය කර්මයක් සඳහා ඉන්දියාවට ගිය සෝමපාල එම වසරේ පිළිකා රෝගය නිසා මාර්තු 26 වෙනිදා අභාවප්‍රාප්ත විය.

සෝමපාලයන්ගේ වැඩිමහල් පුතු ප්‍රසන්න සෝමපාල පියාගේ මතකය අපට මතක් කළේ මෙසේය.

’මගේ තාත්තා සියලු දේ කළේ ඉසිපතන පාරේ අපේ ගෙදර කේන්ද්‍ර ගත කරගෙනයි. තාත්තා Family Manද. කිසිදා මත්පැන් පානය නොකළ සිගරට් නොබිව් තාත්තාගේ ජීවිතය ගෙදර. ඊළඟට ආදරය කළේ කාර් එකට. තාත්තා පඩි ගත්තාම කළ මුල්ම රාජකාරිය තමයි කාර් එකට අවශ්‍ය අමතර කොටස්, ටයර් ආදිය ගෙන ඒම. C N 6422 මොරිස් මයිනර් කාර් එකේ තියාගෙන අපිව ගමන් එක්ක යන්න තාත්තා කැමතියි. පවුලේ දරුවෝ හතර දෙනාටම චිත්‍රාල් කොටස එකතු කළා. මම ප්‍රසන්න චිත්‍රාල්. ඊළඟට රොහාන් චිත්‍රාල්, නලින් චිත්‍රාල්, චිත්‍රාල් යන මල්ලිලාට එකම නංගි පියුමි චිත්‍රාල්.

තාත්තා චිත්‍රපටවලට සුදුසු හින්දි ගීත තැටි තේරුවේ ගෙදරදීම. කරු අන්කල් නිතරම ගෙදරට ආවා. වැඩිපුර ආපු ගායකයා ජෝති අයියා. මම ඉපදුණාට පස්සේ ඇඳුම් මහල තියෙන්නේ ලතා ඇන්ටි. තාත්තාගේ කිට්ටුම මිත්‍රයා රොක්සාමි අන්කල්. රොක්සාමි අන්කල් නැතිව කිසිම රෙකෝඩින් එකක් කළේ නෑ. ලතීෆ්, ඇන්තනි සාමි, පැට්රික් දෙනිපිටිය හැම රෙකෝඩින් එකකටම අනිවර්යයි. තාත්තා හින්දි ගීත ඒ ආකාරයෙන්ම කොපි කළේ නෑ. චිත්‍රපටයේ අවස්ථාවලට උචිත ලෙස ‘ඉන්ටර් ලූඩ්ස්’ (අන්තර් වාදන) වෙනස් කරවා. ඒව ජනප්‍රිය වුණේ ඒ නිසා. ඒ ගීත අහන්නටම ප්‍රේක්ෂකයෝ දෙතුන් වතාවක් සිනමාහල්වලට ආවා. ඒවයේ පදමාලාව ඒ අයට කටපාඩම්. බලන්න සීලවිමල මහත්තයා ‘දැන් මතකද?’ චිත්‍රපටය ලියූ ‘හිස් ටිං එකක් වගේ’ ගීතයක්.

තාත්තා පුට්බෝල් Fan කෙනෙක්. සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායමට ආදරෙයි. ලංකා කණ්ඩායමටත් ක්‍රීඩා කළ පී. ඩී. සිරිසේන, එඩ්වඩ් වික්‍රමසූරිය, කුරුකුලසූරිය, ලයනල් පීරිස්, මහින්දපාල, සුමිත් වල්පොල, සිවරත්නම්, නලින් පෙරේරා අපේ ගෙදර නිතර ආව ගියා. සෝන්ඩර්ස් මැච් එකක් තිබුණොත් තාත්තා ඔක්කෝම වැඩ එදාට නවත්වලා එහි ගිහින් ක්‍රීඩකයන් දිරිමත් කරනවා. තාත්තාට ‘පුට්බෝල්’ ආසාව ඇති කළේ දක්ෂ තබ්ලා වාදකයකුව සිටි එම්. ආරියදාස මාමා. ආරියදාස මාමා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ගෝල් රකින්නා හැටියට ක්‍රීඩා කරනවා බලන්න පාසල් වියේ සිටි තාත්තා ගිහින් තියෙනවලු. තාත්තා ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති වෙලත් හිටියා.

මුලදී තාත්තා අම්මට ස්වතන්ත්‍ර ජනප්‍රිය ගී තනු නිර්මාණය කරලා දුන්නත් චිත්‍රපටවල අම්මට සින්දු කියන්න අවස්ථාවක් දුන්නේ නෑ. අම්මා ජීවිතේට එකම එක චිත්‍රපට ගීතයයි කියලා තියෙන්නේ. ඒකත් ගීත රචක පියසේන කොස්තා මාමාත්, ‘අසෝකා’ චිත්‍රපටයේ නිෂ්පාදක ගුණරත්න මුද්‍රණ සමාගමේ අධිපති ගුණරත්න මහත්තයාගේ බලවත් පෙරැත්තය නිසා. ‘අසෝකා’ චිත්‍රපටයේ එන ‘පෙම් සුවඳයි මංගල සිරි දෙයි - සිරිබර පෙම් මල් උයනේ’ ගීතය අම්මා ධර්මදාස වල්පොල මාමා එක්ක ගැයුවා. ගීතය ලිව්වේ කොස්තා මාමා විසින්.

අම්මා අපිවත් බලාගෙන ගෙදර වැඩ කරන් හිටියට චිත්‍රපට ගීත ඉල්ලගෙන ඇඬුවේ නෑ. ගෙදර ඉඳහිට රණ්ඩු සරුවල් ඇති වුණත් ඒවා සාමයෙන් විසඳෙනවා. අම්මාගේ පවුලේ වැඩිමහල් අයියා විතරයි කලාවට සම්බන්ධ වුණේ. ඒ මාකස් පෙරේරා මාමා. එයා දස්කොන්, කිංකිණි පාද, හඳපාන (චාලි) චිත්‍රපටවල රඟපෑවා. අපේ තාත්තා 1991 මිය ගියා. අම්මා අප අතරින් සමු ගත්තේ 1994 වසරේ. ප්‍රසන්න දිග ඉතිහාසයක් කෙටියෙන් අපට කීවේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.