පෑන් කේක් කමුද? අහමුද?

ජනවාරි 31, 2019

 

පෑන් කේක් ගීතයේ සම්පූර්ණ පද මාලාව:

 

කරපිංච රම්පේ දමා අල හොද්ද ආවා වගේ

ලුණු ඇඹුල් අතින් අරන් සම්බෝලෙ ඇනුවා වගේ

උඹ අනේ මගේ ළඟින් මිරිකලා හිතින් ගතින්

සියඹලා ගොරක වගේ එකට ජීවිතේම ඉමු අපි

උඹ වගෙ පැන් කේක් පිපෙනවානෙ හිතේ

මම දැන් හිතින් බතල හිටවනවා වගේ

 

වැඩිවුණාම ෂුගර් අනේ කැවුම් වුණත් එපා පණේ

පාට පාට මූණේ උලා කනකර අච්චාරු වගේ

ඇස් ගෙඩි රතුලූණු වගේ නෑ නෑ නෑ නෑ

පිට්සා එකක් වගේ වැඩිය විච්චූරන එපා

පැස්ටා එකක් වගේ ඉන්න ආලේපන එපා

ඔයිල් දාලා චිකන් දාලා හදමු සමෝසා

උඹ මගෙ පෑන් කේක් . . .

 

පාන් වගේ බන්ස් වගේ ඊස්ට් දමා පිටිත් හලා

රෝස්ට් කරලා ටෝස්ට් කරලා ගාණට පුම්බලා අරන්

අවන් එකේ වෙලා තියලා හා හා හා . . .

හදමුද අපි ළමයි ගොඩක් ගමක් වගේ ලොකු

එයින් පස්සෙ ඉතුරු කරලා ඉතුරු කරලා අපි

කැන්ඩිවලයි ට්‍රින්කොවලයි දාමුද අපි වඩේ

උඹ මගෙ පැන් කේක් . . .

ඉස්සර නම් කළේ මං මුලින් කිව්ව එක. පෑන් කේක් තියෙන්නේ කන්නනෙ. හැබැයි දැන් පෑන් කේක් අහන්නත් පුළුවන්. අන්තර් ජාලයේ පෑන් කේක් නමින් ටයිප් කළාම අහන්න හැකියාව ඇති පෑන් කේක් එක එනවා වීඩියෝවත් එක්කම. පෑන් කේක් නමින් හැදුණ ගීතයක්. එය ගයන්නේ සමන්ත කරූ.

බොහොම අපූරු වීඩියෝවකින් සමන්විත පෑන් කේක් ගීතයට ඉමහත් වූ ප්‍රතිචාර ලැබෙනවා. ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක රංගනයෙන් දායක වන හින්දම හාස්‍ය රසයකුත් වීඩියෝවට අන්තර්ගතයි.

සමන්ත කරූගෙ පදිංචිය මහනුවර. මේ ඔහුගේ පස්වැනි ගීතය. මීට ප්‍රථම සමන්ත තමන්ගේම ගීත හතරක් ගැයුවා. ඉන් දෙකකට වීඩියෝ නිර්මාණය කළා.

මහ මෙරක් තරම් ගීතය තමයි ඒවා අතරින් ටිකක් ජනප්‍රිය වුණේ. සමන්තට ඉන්නවා චාමර ෆොන්සේකා නමැති මිතුරෙක්. ඔහු තමයි පෑන් කේක් වගේ ගීතයක් හදමු කියලා සමන්තගේ ඔළුවට අදහසක් ඇති කරන්නේ. ෂයින් ප්‍රනාන්දු මිත්‍රයා ගාව තිබුණු ට්‍රැක් එකක් ඊට ගැළපේවි කියලා සමන්තට හිතිලා. එය චාමරට ඇහෙන්න සලස්වනවා.

ඔහු විසින් ඊට පදමාලාව ද රචනා කරනවා. එහි වීඩියෝව නිර්මාණය කරන්නට පොළඹවන්නෙත් චාමර. ඉසුරු ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ පෑන් කේක් වීඩියෝවේ නර්ථනය නිර්මාණය කරන්නේ නලීන්.

වීඩියෝවට මිහිර අවශ්‍යමයි කියලා චාමර පවසා සිටිනවා. එහෙත් මිහිරගේ රංගන කටයුතු නිසා ඔහුට ළඟ දින නැහැ මෙහි රැඟපාන්න. මිහිරගේ කාර්ය බහුලත්වය අඩු වෙනකම් ඉඳලා දිනයක් රැගෙනයි මෙයට ඔහුව එකතු කර ගන්නේ.

ඔහු සමඟ නව පරපුුරේ රංගන ශිල්පිණි නටාෂා රොෂෙල් මෙහි රංගන දායකත්වය සපයනවා. පානදුර පොළෙහි දිනක රූපගත කිරීමකින් පසුව නිර්මාණය වූ පෑන් කේක් වීඩියෝව නිකුත් කළ සැනින් සමන්තට ලැබුණේ නොසිතූ විරූ ජනප්‍රියත්වයක්.

මේ වන විට අන්තර්ජාලය හරහා සැලකිය යුතු පිරිසක් පෑන් කේක් නරඹලා. රූපගත කිරීම් සිදු වෙද්දී සමන්තට සිය ගමේ පුද්ගලයකු හමු වෙලා. එතකොට සමන්ත සිටියේ නර්ථන අංගයක් වෙනුවෙන් මහ පාරේ බිම වාඩි වෙලාලු. දුරින් තියන කැමරාව ඒ පුද්ගලයා දැකලා නැහැ.

මොකෝ මේ බිම වාඩි වෙලා කරන්නේ. ඔය ළමයට අසනීපයක්වත්ද?

රූපගත කිරීම මොහොතකට නතර කරලා තියෙන්නේ සමන්තට හිනාව නවත්වගන්න බැරුව ගිහින්. ඔය වගේ සොඳුරු සිදුවීම් මැද රූපගත වුණ පෑන් කේක් දැන් කන්න විතරක් නෙවෙයි නරඹන්නත් පුළුවන්. 0773105484 අංකය ඔස්සේ කතාකොට පෑන් කේක් එකේ ගුණ අගුණ කියන්න හැකි නම් සතුටු වන බව අවසන් කොට සමන්ත කිව්වා.

 

 

 
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.