අත්තම්මාට කොට ගවුම් ඇන්ද වූ ඩිජිටල් සිනමා ශාලා

මැයි 2, 2019

‘සංගිලි’ චිත්‍රපටය කොළඹදී නැරැඹීමට නොහැකි වුණ නිසා කොළඹින් පිට පළාතක මෙම චිත්‍රපටය තිරගත කරනවාදැයි විමසා බලන විට මීරිගම නගරයේ සිනමා ශාලාවක චිත්‍රපටය උදේ 10.30 ට පමණක් තිරගත කරන බව පුවත්පතකින් දැනගන්නට ලැබුණි. වැඩි හොඳට එම පුවත්පතේ සිනමා දැන්වීම් තීරයේ තිබූ අංකයට එම සිනමා ශාලාවට කතා කළා. දින කිහිපයකට සංගිලි චිත්‍රපටය උදේ 10.30 ට පමණක් ප්‍රදර්ශනය කරන බව එහි කළමනාකරුගේ පිළිතුර වුණා. ඒ අනුව සෙනසුරාදා දිනයක මෙම සිනමා ශාලාවට ගිියත් කලින් දවසේ සංගිලි ගලවලා. ඒ වෙනුවට ‘සුළඟ අප රැගෙන යාවි’ තිරගත කරන බව දැනගන්නට ලැබුණා. ඒ චිත්‍රපටයත් අලුතින්ම ආව එකක් නිසා එය බලන්න තීරණය කළා.

මේ සිනමා ශාලාවත් ළඟකදී ඩිජිටල් කරලා කියලා දැනගන්නට ලැබුණා. කොහොම හරි උදේ 10.15 ට විතර ඇතුළට ගිහිල්ලා වාඩි වුණා. කියන්න කනගාටුයි ඇතුළ හරියට පරණ බඩු ගබඩාවක් වගේ. බෝඩ් එකේ ‘ඩිජිටල් සිනමා’ කියලා ගහලා තිබුණට ශාලාව ඇතුළ නම් අජ පල්. බොහොමයක් සිනමා ශාලාවල ප්‍රක්ෂේපණ යන්ත්‍ර පමණයි ඩිජිටල්. අනිකුත් පහසුකම් සියල්ලම යල්පැනපුව. ආසන සියල්ලම සීට් කවර ඉරිලා, බාපන් කැඩිලා, කුෂන් එක ලෑල්ලටම බැහැලා, මකුණන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා. විදුලි ආලෝක පද්ධති විදුලි පංකා සියල්ල ගැන කියලා වැඩක් නෑ. නැවත මිහිර සිනමා ශාලාව දෙසට හැරෙමු. සිනමා ශාලවෙ අඳුරු මුල්ලක ඉඳලා බැළලියක් පැටව් තුන් දෙනකුත් එක්ක එළියට ආවා. තව මොනවගේ සත්තු සර්පයි එළියට එයිද කියලා බයකුත් ඇති වුණා. ඒත් කමක් නෑ, හිත දැඩි කරගෙන තිරය දිහා බලාගෙන උන්නා. සුදු පාට තිරය ඇඳුරු පැහැ ගැන්විලා. ඒ තරමට රිදී තිරය ඇන්ටික් වෙලා. වෙලාව හරියටම 10.30 යි. ශාලවෙ දැල් වී තිිබුණ විදුලි බල්බ් නිවී ගියා. ඕ. ඩී සී. එකේ තිබුණ ටේබල් ෆෑන් එකත් නැවතුණා. අන්ධකාරයේ විනාඩි 10 ක් විතර උන්නා. කිසිම හැල හොල්මනක් නෑ. කෝකටත් එළියට ගිහිල්ලා බැලුවා මොකද වෙච්ච සන්තෑසිය කියලා. . . . අද ලයිට් කපනවනෙ . . . ඒත් කොහොම හරි ජෙනිය දාලා පින්තූරය පෙන්වනවා. හැබැයි ටිකක් ප්‍රමාද වෙනවා. වතුර මෝටරේ හුළං ඇතුළ ඒ හදල ටැංකියට වතුර ගහලා ඉවර වෙලා පින්තූරය පෙන්වනවා. කළමනාකරුගේ පිළිතුර වුණා. ජෙනරේටරය රත් වුණාම ඒක නිවන්න ටැංකියට වතුර ටිකක් ගහන්න වෙනවා. කොහොම හරි වතුර මෝටරේ පැය 1/2 ක් විතර හදල ජෙනිය ස්ටාට් කළා. දැන් වෙලාව උදේ 11.10 යි. පින්තූරය පෙන්වන්න පටන් ගත්තා. ප්‍රමාද වෙලා පටන්ගත්ත නිසා චිත්‍රපටය එක දිගටම පෙන්නගෙන ගියා. චිත්‍රපටයේ භාගයක් විතර පෙන්වගෙන යද්දි එකවරම දර්ශනය නතර වුණා. ජෙනිය දිගටම දඩ දඩ ගාලා වැඩ. විනාඩි දහයක් විතර ඉඳලා නැගිටලා එළියට ආවා.

මැනේජර් මහත්තයා කෙටි නින්දක. බාධා කළේ නැහැ. ගිනි මද්දහනේ බස් එකක් ගන්න පාරට බැස්සා. බස් එකට නැගලා ආසනයකට බර දීල වාඩි වෙලා ටිකක් කල්පනා කළා. අපේ සිනමාවට වගේම සිනමා ශාලාවලට මොන දසාවක් ලබල ද කියලා. කොළඹ සිනමා ශාලා කීපයක් හැරෙන්න අනිකුත් බොහොමයක් සිනමා ශාලාවල තත්ත්වය ඉතාම කනගාටුදායකයි. ප්‍රක්ෂේපණ යන්ත්‍ර හා ශබ්ද උපකරණ ඩිජිටල් වුණාට සිනමා ශාලා ඊට සමාන්තරව නවීකරණය වෙලා නැහැ. ඇතුළ හරියට බඩු ගබඩා කරන ගුදම් වගේ. මකුළු දැල්, දූවිල්ල, අධික රස්නය, අබලන් වූ ආසන, කැඩී බිඳී වලවල් හෑරුණු සිමෙන්ති පොළව, අපිරිසුදු වැසිකිළිවල දුර්ගන්ධය. මෙහෙම වාතාවරණයක් උඩ සිනමා රසිකයෙක් කොහොමද චිත්‍රපටයක උපරිම වින්දනය ලබා ගන්නේ. සරසවිය කර්තෘතුමාට අපි ආදරයට කියන්නේ අරුණ අයියා කියලා. පහුගිය දවසක ඔහු මට හොඳ කතාවක් කිව්වා. අශෝකා සිනමා ශාලාව කඩන හැටි මම ඇහින් දැකපු හැටි කීවා. එතකොට අරුණ අයියා කීවේ මල්ලි ඔය පැරැණි ගුබ්බෑයම් වගේ තියෙන චිත්‍රපට හෝල් ඔක්කොම සමතලා කරන්න ඕනෑ කියලා. ඒ කතාවට මම එකඟ වෙනවා. හැබැයි එතන නවීන පහසුකම් සහිත ඩිජිටල් සිනමා ශාලාවක් (මිනි තියටර් එකක්) ඉදි කළ යුතුයි.

කවුරු මොනව කීවත් චිත්‍රපටයක් නැරැඹිය යුතු මාධ්‍යයක් තියෙනවා. ඒ කියන්නේ චිත්‍රපටයක උපරිම වින්දනය ලබා ගන්න නම් එය සිනමා ශාලාවක නැරැඹිය යුතුමයි. වේදිකා නාට්‍යයක් රූපවාහිනියේ නැරැඹුවට ඒ වින්දනය අපිට එමඟින් ලබා ගත නොහැකිය. ඒ වගේම චිත්‍රපටයක් සිනමා ශාලාවක නැරැඹිය යුතුමයි කියලා මම හැමදාම විශ්වාස කරනවා. ලෝක සිනමාවත් සමඟ සසඳා බලද්දි අපේ සිනමා කර්මාන්තයට අත්වන ඉරණම පිළිබඳව ඇති වන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. සිංහල සිනමාවට අත් වූ ඉරණම පිළිබඳවත් ඉන් මේ කර්මාන්තය දියුණුව කරා ගෙන යන්නටත් වගකිව යුතු කාටවත් ඕනෑ 

කරන බවක් පෙනෙන්නට නැහැ. දේශීය සිනමාවට අද අත් වී තිබෙන කනගාටුදායක ඉරණම පිළිබඳව අදාළ ඇමැතිවරයාවත් පාර්ලිමේන්තුවේ කතා කරන බවක් පෙනෙන්න නැහැ. චිත්‍රපට සංස්ථාවටත් මේ පිළිබඳව කිසිදු වුවමනාවක් නැති බව පැහැදිලියි. අඩුම තරමින් දැනට රට පුරා ඇති සිනමා ශාලාවල තත්ත්වය පිළිබඳ සමීක්ෂණයක්වත් චිත්‍රපට සංස්ථාව කරපු බවක් දැනගන්නට නැහැ. මෙහෙම ගියොත් දේශිය චිත්‍රපට කර්මාන්තය කොහේ ගිහින් නතර වෙයිද දන්නේ නෑ. මීරිගම නගරයේ සිනමා ශාලාව ගැන මම සඳහන් කළේ අද වන විට අපේ සිනමා ශාලාවලට අත්ව තිබෙන කනගාටුදායක ඉරණම පිළිබඳව පැහැදිලි කිරීමට පමණකි.

චිත්‍රපට නරඹන ප්‍රේක්කෂකයන් දිනෙන් දිනම පහත වැටීමත් සමඟ සිනමා ශාලාවල ආදායම ද වාර්තාගත ලෙස අඩු විය. එවිට සිනමා ශාලා නඩත්තු කිරිමත් සේවක වැටුප් ගෙවීමත් බරපතල ගැටලුවක් විය. විශේෂයෙන්ම පැරැණි සිනමා ශාලා විශාලත්වයෙන් වැඩි නිසා ඒවා නඩත්තු කිරීම ද පහසු කටයුත්තක් නොවේ. ඇතැම් සිනමා ශාලාවල සේවක සංඛ්‍යාව 2 කට සීමා වී ඇත. බොහොමයක් සිනමා ශාලාවල දෛනික දර්ශන වාර අවලංගු කරන අවස්ථා එමට ඇත. විදුලි බිලවත් ආවරණය කර ගැනීමට තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නොමැති අවස්ථාවල එම දර්ශන වාරය අවලංගු කිරීමට සිදු වෙයි. මෙවැනි තත්ත්වයක් උඩ එම සිනමා ශාලා වසා දමනවා හැර එහි කළමණාකාරිත්වයට වෙනත් විකල්පයක් නොමැත. මේ වනවිට කොළඹ නගරයේ සුනිල් ටී. ප්‍රනාන්දුට අයත් රිකී 1 සහ 2 සිනමා ශාලා දෙකම වසා දමා ඇත. වෘත්තීමය වශයෙන් සුනිල් ටී. යනු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු නිෂ්පාදකවරයකු සේම සිනමා ශාලා හිමිකරුවෙකි. එවැනි පුද්ගලයකුටත් තම සිනමා ශාලා නඩත්තු කර ගැනීමට නොහැකි වූවා නම් අනිකුත් සිනමා ශාලා හිමියන් ගැන කවර කතාද?

වසර 72 ක් පැරැණි අපේ දේශීය සිනමාව මෙතුවක් දුර රැගෙන එන්න මේ සිනමා ශාලාවලින් දුන්නු තල්ලුව අනන්තයි. අප්‍රමාණයි. ඒ නිසා අපේ දේශීය සිනමාවත්, සිනමා ශාලාවල තත්ත්වයත් මීට වඩා ඉහළ මට්ටමකට ගෙන එන්න බලධාරීන් කවුරු කවුරුත් මීට වඩා උනන්දුවෙන් යම් වැඩ පිළිවෙළකට යා යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. අපේ රටේ කිසිම ක්ෂේත්‍රයකට ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම මේ විනාශයට ප්‍රධාන හේතුවයි.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.