සුමිතුර ඔබ කොතැනද සැඟව ගියේ

ජනවාරි 31, 2019

පසුගිය ජනවාරි 16 වැනිදා මම අප පවුලට ඉතා සමීප සොහොයුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගි වුණෙමි. එහිදී ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ මා හිතාදර ගෝර්ඩන් ද සිල්වා සොයුරා මුණ ගැසීම සතුටට හේතුවක් මැ විය. එහෙත් අවටින් රැව්දෙන සංගීත රාවය මධ්‍යයෙහි ඔහු මගේ සවනට කොඳුරා පැවසූ වදන සතුටුදායක එකක් නොවීය. "නුවන් අපේ නිසිත හොඳටම අසනීපෙන්. මහරගම අපේක්ෂා රෝහලේ කියලයි මට ආරංචි. හොයලා බලලා මටත් විස්තර කියනවද?" ගෝර්ඩන් කීවේය. එදින විවාහ මංගල්‍යය පැවැත් වූ නැඟණිය පෝරුවට නැංවීමේ කාර්යය ද මට පැවරී තිබුණු හෙයින් පළමුව එය නිම කළ යුතුව තිබිණ. මෙය නිමා වූ සැණින් මම නිසිත සොයුරාට ජංගම දුරකථනයෙන් ඇමැතීමි. "බලන්නකො නුවන්, මට වෙච්ච දේ. කොන්දෙ අමාරුවක් හැදිලා ඩොක්ටර් ළඟට ගියාම ටෙස්ට් වගයක් කරන්න කියලා අපේක්ෂා රෝහලේ ඇඩ්මිට් වෙන්න කිව්වා. දැන් මේ ඇඩ්මිටි වෙලා ඉන්නේ. මාව බලන්න එන්න කරදර වෙන්න එපා. දවස් හතරකින් ටෙස්ට් එක කරලා මට ගෙදර යන්න පුළුවන් වේවි".

ඔහු පැවසූවෙන් ඉක්බිතිව මා ඇමතුවේ අපේක්ෂා රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි නිලධාරිනියක වූ අප හිතාදර සමින්ද්‍රා සොහොයුරියටය. ඇය වූ කලී මා ගුරුදේව නැසීගිය ප්‍රවීණ සිනමා විචාරක රෙජී රණසිංහ සූරීන්ගේ දියණියකි. සමින්ද්‍රා විගසින්ම ඔහුගේ සුවදුක් බලා මවෙත ඇමතුමක් ලබා දුන්නාය. ඉන් මොහොතකට පසුව නිසිත මා ඇමතුවේය.

"ඔයාගෙ යෙහෙළිය ඇවිත් මාව බැලුවා. අවශ්‍යතාවක් වුණොත් දන්වන්න කියලා ගියා."

ඔහුගේ ඇමතුමෙන් සහ එහි හඬ තානමයෙන් එය ගිලන් වූ සිය ගතට සවියක් වී ඇති බව මට දැනිණ.

මෙලෙස දින කිහිපයක් ගත විය. මේ අතර නිසිත සොයුරා වෙනුවෙන් අපට කළ හැකි දේ උපරිමයෙන් ඉටු කිරීමට ගෝර්ඩන් සොයුරාත් මාත් කතිකා කොට ගතිමු. ඇත්ත වශයෙන්ම නිසිත බරපතළ ලෙස ගිලන් වී සිටින බව ජාතික රූපවාහිනියේ සේවය කරන බොහෝ දෙනකු දැන සිටියේ නැත. ඔහු මේ බව දන්වා තම මිතුරන්ට කරදර කිරීමට කැමැති වූයේ නැත. මේ පිළිබඳ හාන්කවිසියක්වත් නොදැන සිටි නිසිතයන් සමීපව ඇසුරු කළ අතුල රන්සිරිලාල් සොහොයුරාට මම මේ බව පැවසීමි. ඔහු ද වහාම ඒ ගැන සොයා බලා තම මිතුරා වෙනුවෙන් කළ හැකි දෙයක් කිරීමට යුහුසුලු වූයේය. මේ අතර ඇතැම් මිතුරන් මා හට පැවසුවේ නිසිතගේ දුරකථනයට සම්බන්ධවීමට උත්සුක වුවත් පිළිතුරක් නැති බවය. පසුගිය ජනවාරි 25 වැනිදා සවස මම යළිත් නිසිත ඇමැතීමි. එදින මට අසන්නට ලැබුණේ ඉතා අපහසුවෙන් කතා කරන දුබල කඩහඬකි. දුරකථනයෙන් පිළිතුරු දිය හැකි තත්ත්වයක ඔහු නොසිටියත් මගේ නම දුරකතන මුහුණතහි දුටුවිට පිළිතුරු දීමෙන් වැළකී නොසිටිය හැකි තරමේ මිතුදමක් අප අතර තිබිණ. නිසිත සොයුරා සමඟ මා කතා කළ අවසන් තත්පර කිහිපය ඒ බැව් මට සිතුණේ නැත. "මං ඔයාව බලන්න හෙට උදේ එනවා. ඔයාට ඒ අතර කෙරෙන්න දෙයක් තියෙනවා නම් මට කියන්න" මම ඉක්මනින්ම පැවසීමි. ඊට පිළිතුරු දිය හැකි තරම් සවි ශක්තියක් නොවූ හෙයින් දෝ ඔහු මඳක් නිශ්ශබ්දව සිටියේය.

"ඔයා ඉක්මනින්ම සනීප වෙන්න ඕනෑ. බුදුසරණයි". මම ඒ ගැඹුරු නිහඬතාව බිඳිමින් දුරකථනය විසන්ධි කිරීමට පෙර පැවසීමි. ඉරිදා උදෑසන මා සවනත වැකුණේ මා හිතාදර නිසිත සොයුරා කයෙන් සදහටම සමුගෙන ඇති බවය.

මගේ සිතුවිලි ජවන වේගයෙන් අතීතය වෙත ඇදී ගියේය. නිසිත වර්ණසූරිය නම් වූ මානවහිතවාදී සමනළයකු සේ අහිංසක සුමිතුරා මුලින්ම මා හඳුනා ගත්තේ 1987 අප්‍රේල් 6 වැනිදාය. ඒ දිනය මා මතකයේ රැඳී තිබුණේ සුවිශේෂ හේතුවක් නිසාවෙනි. කොළඹ මරදානේ ටවර් රඟහලේදී ර්‍ණ. ඛ්. ධ්. ඛ් සම්මාන උලෙළ පැවැත්වුණේ එදිනය. මපියාණන්ට (ඒ. ඩී. රන්ජිත් කුමාර) ර්‍ණ. ඛ්. ධ්. ඛ් උත්තමාචාර ප්‍රණාම පදක්කම එදින පිරිනැමිණ. එදින පිරිනැමුණු සම්මාන අතර එක් වෙසෙස් සම්මානයක් පිළිබඳව එවක යන්තම් 11 හැවිරිදි වියෙහි පසු වූ මගේ අවධානය යොමු විය.

"1986 වසරේ ර්‍ණ. ඛ්. ධ්. ඛ් ජයවිලාල් විලේගොඩ අනුස්මරණ හොඳම විචාරක සම්මානය දිනා ගන්නේ නිසිත වර්ණසූරිය . . ."

මියයන තෙක්ම ඔහුගෙන් දුටු තාරුණ්‍යයේ වැඩි වෙනසක් නැතිව එදා සම්මානය ලබා ගැනීමට පැමිණි නිසිත සොයුරා මම මුල්වරට දැක ගතිමි. (ඒ සම්මානය 1999 වසරේ හිමි වූයේ මා හටය). ඉන් වසර කිහිපයකට පසුව එනම් 1990 දී ඔහු "චලන චිත්‍රයේ කතාව" නමැති මාහැඟි සිනමා ග්‍රන්ථය ලියා පළ කළේය. සිංහල බසින් ලියැවුණු සිනමා සාහිත්‍ය කෘති එකල මෙකල මෙන් සුලබ නොවීය. එහෙයින් මෙය අතිශය වැදගත් ප්‍රවිෂ්ටයක් විය. ජනසන්නිවේදනය, සිනමාව හදාරන පරම්පරා ගණනාවක විද්‍යාර්ථීන් මේ කෘතිය පරිශීලනයෙන් අපමණ ඵල ලබා ගනු මම නොයෙක්විට දැක ඇත්තෙමි. මේ වූ කලී ලාංකේය සිනමා සාහිත්‍යයෙහි පුරෝගාමී, විශ්වවිද්‍යාල නිර්දිෂ්ට ග්‍රන්ථයක් විය. නිසිත සරල සුගම බස් වහරකින් ලෝක සිනමා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන චිත්‍රපට කතාවක් සේ රසවත්ව හරබරව මෙහි ලියා තැබුවේය. මේ අරභයා ඉංග්‍රීසි බසින් ලියැවුණු ග්‍රන්ථ එකල ලොව පුරා සුලබ වූ නමුත් මෙරට පැවතුණේ අල්ප දෙනකු අතර පමණි. අනෙක් අතට එකල තොරතුරු තාක්ෂණයෙහි ප්‍රගතිය අද මෙන් දිස් නොවුණි. අන්තර්ජාලය ලංකාවට පිවිසියේ ඉන් වසර 5 කට පසුවය. නිසිතගේ "චලන චිත්‍රයේ කතාව" මෙරට සිනමා සාහිත්‍යයේ ඉතා වටිනා පුරෝගාමී ග්‍රන්ථයක් වනුයේ එහෙයිනි. ඉක්බිතිව "චිත්‍ර කතාවේ සමාජ මුහුණුවර" මැයෙන් විචාරාත්මක ග්‍රන්ථයක් ලියූ ඔහු එතැන් සිට මේ සා දීර්ඝ කාලයක් සාහිත්‍යකරණයෙන්, ග්‍රන්ථකරණයෙන් විනිර්මුක්තව සිටීමෙන් සිදු වූ පාඩුව සුළුපටු නැත. තවත් පොත් ලිවීමට තබා "චලන චිත්‍රයේ කතාව" දැඩි පාඨක ඉල්ලුම සපුරනු පිණිස යළිත් මුද්‍රණය කිරීමටවත් හේ උනන්දු නොවුණි. නිසිත ස්වකීය වෘත්තීයට කැපවීමෙන්, පොත්පත් එකතු කිරීමෙන් සහ කියවීමෙන් පමණක් සෑහීමට පත් විය. නිසිත සොයුරා මට හමු වූ සෑම අවස්ථාවකදීම පාහේ මා ඔහුට චෝදනා කළ එක් කරුණක් තිබුණි. කුරාකූඹියකුටවත් වරදක් නොකොට අන්‍යයන්ට කැපිලි කෙටිලි නොදමා, අඤ්චි නොඇද ස්වකීය වෘත්තීයෙහි නියැළෙමින් අඹු දරුවන් පෝෂණය කරමින් තමාගේ පාඩුවේ ජීවත් වූ ඔහු වැනි අහිංසකයකුට මා එල්ල කළ චෝදනාව මෙය වේ. "වැඩ කරන අතර ඇයි හොඳ පොත් ටිකක් ලියන්න ඔයාගේ කාලය වෙන් කරන්න බැරි"

ඊට සැමදා ඔහුගේ පිළිතුර වූයේ තමාටමැ ආවේණික වූ අහිංසක සුන්දර සිනාව පමණි.

"ඇයි මං වෙනුවට ඔයා ලියනවනේ. මට ඒ ඇති. මං ඒ පොත් හරි ආසාවෙන් එකතු කරලා කියවන්නේ" ඒ පිළිතුර ද පසුකාලීනව ඔහු නිතර කීවේය. සැබැවින්ම නිසිත යනු මගේ ලේඛන දිවියට අපරිමිතව දිරිගැන් වූ ඉතා අල්පයක් වූ කලණ මිතුරන්ගෙන් කෙනෙකි. 1999 දී මගේ කුලුඳුල් ග්‍රන්ථය වූ "අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණතාව" කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී ජනගත වූ අවස්ථාවේ ජාතික රූපවාහිනියේ මාධ්‍ය ආවරණය සඳහා කැමරාව ඔසවා ගෙන පැමිණි තැන් පටන් වෘත්තීය වශයෙන් මෙන්ම මිත්‍රත්වය වෙනුවෙන් ද ඔහු මගේ ලේඛන දිවියට නිබඳවම දිරි දුන්නේය. සැබැවින්ම නිසිතයන්ගේ දිරි ගැන්වීම නොවන්නට ඇතැම් ග්‍රන්ථ, ශාස්ත්‍රීය ලේඛන මා සුරතෙන් නොලිය වෙන්නට ඉඩ තිබිණ. මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ජාතික රූපවාහිනියේ සභාපති ධුරය දැරූ සමයේ නිසිතගේ ලේඛන හැකියාවෙන් රූපවාහිනියට වැඩ ගත්තේය. ජාතික රූපවාහිනියෙන් සංවිධානය කළ ප්‍රසංග වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාල අනුස්මරණ "සමන් මල් පියල්ලේ" සමරු ග්‍රන්ථය ද (2007), මිල්ටන් මල්ලවාරච්චි අනුස්මරණ "පියාපත් සලා ආදර මියැසි සුයාමය" සමරු ග්‍රන්ථය ද (2007) සංස්කරණය කිරීමේ කාර්යය නිසිතට පැවරිණ. ඔහුගේ හැකියාවෙන් වැඩ ගැනීම ගැන එකල මම කිහිපවරක්ම ඇතුගලයන්ට ස්තූතිය පළ කළෙමි. ඔහු "නුග සෙවණ" රූපවාහිනී සඟරාව ද සංස්කරණය කළේය. නිසිත ජාතික රූපවාහිනියට සම්පතක් බව වටහා ගෙන සිටියේ එදත් අදත් අල්ප දෙනෙකි. කලා ප්‍රතිභාව විනා ඔහුට දේශපාලන සබඳතා නොතිබිණ. ඔහු උසස් තනතුරු පසුපස හඹා නොගියේය. එවන් අහිංසක තමා හට බ්ලේඩ් තල ප්‍රහාර දෙන්නවුන්ට වෛර නොකොට ඔහු උපේක්ෂාවෙන් සිනාසුණේය. නිසිත සුන්දර කරදරකාරයකු බවට පත්වෙමින් යථෝක්ත සමරු ග්‍රන්ථ ද්වයටම ජෝතිපාලයන් සහ මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳ දීර්ඝ විචාර ලිපි යුගලක් මා ලවා ලියවා ගැනීමට සමත් විය. මගේ ඒ පර්යේෂණාත්මක ලිපි පසුව බොහෝ විද්වතුන්ගේ, විද්‍යාර්ථින්ගේ ඇගැයුමට ලක් විය. ඒ පින ඔහුටය.

මගේ සෑම කෘතියක්ම එළිදැක් වූ පසුව මට හුස්මක් කටක් ගන්නට ඉඩ නොතබා එදිනම රාත්‍රියේ දුරකථනයෙන් "ඔයාගේ ඊළඟ පොත මොකක්දැයි" අසමින් ඉදිරියේ ලිවීමට තිබෙන නොයෙක් ක්ෂේත්‍ර ගැන මගේ අවධානයට යොමු කිරීම ඔහුගේ සිරිතකි. තම මිතුරන්ගේ ජයග්‍රහණ පිළිබඳ සතුටු විය හැකි "මුදිතාව" නිසිතගේ ජීවිතයේ වටිනා ගුණාංගයකි. ඔහු තමා සතු පොතපත, සේයාරූ පරිත්‍යාග කරමින් ඔවුන්ට උපකාර කළේය. නිසිත මිතුරන්ට අපරිමිතව උපකාර කළේ කිසිදු ප්‍රති උපකාරයක් ඒ වෙනුවෙන් බලාපොරොත්තු නොවීමෙනි. සිනමාව විෂයට අදාළව ඔහු තැනූ ඇතැම් පාරිභාෂික වචන (ඊඥජඩදඪජචත ඊඥපථඵ) තමාට ඉතා සප්‍රයෝජනවත් වූ බව සරසවිය ප්‍රධාන සකසු අරුණ ගුණරත්න සොයුරා මට කීවේය. නිසිත මා හඳුනගෙන සිටි 30 වසරකට වැඩි කාලයේ ඔහුගේ බාහිර රූපකායේ දිස් වූ තාරුණ්‍යයෙහි එතරම් වෙනසක් නොතිබිණ. ඒ රූපකායට වඩා ගෙවුණු කාලය අනුව මා සිතා සිටියේ ඔහු මට වඩා වසර 7, 8 කට වැඩිමහල් ඇතැයි කියාය. ඔහු මිය යන විට 59 වැනි වියට ආසන්නව සිටියේ යැයි ඇසූ විට මට පුදුම සිතිණ.

නිසිත උපත ලබා ඇත්තේ 1960 ජූනි 8 වැනිදා මොරටු පුරවරයේදීය. ඔහු සිප් සතර ලැබුවේ (මා ප්‍රාථමික අධ්‍යාපනය ලද) කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. එවක එහි විදුහල්පති ධූරය හෙබ වූ සුගුණදාස අතුකෝරළ මහතා එවක ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු විය. ඔහුගේ උපකාරයෙන් පාසල් සමයේදීම ගුවන් විදුලියට පිවිසීමේ අවස්ථාව නිසිතට ලැබිණ. කලා විෂයන්ට ඔහු ඇදී ගියත් වඩාත් ප්‍රිය කළේ ගණිතය විෂයටය. උසස් පෙළට ඔහු ගණිත විෂයන් හදාළේ එබැවිනි. රූපවාහිනි මාධ්‍යයට ඔහු කෙතෙක් උනන්දු වූයේ ද යත් ජාතික රූපවාහිනිය ආරම්භ කිරිමට මුල්ගල තැබූ දවසේ පාසල් නිල ඇඳුමෙන් සැරසී නිසිත ඊට සහභාගි වූ අතර ඒ වටිනා සේයාරුව ඔහු සතුව තිබේ. 1982 ජාතික රූපවාහිනිය ඇරඹෙන විට එහි ආරම්භක කණ්ඩායමට එක් වූ නිසිත එහිදී කැමරා අංශය තෝරා ගෙන පසුව ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියකු බවට පත් වූයේය. ඔහු 1982 සිට මියයන තෙක්ම 37 වසරක් ජාතික රූපවාහිනියට මැ කැප වී සේවය කළේය. නිසිත ඉහළ තනතුරු සොයා ජාතික නාළිකාව අතහැර නොගියේය. ඔහුගේ දයාබර බිරිය දීපානි කලක් ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළාය. ඔහුගේ එකම ආදරණීය දියණිය දිනිතිය. "ඔයාගේ ඊළඟ පොත මොකක්දැයි" දුරකථනයෙන් ඔබ මා අමතා යළිත් කිසිදා නොඅසනු ඇත. ජීවිතය, සංසාරය නමැති මායාවේ හැටි එහෙමය. එහෙත් මා හදවතෙහි ලැගුම් ගෙන ඇති පරිදිම මගේ ජංගම දුරකථනයෙහි ස්ථාපිතව තිබෙන ඔබේ නම සහ දුරකථන අංකය ජීවත්ව සිටින තුරු මම මකා නොදමමි. මා හිතාදර සුමිතුරාණෙනි, ඔබට නිවන් සුවය ලැබේවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.