වික්ටර් රත්නායකගේ “සරස”රත්නමය ගී අමානන්දය

ජනවාරි 31, 2019

තම තරුණ වියේදී තාරුණ්‍යයේ ආකර්ෂණය දිනාගත් පරිදිම ඔහුට ඉන් පනස් පස් වසරකට පසුවත් එම තාරුණ්‍යයේ ආකර්ෂණය ඒ අයුරින්ම ලබන්නට යම් නිර්මාණකරුවෙකුට හැකි වේ නම් එය මහත් වූ ආශ්චර්යයකි.

වික්ටර් රත්නායකගේ දෙවන ඒක පුද්ගල ගී ප්‍රසංගය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ මෙහෙයවීමෙන් 2019 පෙබරවාරි 02 දින නෙළුම් පොකුණ රඟහලේදී.

1973 වසරේ ජූලි 20 දින එදා ලුම්බිණි රඟහලෙන් ආරම්භ වූ, ශ්‍රී ලාංකික ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු, වසර හතළිහක් පුරා අති සාර්ථක අයුරින් දෙස් විදෙස් පුරාම රැව් පිළිරැව් දුන් ලංකාවේ එකම ඒක පුද්ගල ගී ප්‍රසංගය මගේ මතකයට එයි. යළි ඒ සුන්දර අතීතය සිහිගන්වමින් ඔහුගේ දෙවන ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘සරස’ 2018 අගෝස්තු මස 11 වන දින කන්ද උඩරට මහනුවරින් ශුභ ගමන් අරඹා, ඉන් අනතුරුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, මාතර, මීගමුව වැනි නගරවල අති සාර්ථක ප්‍රසංග මාලාවක් පවත්වා, නැවත උදා වූ නව වසරේ ‘සරස’ පළමු ගී ප්‍රසංගය පැවැත් වූ මහරගම තරුණ සේවා සභා ශාලාවත් වික්ටර් රසිකයන්ගෙන් පිරී ඉතිරී ගිය අයුරු දකින විට ශ්‍රි ලාංකේය සංගීතයට නව අරුණලු නැගෙන යුගයක් උදාවෙමින් පවතින බවට කිසිදු සැකයක් නැත. එදා වසර 45 කට කලින් ‘ස’ ප්‍රසංගය නැරඹිමට ඔහුගේ රසිකයන්ට තිබුණු උද්යෝගය නැවත ප්‍රතිනිර්මාණය කරමින් රුහුණු සරසවියේ රවින්ද්‍රනාත් තාගෝර් ශාලාව වෙත දහස් සංඛ්‍යාත රසිකයන් ඇදි ආ අයුරු සැබැවින්ම ප්‍රශංසනීයයි.

තම තරුණ වියේදී තාරුණ්‍යයේ ආකර්ෂණය දිනාගත් පරිදිම ඔහුට ඉන් පනස් පස් වසරකට පසුවත් එම තාරුණ්‍යයේ ආකර්ෂණය ඒ අයුරින්ම ලබන්නට යම් නිර්මාණකරුවෙකුට හැකි වේ නම් එය මහත් වූ ආශ්චර්යයකි. වික්ටර් එම කඩඉම ද ඉතාම ප්‍රශංසනීය අයුරින් ජය ගනිමින් සිටිනු දැකීම ඉමහත් සතුටට කරුණකි. මෙවන් විස්කම් කිරීමට ඔහුට හැකි වන්නේ ඔහු තම නිර්මාණ සමඟ ජීවත් වෙමින් එය ජීවය කොට ගනිමින්, මහ පොළොවේ සිදුවන සියලු වෙනස්කම් නිරන්තරයෙන්ම අධ්‍යයනය කරමින් තම නිර්මාණ යාවත්කාලීන කිරීමට තරම් සංවේදී මනසක් සහ නිවැරැදි චින්තනයක් ඔහු සතු නිසාවෙනි. ඔහු කිසි විටෙක ඉල්ලන දෙය සපයන සැපයුම්කරුවෙකු නොවිණි. ඔහුට ඔහුගේම වූ දර්ශනයක් ඇත. චින්තනයක් ඇත. ඒ තුළින් සමාජයේ ඉදිරි ගමනට දායක වන කලාකරුවෙක් ලෙස ඔහු නිර්මාණකරණයෙහි නියැළෙයි. එදා ඔහු පෙර ගමන්කරුවෙක් ලෙස අපට මඟ පෙන්වා දුන් අයුරින්ම නව පරපුරට ද මඟ පෙන්වා දෙමින් තවදුරටත් නිර්මාණකරණයෙහි යෙදෙන ඔහු ඇසුරු කරන්නට ඇති හොඳම මඟ ඔහුගේ ගී ඇසුරු කිරීමය. ඒ ගී රස විඳීමයි. එදා තාරුණ්‍යයේ උන් අප ඔහුගේ ගීවලට කෙතරම් පෙම් බැඳ සිටියේ ද යත්, පොතපත කියවමින් ඉගැනීමේ කටයුතුවල යෙදුණ ද අපගේ අධ්‍යාපන කටයුතුවලට ඉන් කිසිම බාධාවක් නොවුණි. එදා ඒ ගී රස විඳමින් අධ්‍යාපන කටයුතු කළ අප නැවතුණේ හන්තාන පාමුල සරසවියේ වුවත්, අද දින තරුණ පරපුර ආකර්ෂණය වී ඇති ඇතැම් ගී රස විඳිමින් පාඩම් කළොත් නම් ඔවුන් නවතිනු ඇත්තේ පල්ලෙකැලේ සරසවියේය. (බන්ධනාගාරය) . මෙවන් පරපුරක් අයාලේ යමින් නොව, යවමින් සිටින යුගයක ඔවුන්ගේ සුභාවිත ගීතයට ඇති ඇල්ම ගීතයක්, ගීතයක් ලෙස රස විඳීමට තිබෙන ආශාව හඳුනාගෙන එම රසඥතාවය උසස් තලයකට ගෙන ඒම සිය මුඛ්‍ය පරමාර්ථය කොට ගෙන ඔහුගේම ගී වලට නව පණක් දෙමින් සරස ප්‍රසංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මහත් වූ අමන්දානන්දයකිනි. ‘ස’ ප්‍රසංගයේ ඔහු ගැයූ ගී මෙන්ම ඔහුගේ නව නිර්මාණවල එකතුවක් ලෙස ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය පහළොස් දෙනෙකු පමණ වූ වාදක මඩුල්ලක් මෙහෙයවමින් ඔවුන්ගේ උපරිමය මෙම ගීතාවලියට මුසු කරන්නේ සුසිල් අමරසිංහ නම් වූ සුවිශේෂ සංගීතවේදියා විසිනි. ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණගේ කථනයෙන් එය තවත් වර්ණ ගැන්වෙද්දී මතු පරපුරේ මේ ගීත ක්ෂේත්‍රය බැබළවීමට පෙරුම් පුරන තාරුණ්‍යයේ හඬට ඉඩකඩ දෙමින් ඔවුනට පෙරමඟ සලකුණු පෙන්වා දෙමින් එදා නව පරපුරකට මඟ පෙන් වූ අයුරින්ම අත්වැල් ගායනයට මුසු කරගෙන ඇත්තේ ද නවක තරුණ ගායක ගායිකාවන් පිරිසකි. මේ ප්‍රසංගය ආරම්භ වන්නේ ද ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද පෙළකිනි.

“සුහදයිනි මට ඔබේ හදවත නෙළුම් යායකි
ඒ නෙළුම් තුඩ අගින් ගත් ඔබ හංස රෑනකි
ගේ ගී හා ඔබේ දෙසවන් සරස දෑනකි
කොහේ සිටියත් අප දකින්නේ එක හීනෙකි”

තාරුණ්‍යයේ උන් අප එදා දුටු සිහින හා අද සිටින පරපුර දකිනා සිහිනවල කිසිදු වෙනසක් නැත. අප මිනිසුන් වශයෙන් ජීවත් වන සමාජයේ මුහුණ දෙන හැලහැප්පිම්වල ද කිසිම වෙනසක් නැත. එවන් විටෙක අපගේ හද සන්තානය සුවපත් කර ගැනීමට අපට ඇති ඉතා පහසුම මඟ රස නහර පිනා යන අර්ථවත් ගීයකට සවන්දීමයි. ඒ තුළින් ලද හැකි වින්දනය කෙබඳු ද යන්න අත්වීඳීමට නම්, වික්ටර් රත්නායක වැනි විශිෂ්ට ගණයේ කලාකරුවකු අතින් නිමැවුණු ගීතයක් එහි අර්ථය උද්දීපනය වන අයුරින් ඊටම සරිලන සංගීත සුසංයෝගයන්, එම ගීතයේ ඇති භාවයන් ඔහුගේම වූ රාග සහ තාල සමඟ මුසු කොට ඔහු විසින් සජීවී ලෙසින් ඉදිරිපත් කරන භාවමය ප්‍රකාශයට අප ද ඔහු සමඟින් එක් විය යුතු බව මගේ අත්දකීමයි. සරස යනු ඔබට මේ අත්දැකීම විඳීමට ඇති හොඳම රඟහලයි. ඒ රඟහල වෙත පිය නඟන ඔබ දකිනු ඇත්තේ සුරලොවින් බට සුරදූතයෙකු ඔබේ හද සන්තානය වෙත පියමන් කරමින් ඔබේ හදවත් සුවපත් කිරීමට සැදී පැහැදී සිටින අයුරුයි. ඔහු ගයන ගී සොයා ගෙන අප ඒවා රස විඳීම තුළින් ලබන අත්දැකීම සහ සරස නරඹා ලබන වින්දනය අතර වෙනස වන්නේ ඔහුගේ ගීතයට සවන් දීමෙන් එය රස විඳ අවසානයේ ගීතය සමග පෙමින් බැඳුණ ද ඔහු සමඟ එක්ව එම සජීවි අයුරින් අසමින්, නරඹමින්, විඳිමින් අවසානයේ ඔහු සමඟ පෙමින් බැඳීමට ඔබට ලැබෙන මේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ එදා ‘ස’ නරඹා අප ලැබූ ඒ අත්දැකීම ඔබ ද ලදහොත් පමණි. එදා තාරුණ්‍යයේ උන් අප ඔහුගේ ගීතයෙන් සහ සංගීතයෙන් වසඟ කරගත්තේ යම් සේද, අද තාරුණ්‍යයේ සිටින ඔබ ද ඔහුගේ වසඟයට ගැනීමට තරම් සංවේදී මනසක් සහ ආකර්ෂණයක් තවමත් ඔහු සතු බව මෙතෙක් පැවැත් වූ ප්‍රසංග වාර කීපය තුළින් ඔහු නැවත වරක් සනාථ කොට ඇත. ඔහුගේ ගී උල්පත ආදරයේ උල්පතයි. ආදරය තරම් සුන්දර කිසිම දෙයක් මේ ලොව නැත. ඒ ආදරයේ අසීමිත සුන්දරත්වයට ජීවය දෙන ඔහුගේ ගී මංජුසාවට ආදරය මුසු කොට අප සුවපත් කරන ජීවකයෙකි. හංස රෑනක් මෙන් ඔහු කරා ඇදෙන ඔබ, හංස රජකු මෙන් පිළිගෙන ඔහුගේ ලොවට ඔබ ද රැගෙන යමින් ඔහු දක්වන මේ ගී පෙළහර කොතරම් ප්‍රභල ද යත්, එදා වසර 40 කට පෙර එලෙස ඔහුගේ වසඟයට පත් අප අදත් එලෙසින්ම ඔහු හා මුසු වී සිටීම තුළින් එය මොනවට සනාථ වේ. අදත් ඔහුගේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ ඔහු තුළ පවතින මේ සුවිශේෂි ගුණයයි.

ඔහුගේ ගී සමුච්චය විටෙක නේකවර්ණ මලින් සැරසුණු උද්‍යානයකි. විටෙක සියලු බව භෝගවලින් පිරුණු කෙත් යායකි. විටෙක සුන්දර කඳු වැටිවලින් පිරුණු මිටියාවතකි. විටෙක මනසට සුවදෙන මඳ පවන් සලමින් මුහුදු රළ සත්සර නංවන සුන්දර මුහුදු වෙරළකි. මේ සියල් තන්හි ඇති මිහිරියාව එකම එක තැනකදී විඳ ගන්නට ඔබට අවැසි නම් ඔබ යා යුත්තේ වික්ටර් රත්නායක නම් වූ ඒ මහා ගාන්ධර්වයා සියලු භාවයන් කැටි කොට ඔබ වෙනුවෙන්ම ගයන ‘සරස’ ගීතාවලිය රස විඳීමටයි. ඔබේ ඇසුර ඔහුට තව තවත් එවන් නිර්මාණ ඔබ වෙනුවෙන්ම තිළිණ කිරිමට මහත් ශක්තියකි. ඒ සුන්දර අත්දැකීම තුළින් ඔබේ හදවත් සදා සුවපත් වනු නොඅනුමානය.

සෑම විටම වෙනස් වන ලෝකය සහ අලුත් වන ලෝකය හඳුනාගෙන ඉතාම ඉක්මනින් ඊට අනුගත වෙමින් තම නිර්මාණකරණයෙහි නියැළෙන ඔහු, තම රසික රසිකාවන් වෙත මේ යුගයේ තිබෙන උසස්ම තාක්ෂණය උපයෝගි කර ගනිමින් දැකුම්කලු අයුරින් නිමැ වූ ‘’සදාදර ගී’ නම් වූ ප්ලෑෂ් ඩ්‍රවිව් එකක් ද තිළිණ කොට ඇත. එහි ඔහුගේ අතිශය ජනප්‍රිය ගීත 50 ක් ඇතුළත් වේ.

සිසිර ජයමහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඉංජිනේරු පීඨය
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.