පළමුවරට ජාතික ගීය ගැයු බාලිකාවන් අතරේ සිටි ලීලා අශෝකා

ජනවාරි 31, 2019

අපේ රටේ ජාතික ගීය " ශ්‍රී ලංකා මාතා " ආනන්ද සමරකෝන් විසින් රචනා කරන ලද්දේ 1940දී ය. එවකට එය මෙරට ජාතික ගීය බවට පත්ව නොතිබුණු අතර එතුමන් සංගීත ගුරුවරයෙකුව සිටි ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් ලවා ගායනා කරවීය. අනතුරුව කොළඹ මියුසියස් විද්‍යාලයේ සිසුවියන් විසින් ද එය ගායනා කරන ලදී. එදා පළමුවරට ජාතික ගීය ගායනා කිරීමට දායක වූ බාලිකාවන් අතරේ සිටි ලීලා අශෝකා තවමත් ඒ සොඳුරු මතකය සිහිපත් කරන්නීය.

"ඒ කාලයේ මම කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේ. මගේ වයස අවුරුදු 14ක් විතර ඇති. පුංචි කාලයේ පටන්ම මම සංගීතයට හරිම ළැදියි. එදා මමත් ඇතුළුව තවත් තරුණියන් පිරිසක් පළමුවරට ජාතික ගීය ගායනා කරන්න තෝරා ගත්තා. මේ පින්තූරයත් අපි ජාතික ගීය ගායනා කළ අවස්ථාවක්. මෙතන කණ්ණාඩි පැලැඳ ගෙන ඉන්නේ මම." වයස අවුරුදු 93ක් වුවද ලීලා අශෝකා මහත්මිය ඒ සුන්දර අතීත තොරතුරු පවසන්නීය.

හේවා ගීගනගේ ලීලාවති නම ලීලා අශෝකා ලෙසින් වෙනස් වූයේ සංගීත ක්ෂේත්‍රයට පහසුවනු පිණිය. කුඩා වියේ පටන් සංගීතයට තිබූ ආශාවට මහත් පිටුබලයක් වූයේ, 40 දශකයේ දී හෙළ හවුලේ ලේකම් ධුරය දැරූ වෙ.මු. පෙරේරාය. වෙ.මු. පෙරේරා ඇයගේ මාමා කෙනෙකි. යොවුන් ලීලාගේ ගායන හැකියාව හඳුනා ගත් ඔහු හෙළ හවුලේ උත්සව වෙනුවෙන් ඇය කවි, ගී ගායනා කිරීමට දායක කර ගත්තේය. හෙළ හවුලේ එවැනි උත්සව අවස්ථාවට සහභාගි වූ සුනිල් ශාන්තයන් ද ලීලා අශෝකාගේ ගායන හැකියාව දුටු අතර ලීලාගේ සංගීත දිවියේ සුවිශේෂ වෙනසක් සිදුවීමට එය බලපෑමක් විය. ඒ සමඟින් සුනිල් ශාන්තයන්ගේ ගීත වෙනුවෙන් යුග ගායනයට අවස්ථාව ඇය ලද අතර ඔහුගේ ගීත වැඩි ප්‍රමාණයකින් ඇසෙන කාන්තා හඬ වන්නේ ද ලීලා අශෝකාගේ මිහිරි හඩයි.

සුනිල් ශාන්තයන් පිළිබඳ මතකය ඇය මෙසේ සිහිපත් කරන්නීය. "ඔහුට තිබුණේ ප්‍රියමනාප පෙනුමක්. ගීත පුහුණු කිරීම් වෙනුවෙන් ඒ කාලයේ අප පදිංචි වී සිටි තිඹිරිගස්යාය නිවෙසට ඔහු එනවා. ඔහුගේ කාර් එක අපේ නිවෙස ඉදිරිපිට නැවැත්වුවාම අහල පහල හැමෝම එනවා ඔහු බලන්න. සුනිල් ශාන්ත කියන්නේ බොහොම කරුණාවන්ත පුද්ගලයෙක්. පුහුණුවීම්වලදී අපි අතින් වැරදීමක් වුණත් කවදාවත් කේන්ති ගත්තේ නැහැ." 'මෙවන් පිටිසරේ', 'කිරිල්ල සහ කූඩුව', 'හෙළ රටේ', 'රැල්ල නැඟෙන්නේ' ගීත ඇතුලුව තවත් ගීත බොහොමයක් ගී ඇය සුනිල් ශාන්තයන් සමඟින් ගැයූ ගී අතර වේ. ගුවන්විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක් වන ලීලා අශෝකා සුනිල් ශාන්තයන් එදා එම ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේක කළ අයුරු ද සිහිපත් කරන්නීය. "ගුවන්විදුලි ශිල්පීන් ශ්‍රේණිගත කරන්න ශිල්පීන් ආවේ ඉන්දියාවෙන්. තමන්ට වඩා අඩු සුදුසුකම් තිබෙන අය ළඟට යන්න එතුමා කැමති වුණේ නැහැ. "

සහෝදරයන් හත් දෙනෙකු සමඟින් හැදී වැඩුණු එකම සහෝදරිය ඇය යි. එක් වැඩිමහල් සහෝදරයෙකු සහ බාල සොයුරන් හය දෙනෙකුට මැදි වූ ඇය සොයුරන්ට මවක මෙන් වූවාය. සුගතදාස වැඩිමහල් සොයුරාත් සෝමපාල, නිවුටන්, වින්ටන්, ලින්ටන්, ෂෙල්ටන් සොයුරන් ගෙන් පසු බාලම සොයුරා වන්නේ ඔබ අප කවුරුත් හඳුනන ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස් ය. අපේ පිළිසඳරට ඔහු ද සම්බන්ධ විය. සර්පිනාවෙන් ඔහු ස්වර වයද්දී ඇය වචන එකිනෙක මුමුණන්නීය.

මෙවන් පිටිසරේ මේ දුගි පැලේ වෙසෙන
මිහිරි සොඳුර ඔබයි කැලෑ මල මගේ . . .

සොබාදහමට අනුගතව වියපත්බව ඇය අභිමුවට පැමිණ ඉඳහිට මතකයට බාධා ඇති කළත් එදා සුනිල් ශාන්තයන් සමඟින් 'මෙවන් පිටිසරේ' ගැයූ මතකය යළි සිහිපත්ව ඇති සේය. සරත් ද අල්විස් මවක මෙන් සෙනෙහෙ පානා තම එකම සහෝදරිය සමඟින් අතීතයට පිවිසියේය. "ඉස්සර අක්කා ගුවන්විදුලියට යනකොට මම තමයි තනියට යන්නේ. හරියට බොඩිගාඩ් වගේ. එතකොට මම ගොඩක් පුංචියි. පණ්ඩිත් අමරදේවයන් එහෙමත් හිටියා. මම කොච්චර පුංචි ද කියනවා නම් අමරදේවයන් මාව වඩාගෙනත් තියෙනවා."

"ඒ කාලයේ ඔහු ඇල්බට් පෙරේරා". ලීලා මහත්මිය පවසන්නීය. "ගුවන්විදුලියට සරල ගී පුහුණු කරන්න ඔහු අපේ නිවසටත් ආවා. මම ගුවන්විදුලි වැඩසටහන්වලට යනකොට අම්මා කියනවා මගේ සාරි ටික ඉවරයි" කියලා. ලීලා මහත්මිය තවත් කතාවට මුල පුරයි. "ඒ කාලයේ ගුවන්විදුලිය පිහිටලා තිබුණේ කොටාපාර හරියේ තැනක. සමහර දවස්වලට මම ගුවන්විදුලියට ඇඳගෙන යන්නේ අම්මාගේ සාරි. මම තරමක් වේගයෙන් ඇවිදින කෙනෙක්. ඒ නිසා ඇවිදගෙන යනකොට සාරිවල යට වාටිය ගල් මුල්වල වැදිලා ඉරෙනවා."

නිවෙසේ සංගීතයට වැඩි ඉඩක් වෙන් වූයේ දරුවන්ගේ ආසාව වෙනුවෙන් පියා ගෙන ආ සංගීත භාණ්ඩ සමඟිනි. සර්පිනාව වැඩිමහල් සොයුරු සුගතදාස අයියාට හිමි ය. තබ්ලාව තවත් සොයුරෙකුගේය. ලොකු අයියා හමුදා සේවයට බැඳීමෙන් පසු සර්පිනාව සරත්ට හිමි විය. මෙලෙසින් සොයුරු කැළ එක්ව සංගීත සාජ්ජ පවත්වන අතරේ යොවුන් ලීලා ද ගායනයට අමතරව රවිකිඤ්ඤය වැයීමේ දස්කම් දැක්වූවාය. ඔවුන්ට සර්පිනාව, තබ්ලාව වයන්න පුහුණු කළේ පියාගේ මිතුරෙකු වුණු එම්. කේ වින්සන්ට් මාස්ටර් ය. අලුත් ගීතයක් නිකුත් වූ පසු රැය පහන්වන තෙක් එම ගීතය මේ නිවසේ රැව්පිළි රැව් දුන් අයුරු ද ලීලා - සරත් අක්කා මලෝ දෙදෙනාටම රසබර මතකයන්ය.

ලීලා අශෝකා මහත්මිය ගායන හැකියාවෙන් පමණක් නොව චිත්‍ර ඇඳීමේ ද දස්කම් දක්වන්නීය. ඇය ගුරුපත්වීම් ලබන්නේ ද චිත්‍ර කලා ගුරුවරියක ලෙසිනි. දෙමටගොඩ පාසලක චිත්‍ර කලාව ඉගැන්වීමේ යෙදී සිටි ඇයගේ ආදරය හිමි වූයේ, මුස්ලිම් තරුණයෙකු වෙතටයි. එලෙසින් කමල්ඩීන් සමඟ විවාහයෙන් ඇයගේ නම කැමිලා ඉස්මයිල් ලෙසින් වෙනස් වූ අතරම සැමියාග් ඉල්ලීමෙන් ගායන ක්ෂේත්‍රයට ද සමු දුන්නාය. ගුරු වෘත්තිය සමඟින් ඇයගේ පූර්ණ අවධානය හිමි වූයේ තම පවුල වෙතටයි. හෆීල්, රීසා සහ ෆසාල් ඇයගේ පුතුන් තිදෙනායි. ජීවිතයේ සැඳෑ සමය බොහොම සතුටින් ගෙවන ඇය මේ දිනවල කාලය ගත කරන්නේ වැඩිමහල් පුතුගේ නිවහනේයි. ලේලිය ප්‍රියංගි, දියණියක මෙන් ආදර ගෞරවයෙන් ඇය රැකබලා ගන්නීය. අතීතයේ පැරණි මතක සේම තම අතින් සිත්තම් කළ සොඳරු දසුන් ඇය වෙත ගෙන එන්නේ මිහිරි සුවයකි. ලීලා අශෝකා මැතිණියනි ඔබට දීඝායු!

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.