නර්තනයෙන් සිසු මන පුබුදන දිනේෂ්

ජනවාරි 31, 2019

දරුවන්ගේ වෙස් කලඑළි මංගල්‍යය පෙබරවාරි මස හය වෙනිදා කෝට්ටේ රජ මහා විහාර පරිශ්‍රයේදී උදෑසන 6.45 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.

ලෝකයම බබලවන්න සරස්වතියට හැකි වන්නේ ගායනය, වාදනය, නර්තනය ජීවමාන කළ හැකි පුද්ගලයන් සමඟය. එවන් හැකියාවන්ගෙන් කලාව ජීවමාන කළ හැකි පුද්ගලයන් ද සමාජය තුළ සිටිනුයේ අතළෙස්සක් පමණි. තලවතුගොඩ විදුර විද්‍යාලයේ නර්තනාචාර්ය දිනේෂ් ඈපාසිංහ ද සරස්වතියට ඇලුම් කරන සියලු කලා හැකියාවන් දෝත දරා ඉදිරි පරපුරක් කලාව වෙනුවෙන් ස්ථාපිත කරන්නට වෙර දරන පුද්ගලයෙකි.

නර්තන අධ්‍යක්ෂවරයකු ලෙසින් ලොව රටවල් විස්සකට වැඩි ප්‍රමාණයක් මේ වන විට නියෝජනය කර ඇති දිනේෂ් පකිස්ථානය හා නවසීලන්තයේ ඒක පුද්ගල නර්තන ප්‍රසංග කිහිපයක් මේ වන විට පවත්වා ඇත. කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ දිනේෂ් එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසින් කටයුතු කරන සමයේ පටන් නර්තනයෙන් විද්‍යාලයට කිත් ගොස රැගෙන ආ පුද්ගලයෙක් ද විය.

උඩරට, පහත රට, සබරගමුව නර්තන සම්ප්‍රදායේ ඇසූපිරූ තැන් ප්‍රගුණ කර ඇති ආචාර්යවරයකු වන දිනේෂ් කොළඹ ඉසිපතන විද්‍යාලයේ මුලින් නර්තන ආචාර්යවරයකු ලෙසින් කටයුතු කරමින් සිට අපේ නර්තන සම්ප්‍රදාය ලොව ප්‍රචලිත කිරීමේ අටියෙන් ඕස්ට්‍රේලියාවට පිය මැන්නේ මීට වසර කිහිපයකට උඩදීය. එහිදී අභින නමින් නර්තන ඇකඩමියක් පවත්වාගෙන යමින් අපේ දේශීය නර්තන කලාව පිළිබඳ දැනුම ලබාදීමේ කටයුත්තක නියැලෙමින් සිටි අතර පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී උඩරට, පහතරට, බැලේ නර්තනයන් පිළිබඳ අපේ දූ පුතුන්ට දැනුම ලබා දෙනු ලැබීය.

යුද හමුදාවේ කුරුවිට ගැමුණු බලකායේ නර්තන කණ්ඩායම පිහිටුවීමට පුරෝගාමී වූ දිනේෂ් තලවතුගොඩ විදුර විද්‍යාලයේ නර්තන ආචාර්යවරයා ලෙස පත්වීම් ලැබුවේ විද්‍යාලයට කිත් ගොස රැසක් ලබා දෙමිනි. වත්මන් විදුර විද්‍යාලයේ විදුහල්පති ඩී. ජී. සුමනසේකර මහතාගේ උපදේශකත්වයෙන් මාර්ගෝපදේශකත්වයෙන් ඇරැඹි විද්‍යාලයේ සංස්කෘතික නවෝදයේ එක් පෙරළියක් වූයේ විද්‍යාලීය වෙස් කණ්ඩායමේ ඇරැඹුමයි. එහි වගකීම භාර ගනිමින් එහි නර්තන නියමුවා වූ දිනේෂ් ගුරු පියාණන් 2016 වසරේ දරුවන් විසි හත් දෙනකුගෙන් යුත් වෙස් නර්තන කණ්ඩායමක් විද්‍යාලයේ සිසු දරුවන් අතරින් නිර්මාණය කරනු ලැබීය. එම මුල් වෙස් නර්තන කණ්ඩායමට පිරිමි දරුවන් 8 දෙනෙක් හා ගැහැනු දරුවන් 9 ක් ඇතුළත් විය.

එසේ ඇරැඹි විද්‍යාලයීය වෙස් නර්තන කණ්ඩායම විද්‍යාලය වෙත රැගෙන ආ කීර්තිය නිසාවෙන් විදුහල්පති ඩී. ජී. සුමනසේකර මහතාගේ ඉල්ලීම පරිදි නැවතත් විද්‍යාලයේ වෙස් නර්තන කණ්ඩායමක් ආරම්භ කෙරුණේ දිනේෂ් ඈපාසිංහ ගුරු පියාණන්ගේ මූලිකත්වයෙනි. මේ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 470 ක් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ අතර එයින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 43 දෙනෙක් තෝරා ගනු ලැබීය. එම කණ්ඩායම සඳහා පිරිමි දරුවන් 14 දෙනෙක් හා ගැහැනු දරුවන් 29 දෙනෙක් ඇතුළත් විය.

මෙම දරුවන්ගේ වෙස් කලඑළි මංගල්‍යය පෙබරවාරි මස හය වෙනිදා කෝට්ටේ රජ මහා විහාර පරිශ්‍රයේදී උදෑසන 6.45 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය. විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැදුම් ලත් මෙම වෙස් නර්තන කණ්ඩායම මඟින් එදින දේවාරාධනාව, මංගලම්, ආවැන්දුම, කොතල පදය, දුම්මල පදය ශිල්පීය දක්ෂතා වෙස් ඇඳුම් වෙස් ආභරණ ගැන කවි ගායනා, මාතෘ පෝෂක කවි ගායනා සමඟින් මේ වන විට විද්‍යලයීය දෙවන වෙස් නර්තන කණ්ඩාම කලඑළි බැසීමට සූදානම්ය.

නර්තනාචාර්යවරයකු ලෙසින් තමන්ට මෙපමණ ගමනක් ඒමට අත්පොත තැබූ එඩ්වඩ් පෙරේරා, ප්‍රියංගනී විතානගේ, එච්. එම්. රත්නායක, කුලසිරි බුදවත්ත, තරංගනී ලක්ෂිකා ගුරු මාපියන් ආදරයෙන් සිහිපත් කරන දිනේෂ් තමන් ලද දැනුම දහසකුත් දූ දරුවන්ට බෙදා දීමට මාර්ගෝපදේශය සලසා දුන් විදුර විද්‍යාලයේ විදුහල්පති ඩී. ජී. සුමනසේකර, විද්‍යාලයේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලයට, නියෝජ්‍ය විදුහල්පතිවරු, උප විදුහල්පති සහ සියලු අංශ භාර ප්‍රධානීන් ඇතුළු ගුරු භවතුන් කෘතවේදීව සිහිපත් කරයි.

රටටම නර්තනයෙන් සරස්වතියගේ බැල්ම ලබා දෙන්නට දුවා දරුවන්ට කියා නිම කළ නොහැකි සේවයක් සලසන්නට දිනේෂ්ට හැකියාව ලැබුණේ තම නිවසින් ලැබෙන සහයෝගය නිසයි. බිරිඳ ඩිෂානිත්, දියණිය ඉමන්දිත් ලබා දෙන සහය ඔහු ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.

ස්වර්ණා ආරියවංශ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.