චිත්‍රපට හැදූ මාධ්‍යවේදීන්

අප්‍රේල් 11, 2019

සිංහල සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 100 වැනි ජන්ම දිනය පසුගිය 05 වැනිදාට යෙදී තිබුණි. එතුමන්ගේ 100 වැනි ජන්ම දිනය දා සරසවිය පුවත්පතේ ලේඛක ප්‍රසාද් සමරතුංග සිය කලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ඉස්කෝලෙට මං ආවා සිනමාවට රැගෙන ආවේ අහම්බයක් හැටියටය. සිංහල සිනමා වංශකතාවට අමරණීය සිහිවටන එක් කරමින් දේශීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද සිනමාවට පිවිසීමට පෙර මාධ්‍යවේදියකු විය. මේ නිසා අද මේ පිටුව වෙන් වන්නේ සිංහල සිනමාවේ අධ්‍යක්ෂණයට පිවිසි පුවත්පත් මාධ්‍යවේදින් වෙනුවෙනි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

1956 වසරේ දී රේඛාව චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නට පෙර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාධ්‍යවේදියකු විය. 1939 දී ඔහු ද ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ සේවය කළේය. 1947 දී එංගලන්තයට ගිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එහි දී ටයිම්ස් පුවත්පතෙහිද සේවය කළේය.

විමලනාත් දිසානායක

පටාචාරා, මාතෘභූමි, කුණ්ඩලකේශි චිත්‍රපට අධ්‍යක්ණය කළ විමලනාත් දිසානායක ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළේය.

ධර්ම ශ්‍රී කල්දේරා

කල්‍යාණි ගංගා, ගිම්හානේ ගී නාදේ, රෑන ගිරව්, මුවන් පැළැස්ස වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ධර්ම ශ්‍රී කල්දේරා ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියකු, නාට්‍ය රචකයකු, චිත්‍රපට කතා රචකයකු, චිත්‍රපට නළුවකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු ද විය. ලංකාදීප උප කර්තෘවරයකුව සිටි ඔහු චිත්‍රපටි නම් පුවත්පත සහ තරු කැළුම් සඟරාව ද සංස්කරණය කළේය. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ සීතල වතුර චිත්‍රපටයෙනි.

අමරනාත් ජයතිලක

චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක චිත්‍රපට ලේඛන කලාව ආරම්භ කළේ 1961 වසරේදී ලංකාදීප පුවත්පතිනි. සිනමාව පිළිබඳ කෘති රැසක් රචනා කළ ඔහු ෆිල්ම් ෆ්‍රේම් නමින් ඉංග්‍රීසි සිනමා සඟරාවක්‌ද සංස්‌කරණය කළ අතර විදෙස් සඟරා රැසක මෙරට වාර්තාකරු ලෙසින් කටයුතු කළේය. ආදරවන්තයෝ, ප්‍රියංගා, තිලක හා තිලකා, සිරිපාල හා රන්මැණිකා, නිවෙන ගින්න, එක දවසක්‌ රෑ, අරුණට පෙර අමරනාත් ජයතිලක චිත්‍රපට අධ්‍යක්ෂණ අතර වේ.

සුදාස් මාස්කෝරාළ

පාරා වළලු, කුමර කුමරියෝ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සුදාස් මාස්කෝරාළ ජනතා පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළේය.

වසන්ත ඔබේසේකර

පළඟැටියෝ, දඩයම, කැඩපතක ඡායා, දොරකඩ මාරාව වැනි සම්මානනීය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට අති විශිෂ්ට දායකත්වයක් සැපයූ වසන්ත ඔබේසේකර ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු ලෙසින් කටයුතු කළේය. දිනමිණ පුවත්පතේ සේවය කළ ඔහු සිනමාවට පිවිසීම සමඟින් මාධ්‍ය දිවියට සමු දුන්නේය. දඩයම සහ පළඟැටියෝ චිත්‍රපටවලට පාදක වන සිද්ධීන් ඔහු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ සමයේ සමයේ සිදු වූ සිදුවීම් වේ.

සිරි කුලරත්න

සිකුරු දසාව, සඳවට රන්තරු, බඹර පහස, රිදී තැල්ල වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සිරි කුලරත්න නාට්‍ය ගීත, දෙබස්‌ රචකයෙක්‌, වේදිකා නළුවෙක්‌ පමණක් නොව ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්‌ ද විය. එපමණක් නොව ඔහු මාධ්‍යවේදියකු ද වන්නේ ලේක්හවුස් ආයතනයෙනි. 1967 වසරේදී ඔහු මාධ්‍යවේදියකු ලෙසින් සේවය ආරම්භ කළේ සරසවිය පුවත්පතෙනි.

තිස්ස අබේසේකර

හෙළ සිනමාවේ බිහිවූ විශිෂ්ට තිර රචකයෙකු සහ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ආතර් යූ. අමරසේන ප්‍රවීණ සිනමා මාධ්‍යවේදියා කර්තෘත්වය දැරූ විසිතුර පුවත්පතෙන් සිනමා විචාර දිවියට පිවිසියේය.

එච්. ඩී. ප්‍රේමරත්න

සසරක පැතුම්, පරිත්‍යාගය, හස්ති වියරුව, දෙවෙනි ගමන, ආදර හසුන, මංගල තෑග්ග, සහරාවේ සිහිනය, පාලම යට, කුලගෙය, සප්ත කන්‍යා, සෙයිලම වැනි සාර්ථක සිනමා නිර්මාණ ගෙන ආ එච්. ඩී ප්‍රේමරත්න ටයිම්ස් ආයතනයේ 'ඩේලිමිරර්' පුවත්පතේ සේවයේ නිරත විය.

ධර්මසිරි ගමගේ

ධර්මසිරි ගමගේ මෙරට කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක සිය දස්කම් දැක්වූවෙකි. කෙටිකතාකරුවකු ලෙස නිර්මාණකරණයට පිවිස පුවත්පත් කලාවේදියකු, තිරරචකයකු, කවියකු ගීත රචකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවටද පත්විය. යස ඉසුරු හා පූජා චිත්‍රපට ඔහු විසින්ම තිරපිටපත් රචනා කර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වේ. ලංකාදීප පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය ආරම්භ කළ ඔහු අනතුරුව ලේක්හවුස් ආයතනයේ යොවුන් ජනතා පුවත්පතෙහි සංස්කාරකවරයකු ලෙසත් කටයුතු කළ අතර සිළුමිණ කර්තෘ මණ්ඩලයේද සේවය කළේය. නව මාධ්‍ය පිරිවරක් ඔහු විසින් බිහි කරන ලද්දේ යොවුන් පහන් වැට හරහාය.

මු. අරුක්ගොඩ

රත්තරන් නෙත්, තාත්තයි පුතයි, චන්නයි කෙල්ලො දෙන්නයි, රූමතිය යි නීතිය යි වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මු. අරුක්ගොඩ ද සිනමා පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ අයෙකි.

සෝමපාල ලීලානන්ද

බඹර පැටික්කී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සෝමපාල ලීලානන්ද දවස පුවත්පත් ආයතනයෙන් තම වෘත්තීය පුවත්පත් කලා ජීවිතය ඇරඹීය. ඔහු ගීත රචකයෙකු, දෙබස් හා තිරනාටක රචකයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයකු ද වේ. "පාට පොදක්‌ තිලක ලා", "නිල්ල නගන ස්‌වර්ණ කිකිණි රාවේ", "වාසනාව දොර ඇරලා බලනවා", "මේ අහල්ලා අහල්ලා", "අම්මලා දුක්‌ ගන්නේ පුතුන් හදන්ටා", "සැරයටියෙන් අපි යනෙන් තුරා" ඇතුළු ජනප්‍රිය ගීත විශාල සංඛ්‍යාවක ගේය පද රචකයා ද වෙයි. එවකට දවස පුවත්පතෙන් සුබ සරණ මංගල තීරය කරළියට ගෙන එමින් වර්තමානයේ බොහෝ පුවත්පත්වල විශේෂ අතිරේක ලෙසද පළකරන මංගල යෝජනා දැන්වීම් රටාවේ පුරෝගාමියා වන්නේද ඔහුයි.

ඩී. බී. වර්ණසිරි

සත්‍යග්‍රහණය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩී. බී. වර්ණසිරි සිය මාධ්‍ය දිවිය ආරම්භ කළේ දවස පුවත්පතෙනි. ඉංග්‍රිසි සහ සිංහල භාෂා ද්විත්වයේම කටයුතු කළ හෙතෙම පිටපත් රචකයෙක් ද වේ. දෙසතිය සඟරාවේ සහ දිනපතා ලක්බිම පුවත්පතේ ආරම්භක සංස්කාරකවරයා ද වන්නේ ඔහුයි.

ජයන්ත චන්ද්‍රසිරි

අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්, සමනළ සංධ්වනිය, මහරජ ගැමුණු වැනි සිනමා නිර්මාණ ගෙන ආ ජයන්ත චන්ද්‍රසිරි මාධ්‍ය වේදියකු ලෙසින් මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂි චරිතයකි. දිවයින පුවත්පතේ ආරම්භයේ සිටම එහි කර්තෘ මණ්ඩල සාමාජිකයකුව සිට කර්තෘත්වය දක්වා පැමිණි ජයන්ත චන්ද්‍රසිරි නවලිය සිනමා අතිරේකය සංස්කරණය කරමින් සිනමාවට අලුත්ම ලේඛක පරපුරක් බිහි කිරීමෙහි ලා පුරෝගාමී විය.

ප්‍රියන්ත කොළඹගේ

අරුමෝසම් වැහි, දැහැන, ආදරණීය කතාවක්, විමුක්‌ති චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළේය.

අනුර හොරේෂස්

අනුර හොරේෂස් මාධ්‍ය ලෝකයේ ප්‍රචලිත වූයේ ගවේෂණාත්මක ලේඛකයකු ලෙසිනි. පාතාල කල්ලි පිළිබඳ විශේෂාංග රචනයෙහි සුවිශේෂි වූ ඔහු විසින් රචිත ගිනිඅවි සහ ගිනි කෙළි අවි නවකතාව ඉහළ ප්‍රසිද්ධියක් ඉසිලීය. භීෂණය, පාතාලය එක් වූ තේමාවක් ගෙන ආ සොඳුරු දඩබිම ඔහුගේ සිනමා අධ්‍යක්ෂණය යි.

රොඩ්නි විදානපතිරණ

රොඩ්නි විදානපතිරණ ‍බො‍හෝ දෙනා හඳුනන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු, පුවත්පත් කතුවරයකු ‍ලෙසිනි. ආතර් යූ. අමරසේනයන්ගේ විසිතුර පුවත්පතෙන් මාධ්‍ය දිවියට පිවිසි ඔහු ලංකාදීප පුවත්පතේ විධායක පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කරන්නේය. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු ‍ද වන ඔහු ඉර ‍සේවය, හිම තාරකා චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.

දයාරත්න රටගෙදර

නිල්දිය යහන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ දයාරත්න රටගෙදර රූපවාහිනි නිර්මාණකරුවකු වීමට පෙර ආතර් යූ. අමරසේන කර්තෘත්වය දැරූ විසිතුර පුවත්පතේ සිනමා ලේඛකයකු ලෙසත් සිත්සර පුවත්පතටත් සම්බන්ධ වී කටයුතු කළේය.

ජයප්‍රකාශ් සිවගුරුනාදන්

කිං හන්තර්, කෝ මාර්ක් නෝමාර්ක්, 5 සමත් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් උපාලි පුවත්පත් ආයතනයේ විශේෂාංග ලේඛකයකු හා ඡායාරූප ශිල්පියකු ලෙසින් කටයුතු කළේය. ප්‍රේම් දිසානායක කර්තෘත්වය දැරූ විචිත්‍ර හා කලා පුවත්පත්වලද ඔහු කටයුතු කළේය.

කල්යාණ චන්ද්‍රසේකර

රජා මමයි, සේයා, නටන්නැතුව දින්නා චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කල්යාණ චන්ද්‍රසේකර සරසවිය පුවත්පතේ නිදහස් ලේඛකයකු ලෙසින් වසර ගණනාවක් පුරා කටයුතු කරන්නේය.

තිස්ස ඩයස්

බබා සහ කොබා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ තිස්ස ඩයස් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ ජනතා පුවත්පතේ විශේෂාංග ලේඛකයෙක් වශයෙන් කටයුතු කළ අතර පසුකාලීනව දවස, රිවිරැස පුවත්පත්වලට සම්බන්ධව කටයුතු කළේය. එච්. ආර් ජෝතිපාල ගැයූ අතිශය ජනප්‍රිය ගීත අතරේ එන "මේ නොනිමෙන දිවි ගමනේ", "පුංචි දෝණී තරහා වෙලා", "නව අවුරුදු දා බක් මාසේ", "දහ දුක් වින්දෙ දරුවො හදන්නයි" වැනි ගීත රචනා කළේ ද තිස්ස ඩයස් විසිනි.

නුවන් ජයතිලක

සුළඟ අප රැගෙන යාවි සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පැමිණි නුවන් ජයතිලක කලක් මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළේය.

ප්‍රසාද් සමරතුංග

සරසවිය පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙසින් සේවයේ යෙදෙන ප්‍රසාද් සමරතුංග සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ මේ දිනවල තිරගත කෙරෙන ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටය සමඟිනි. මාධ්‍ය ක්ෂේත්‍රයේ සිය ප්‍රතිභාව ගෙනහැර දක්වන ප්‍රසාද් පසුගිය වසර කිහිපයක් පුරා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සහ සිනමාව තම රංගන ප්‍රතිභාවෙන්ද ඔපවත් කළේය. සූරියබානු, අම්මාවරුණේ, උතුම් පැතුම් වැනි ටෙලි නිර්මාණ සේම මෝටර් බයිසිකල්, ආදරණීය කතාවක්, මහරජ අජාසත්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ වැනි සිනමා නිර්මාණවලට ද ඔහු රංගනයෙන් දායක වූයේය. උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ තිරරචනය ප්‍රසාද්ගේ කුලුඳුල් සිනමා තිරරචනය යි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.